කුසල් සාර්ථක පිතිකරණයේ රහස හෙළිදරව් කරයි

719

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඉන්දීය තරග සංචාරයේ දී කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ තරග සංචාරය තුල දී කණ්ඩායමට නැවත පිවිසුණේ තම පුනරාගමනය අමතක නොවන තරගාවලියක් බවට පත් කර ගනිමිනුයි.

[rev_slider LOLC]

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී තම හොඳම ටෙස්ට් ඉනිම ලෙස ලකුණු 196ක් ලබා ගත් කුසල්, පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු තණතිල්ලක පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරන්නන්ට සමත් වූ පිතිකරුවන් දෙදෙනා අතරින් එක් අයෙක් වන්නට ද සමත් විය.

අසේලට නිදහස් කුසලානයේ ප්‍රවේශ පත් අහිමි වේ

දකුණු අතේ ආබාධ තත්වයක් නිසාවෙන් නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ අසේල ගුණරත්නට ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත 2018 නිදහස් කුසලාන …

එතනින් නොනැවතුණු කුසල් මෙන්ඩිස් සිය 23 වැනි උපන්දිනය යෙදුණු මේ පෙබරවාරි මාසය තවත් සුවිශේෂී කාල පරිච්ඡේදයක් බවට පත් කර ගත්තේ පන්දුවාර 20 තරග දෙකේ දී ම අර්ධ ශතක ලබා ගැනීම වෙනුවෙන් තරගාවලියේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමිනුයි.

”මෙය අලුත් වසරට ඉතාම හොඳ ආරම්භයක්. අපිට 2018 වසරේ තරග රැසක් තිබෙනවා. අපි මෙම වසරේ හොඳින් ක්‍රීඩා කිරීමට හැකි බවට විශ්වාසයෙන් සිටින්නේ. පෞද්ගලිකව මගේ අරමුණු අතර මේ වසර තුල ටෙස්ට් තරග සහ එක්දින තරග දෙඅංශයේම ලකුණු 1000 සීමාව ඉක්මවා යාම ප්‍රධානයි. අපිට මේ වසරේ ඉදිරියට තරග 10ක් වැනි ප්‍රමාණයක් තිබෙන නිසා එය මට සපුරා ගත හැකි බවට මම විශ්වාස කරනවා. පෞද්ගලිකව කුඩා ඉලක්ක සාදා ගෙන ඒවා සපුරා ගැනීමට උත්සාහ කිරීම ඉතාම වැදගත්.” Cricbuzz වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙන්ඩිස් පැවසීය.

චිතගොං ටෙස්ට් තරගයේ දී සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමේ අවස්ථාව මෙන්ඩිස් හට ලැබී තිබුනත් එම කඩඉම පසු කිරීම සඳහා විශාල පහරක් එල්ල කිරීමට තිබූ උත්සාහයක් නිසා පන්දුවේ දඟ කැවීමට එරෙහිව එල්ල කළ ෆ්ලික් පහරක් ඔහුගේ ඉනිමේ අවසානය සනිටුහන් කරන ලදි. පසුගිය වසරේ ගාලු ටෙස්ට් තරගයේ දී ද එවැනිම සිදුවීමක් වාර්තා වුණේ ලකුණු 194ක් ලබා සිටි කුසල් හයේ පහරකින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමට උත්සාහ දැරීමේ දී ලෝං ඕන් කලාපයට ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙනුයි.

”එය දිගටම සිදු වෙනවා නේද? දැන් එය දෙවරක් සිදු වුනා. ක්‍රීඩක විවේකාගාරයේ සිටි ක්‍රීඩකයන් පවා කනගාටු වුනා මට ඒ කඩඉම සම්පූර්ණ කිරීමට නොහැකි වීම ගැන. සමහරු කිව්වා මම තව වසර කිහිපයක් ගියාට පස්සේ ඒ මගහැරුණු අවස්ථා පිළිබඳ කනගාටු වේවි කියලා. ඒ ගැන මටත් දුකයි. සමහර විට ඊළඟ අවස්ථාවේ දී ඒ කඩඉම පහුකරන්න හතරේ හෝ හයේ පහරක් එල්ල කරනවා වෙනුවට එක ලකුණ බැගින් ලබා ගන්න මම උත්සාහ කරාවි.’‘ ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහුගේ දැවැන්ත ඉනිම විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය. එම තරගයේ දී බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 513ක් ලබා ගත්  අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවා ගන්නට ද බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

