කොදෙව්වන් තරගාවලි ජය ලබද්දී අවසන් තරගයේ ජය එංගලන්තයට

84
Photo Credit : Associated Press

පසුගිය තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පිළ ද ටෙස්ට් තරගාවලිවල දී පරාජයට පත් කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කැරිබියන් දූපත් බලා පියාසර කළේ තවත් පහසු ජයග්‍රහණයක පහස විඳ ගැනීමේ අටියෙනි.

මේ වන විට ජගත් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ සිටින කොදෙව්වන් පරාජය කිරීම අපහසු වේ යැයි ඔවුන් කිසිසේත්ම අපේක්ෂා කළේ නැත. නමුත් තම මව්බිමට පැමිණි එංගලන්ත ක්‍රීඩකයින්ගේ නළලත රැලි ගැන්වූ කොදෙව්වන්, මුල් තරග දෙකම ජය ගනිමින් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූහ. කෙසේ වෙතත් අද (13) නිමාවට පත්වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 232කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම තම නම්බුව බේරා ගැනීමට සමත් වූහ.

මාටින් ගප්ටිල් බංග්ලාදේශ දක්ෂතාවලට කෙනෙහිළිකම් කරයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ….

අද තරගයේ සවිස්තර වාර්තාවට පෙර අපි නිමා වූ ටෙස්ට් තරග දෙක පිළිබඳ කෙටි පසු විපරමක නියැලෙමු. තරග සංචාරය අරඹමින් බාබඩෝස් හිදී පැවති පළමු ටෙස්ට් තරගය කොදෙව්වන් ජය ගත්තේ ජේසන් හෝල්ඩර්ගේ සුපිරි නායකත්වය නිසාවෙනි. මෙහි මුල් ඉනිමේ දී එංගලන්ත පිතිපෙළ ලකුණු 77කට දවා ගැනීමට ද ඔවුන්ට හැකි විය. දෙවැනි ඉනිමේ දී නොදැවී ද්විත්ව ශතකයක් රැස් කරමින් සංචාරක කණ්ඩායමට ලකුණු 628ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට ද ජේසන් හෝල්ඩර් පෙරමුණ ගත්තේය. එහි දී එංගලන්ත බලාපොරොත්තු සුනුවිසුනු කළ රොස්ටන් චේස් කඩුලු 8ක් දවා ගනිමින් කොදෙව් ජයග්‍රහණය මුද්‍රා තැබුවේ ලකුණු 381කිනි.

දෙවැනි ටෙස්ට් තරගය ක්‍රියාත්මක වූයේ ඇන්ටිගුවා හිදීයි. මෙහි දී එංගලන්ත පිතිකරුවන් නැවත වරක් අසාර්ථක වූ අතර ඉනිම දෙකේ දී ම ඔවුන්ට ලකුණු 200 සීමාවටවත් ළඟා වීමට නොහැකි විය. මෙම අසාර්ථකත්වයට හේතු වූයේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච්ගේ සුපිරි පන්දුකරණයයි. ඔහු ඉනිමක කඩුලු 4 බැගින් තරගය පුරාවට කඩුලු 8ක් බිඳ දැමීය. කොදෙව් පිතිකරුවන් සියල්ලක්ම පාහේ තම වගකීම ඉටු කළ නිසා ඔවුන්ට ජයග්‍රහණය ලබා ගැනීම අපහසු වූයේ නැත. අවසන් ප්‍රතිඵලය වූයේ දින තුනක් ඇතුළත් කඩුලු 10ක පහසු ජයක් සත්කාරක කොදෙව් පිළ සතු වීමයි.

ජයග්‍රාහී මානසිකත්වයකින් සාන්ත ලුසියා කරා ගිය කොදෙව්වන් තෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය වීමට මුල්ම හේතුව වූයේ ප්‍රථම ඉනිම අසාර්ථක කර ගැනීමයි. කොදෙව් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත පිළ වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් (79) සහ ජෝස් බට්ලර් (67) ගොඩ නැගූ සබඳතාවය නිසා ඔවුන් ලකුණු 277ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගැනීමට සමත් වූහ.

කළුතර නාගරිකයෝ පොලිසියට පහර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ…..

