තෙවරක්ම කොදෙව්වන් පැරදූ බංගලියන්ට තුන්කොන් ශූරතාවයක්!

164
Credit : Cricketcountry.com

අයර්ලන්තයේ දී පැවති තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය අපරාජිතවම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (18) අලුයම සමත් විය. ඒ අවසන් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5කින් පරාජයට පත් කරමිනි. කෙසේ නමුත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා කොදෙව්වන්ට යම් අසාධාරණයක් සිදු වූ බව ද පෙනෙන්නට තිබුණි.

ජේසන් රෝයි හා බෙන් ස්ටෝක්ස් පාකිස්තානය හඬවයි

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (17) පැවති සිව්වැනිතරගයෙන් එංගලන්තයට…

තරගාවලියේ බොහෝ තරග මෙන්ම ඊයේ ආරම්භ වූ අවසන් මහා තරගයත් ක්‍රියාත්මක වූයේ ඩබ්ලින් හි “ද විලේජ්” පිටියේ දීයි. තරග ආරම්භයේ දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා පවතින කාලගුණික තත්වයත් සැලකිල්ලට ගෙන මුලින් පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව මෙම තණතිල්ලේ ලැබෙන ලකුණු ගණනක් පසුව හඹා යාම අපහසු නොවන බව දන්නා හෙයිනි.

ඒ අනුව ඉනිම ඇරඹූ කොදෙව්වන් අවසන් තරගයක භාර දූර වගකීම කරට ගෙන පිත්ත හසුරුවන අයුරු දැක ගන්නට ලැබුණි. කොදෙව් ආරම්භක පිතිකරණ යුගලය වූ ශායි හෝප් සහ සුනිල් ඇම්බ්‍රයිස් ඒ වෙනුවෙන් ලකුණු 144ක සුපිරි ආරම්භයක් ලබා දුන්හ. එහි දී මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ දස්කම් දක්වන කොදෙව් නවකයින් රෑන අතරට එක්වී ඇති සුනිල් ඇම්බ්‍රයිස් ඊයේ දිනයේත් පන්දු 78කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 69ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 7ක් තම ඉනිමට එක්කාසු කොට ගනිමිනි.

අනෙක් අන්තයෙන් ඔහු සමඟ ඉනිම ඇරඹූ ශායි හෝප් පන්දු 64ක් තුල දී ඉක්මන් ලකුණු 74ක් ලබා ගනිමින් දැවී ගියේය. හෝප්ගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් හැඩ ගැන්වුණි. මොවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ශතක සබඳතාවය බිඳ වැටී වැඩි වේලාවක් යන්නට පෙර ඩබ්ලින් නුවරට වැසි පතිත විය. ඒ වන විට කොදෙව්වන් පන්දුවාර 24ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 152ක් ලබා සිටියහ.

අබු ජායෙඩ් තම ස්ථානය තහවුරු කර ගනී

අයර්ලන්ත ක්‍රීඩක පෝල් ස්ට්‍රීන්ගේ ශතකයත්, බංග්ලාදේශ ක්‍රීඩක අබු ජායෙඩ්ගේ පන්දු යැවීමත් අතර දෝලනය වූ තරගයේ දී තමිම්…

ඒ අනුව තවදුරටත් ඔවුන්ට තම ඉනිම ඉදිරියට ගෙන යන්නට කාලයක් ඉතිරිව නොතිබූ නිසා කොදෙව් ඉනිම නවතා දමා බංග්ලාදේශ පිළට පන්දුවාර 24ක් තුල දී ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය. මධ්‍යස්ථව සිතා බැලීමේ දී මෙය විශාල ඉනිමක් සඳහා පදනමක් දමා තිබූ කොදෙව්වන්ට අවාසියක් ද, කෙටි තරග සඳහා රුචිකත්වයක් දක්වන බංග්ලාදේශයට වාසියක් ද සැලසුව ද තරගයේ නීතිරීති වලට අභියෝග කරන්නට කිසිවෙකුටත් අවස්ථාවක් නොවීය.