“අපි දැනගෙන හිටියා ඔවුන් ලකුණු 500ක් ලබා ගත්තා නම් අපිට ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගත හැකි ක්‍රීඩකයන් සිටින බව. අපි ඉනිම දෙක අතරතුර ක්‍රීඩක විවේකාගාරයේ සිටින විට අපිට පීඩනයක් තිබුණේ නැහැ. නමුත් දිමුත් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අවස්ථාවේ මට යම් පීඩනයක් දැනුණා. ඔහු අපේ කණ්ඩායමේ සිටින ඉතා ස්ථාවර පිතිකරුවෙක්. කෙසේ වෙතත් ධනංජය (ද සිල්වා) පිටියට ඇවිත් නිදහසේ පහර කිහිපයක් එල්ල කරන්න පටන් ගනිද්දී, පන්දු රකින්නන් දුරට යාමත් සමඟ මටත් නැවත ස්ථාවර බවක් දැනෙන්න පටන් ගත්තා.” මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේ අත්දැකීම් විස්තර කළේ එලෙසින්.

ඔහු නැවත කණ්ඩායම සමඟින් එක්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්‍ය වූයේ ඔහුව ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමටයි. නමුත් එම තීරණය පිළිබඳ ප්‍රශ්නකාරී හැඟීමක් ඇතිවූ බොහෝ දෙනෙක් විය. බංග්ලාදේශය අමතර දඟපන්දු යවන්නන් සමඟින් තරගයට එක්වූ අතර කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් වඩාත් සාර්ථකව දඟපන්දුවට මුහුණ දිය හැකි ක්‍රීඩකයෙකි. අවසානයේ නව සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක විය.

තර්ස්ටන්-ඉසිපතන සහෝදරයින්ගේ ගැටුමට සියල්ල සූදානමින්

මෙම වසරේ පාසල් මහා ක්‍රිකට් තරග සමය එළඹෙන 23 වන දින SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 55 වන සහෝදරයින්ගේ…

”ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන්න පුළුවන් ද කියලා මගෙන් අහද්දී මම තරමක් පසුබට වුනා. නමුත් ප්‍රධාන පුහුණුකරු මට කිව්වේ මට ඒ වගකීම ඉටු කරන්න පුළුවන් බවට ඔහු විශ්වාස කරන බවයි. මට අවශ්‍ය වුනේ එපමණයි. ප්‍රධාන පුහුණුකරු තමන් පිළිබඳ විශ්වාසය තබනවා නම් ක්‍රීඩකයෙකුගේ මානසික ශක්තිය ස්ථාවර වෙනවා. මට කිව්වේ ආරම්භක පිතිකරු ස්ථානය ස්ථිර ස්ථානයක් ලෙස නොතබා කණ්ඩායම මුහුණ දෙන ප්‍රතිවාදීන්ට සහ තරගය පැවැත්වෙන තත්ත්වයන්ට අනුකූලව වෙනස් වීමට ඉඩ ඇති බවයි.” මෙන්ඩිස් වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ අභියෝගය වන ‘නිදහස් කුසලාන‘ තුන්කොන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීම ඉදිරි දින කිහිපය තුල ආරම්භ වීමට නියමිත අතර කුසල් මෙන්ඩිස් එම තරගාවලියේ අභියෝගය භාර ගැනීමට සූදානමින් සිටියි.

”අපි ඉන්දීය තරග සංචාරය තුළ දී එතරම් සාර්ථක වුණේ නැහැ. ඉන්දියාව සමඟ මෙරට දී පැවති තරගාවලියේ දී වුනත් අපිට ඔවුන්ට සටනක් දීම අපහසු වුනා. අපිට තිබෙන ධනාත්මක සාධකය තමයි මේ වන විට අපේ මානසික ශක්තිය නැවත ලැබී තිබීම. මට විශ්වාසයි ඉන්දියාව වුනත් මේ වතාවේ අපෙන් වැඩි තරගකාරීත්වයක් බලාපොරොත්තුවෙන් සිටියි කියලා. අපිත් බලාපොරොත්තු වෙනවා ඔවුන්ට හොඳ සටනක් දෙන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<