මීට ප්‍රතිචාර වශයෙන් කොදෙව් පිතිකරුවන් තමන්ට හුරුපුරුදු තණතිලි මත දී නැවත වරක් සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද ඔවුන් මුල් ඉනිමට රැස් කළේ ලකුණු 154ක් පමණි. කොදෙව් ඉනිම විනාශ කළ මාර්ක් වුඩ් කඩුලු 5ක් ද, මොයින් අලි කඩුලු 4ක් ද බිඳ හෙලූහ.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් එංගලන්ත පිළ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 361ක් ලබා ගනිමින් කොදෙව්වන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිරෝධයක් ගොඩ නැගූහ. ඒ වෙනුවෙන් සුපිරි පිතිකරු ජෝ රූට්ගේ දායකත්වය ලකුණු 122කි. ඔහුගේ විශිෂ්ට ඉනිමට මනරම් හතරේ පහර 10ක් ඇතුළත් විය. ඒ අනුව කොදෙව්වන්ට පූර්ණ තරග ජයක් ලබා ගැනීම සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 485කි. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදීත් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කිරීමට කොදෙව්වන් අපොහොසත් වීමත් සමඟ ශ්‍රේණිගත කිරීම්වල අංක 5 ස්ථානයේ සිටින එංගලන්ත පිළ සම්පූර්ණ තරගාවලියෙන්ම පරාජය කිරීමේ අවස්ථාව අහිමිව ගියේය.

දෙවැනි ඉනිමේ දී කොදෙව් පිතිකරුවන් හිසරදයක් වූ ජේම්ස් ඇන්ඩර්සන් සහ මොයින් අලි කඩුලු 3 බැගින් දවා ගනිද්දී තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කඩුලු ද්විත්වයකට හිමිකම් කීවේය. අවසානයේ කොදෙව්වන්ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 252ක් පමණි. කනගාටුවට කරුණ වූයේ කොදෙව් මැදපෙළ පිතිකරු රොස්ටන් චේස් නොදැවී ලකුණු 102ක් ලබා ගෙන කොදෙව් පිළ ජයග්‍රහණය කරා කැටුව යන්නට උත්සාහ දැරූව ද අනෙක් අන්තයෙන් කිසිදු පිතිකරුවෙකු ඔහු සමඟ ලකුණු සබඳතාවයක් ගොඩ නැගීමට උත්සුක නොවීමයි. එබැවින් තරගයේ අවසන් ප්‍රතිඵලය වූයේ ලකුණු 232කින් එංගලන්ත ජය ස්ථිර වීමයි.

විනිසුරුන්ගේ කෙනෙහිළිකම් මැද ශ්‍රී ලංකා පිළෙන් සුපිරි ආරම්භයක්!

කොපමණ බිඳ වැටීම් හමුවේ වුවද කණ්ඩායම සමඟ සිටින ප්‍රේක්ෂකයින්……

කෙසේ වෙතත් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව්වන්ට අවස්ථාව උදාවිය. අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වූයේ කොදෙව් මුල් ඉනිම බිඳ දමමින් එංගලන්තයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දැල්වූ මාර්ක් වුඩ්ටයි. තරගාවලියේ වීරයා ලෙස කෙමාර් රෝච් සම්මාන දිනා ගත්තේය. දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 20 වැනිදා බාබඩෝස් හිදී ආරම්භ වේ.

එංගලන්ත (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 277 (පන්දුවාර 101.5) : බෙන් ස්ටෝක්ස් 79, ජෝස් බට්ලර් 67, රොරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 20, ජෝ රූට් 15, මොයින් අලි 13, කෙමාර් රෝච් 4/48, ශැනොන් ගැබ්රියෙල් 2/49, කීමෝ පෝල් 2/58, අල්සාරි ජෝසප් 2/61.

බටහිර ඉන්දීය කොදෙව් (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 47.2) : ජෝන් කැම්බෙල් 41, ශේන් ඩෝරිච් 38, කෙමාර් රෝච් 16*, ක්රේග් බ්රත්වයිට් 12, මාර්ක් වුඩ් 5/41, මොයින් අලි 4/36.

එංගලන්ත (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 361 (පන්දුවාර 105.2) : ජෝ රූට් 122, ජෝ ඩෙන්ලි 69, ජෝස් බට්ලර් 56, බෙන් ස්ටෝක්ස් 48*, කීතන් ජෙනින්ග්ස් 23, ශැනොන් ගැබ්රියෙල් 2/95, කීමෝ පෝල් 1/11.

බටහිර ඉන්දීය කොදෙව් (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 69.5) : රොස්ටන් චේස් 102*, අල්සාරි ජෝසප් 34, කෙමාර් රෝච් 29, ශේන් ඩෝරිච් 19, ශිම්රන් හිත්මයර් 19, ජේම්ස් ඇන්ඩර්සන් 3/27, මොයින් අලි 3/99, බෙන් ස්ටෝක්ස් 2/30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<