ඒ අනුව බංග්ලාදේශ පිළ විස්සයි විස්ස තරග රටාවට අවතීර්ණ වෙමින් මෙම ලකුණු සංඛ්‍යාව හඹා ගිය අතර තවත් පන්දුවාරයකුත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කරගන්නට ඔවුන්ට හැකි විය. බංග්ලාදේශ ආරම්භය වර්ණවත් කළ සෞම්‍ය සර්කාර් පන්දු 41කින් ලකුණු 66ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟයි. සෞම්‍යගේ ඉනිම කොදෙව් පන්දු බල ඇණිය පසු පාදයට ඇද දැමීමට මූලිකම හේතුව වූ බව පෙනෙන්නට තිබුණි.

මීට අමතරව ඉනිමේ අවසන් කොටසේ දී අවශ්‍ය කරන ලකුණු වේගය උපයා දීමට සටන් වැදුණු මොසැද්දික් හුසේන් පන්දු 24කින් නොදැවී ලකුණු 52ක් රැස් කළේය. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟිනි. මොසැද්දික්ගේ මල්වෙඩි සන්දර්ශන නිසාවෙන්ම කොදෙව් පිළේ අවසන් කුසලාන බලාපොරොත්තුවද බොඳ වී ගියේ බංග්ලාදේශයට කඩුලු 5ක පහසු ජයක් හිමිකර දෙමිනි. පන්දු යැවීමේ දී ශැනෝන් ගැබ්‍රියෙල් සහ රේමන් රීෆර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ 12ක් සමඟ A කණ්ඩායම ඉන්දියාවට

මේ මස 25 වැනිදා සිට ජුනි මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා…

ඒ අනුව මෙම තරගාවලිය තුල තෙවරක්ම බංග්ලාදේශය හමුවේ කොදෙව් කණ්ඩායම පරාජයට පත්වූ අතර එය ක්‍රිකට් ලොව දිනූ පතාක යෝධයින් රැසකගෙන් සමන්විත ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ඔවුන්ට උරුම වුනු දැවැන්ත කළු පැල්ලමක් විය. අනෙක් අතට නුදුරේ දී ම ඇරඹෙන ලෝක කුසලානය ගැන සෘණාත්මක අදහස් කොදෙව් ක්‍රීඩකයින් තුල ජනිත වීමට ද මෙම දරුණු පරාජයන් හේතුවනු නිසැකය.

අවසන් තරගයේ වීරයා සම්මානය ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ මොසැද්දික් හුසේන්ට හිමි වෙද්දී, තරගාවලියේ වීරයා ලෙස කඩුලු රකින පිතිකරු ශයි හෝප් සම්මාන දිනා ගත්තේය. මෙම තරගාවලිය කණ්ඩායම් දෙකකට වැඩි ගණනක් සහභාගි වූ තරගාවලියක් බංග්ලාදේශය ජය ගත් ප්‍රථම අවස්ථාව ලෙස සටහන් වූ අතර එම ඓතිහාසික ශූරතා කුසලානය බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා ලබා ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් – එක් කඩුල්ලක් දැවී ලකුණු 152 (පන්දුවාර 24): ශායි හෝප් 74, සුනිල් ඇම්බ්‍රයිස් 69*, ඩැරන් බ්‍රාවෝ 3*, මෙහෙදි හසන් 1/22.

බංග්ලාදේශය – කඩුලු 5ක් දැවී ලකුණු 213 (පන්දුවාර 22.5): සෞම්‍ය සර්කාර් 66, මොසැද්දික් හුසේන් 52*, මුෂ්ෆිකර් රහීම් 36, මහමදුල්ලා 19*, තමීම් ඉක්බාල් 18, රේමන් රීෆර් 2/23, ශැනොන් ගැබ්‍රියෙල් 2/30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<