ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය

688
Getty Images

දිනය 1996 වසරේ මාර්තු 17 වැනිදා ය. පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වෙමින් තිබුණේ ලෝක කුසලානයක අවසන් මහා තරගයකි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැග්‍රාත් කඩුල්ල වටා පැමිණ යැවූ එම අවසන් මහා තරගයේ හතළිස් හත්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග තර්ඩ්මෑන් කලාපය ඔස්සේ හතරේ සීමාව කරා යොමු කළේ රණතුංගයන්ට සැමදා හුරුපුරුදු ලේට් කට් පහරකට සමාන සටකපට පහරකිනි.

යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ..

ලෝක එක්දින කිරුල ශ්‍රී ලංකාවට දිනා දීමට කොන්දේසි විරහිතව තම ලේ, දහඩිය, කඳුළු වැගිර වූ අර්ජුන රණතුංගයන්ට එදා ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට අවස්ථාවක් ලැබීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමක් විය.

මීට වසර විසිතුනකට පෙරාතුව ලාහෝර් නගරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වුණ ලෝක කුසලාන අවසාන මහා තරගයේ තිරයෙන් පිටුපස සිදු වූ ඇතැම් ඉතාම  රසවත්ය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායකයා බැනුම් අසයි.

1996 ලෝක කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග. ඔහු මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ඕස්ට්‍රේලියානුවන් බාර කළා.

නමුත් තරගයට පෙර තණතීරුව පරීක්ෂා කළ බොහෝ ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ මතය වුනේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දිය යුතු බවයි. මේ අදහස දැරූ අය අතර එවකට ලෝක ශූරයින් වූ පාකිස්තානු කණ්ඩායමට නායකත්වය ලබා දුන් ඉම්රාන් ඛාන් ද සිටියා.

නමුත් නායක රණතුංග තම මතය වෙනස් කළේ නැහැ. රණතුංගයන් පසුව පැවසුවේ තමාට දින කිහිපයකට පෙර ලැබුණ අපූරු තොරතුරක් මත තමා දෙවනුව පන්දුවට පහර දීමේ තීරණයේම එල්බගෙන සිටි බවයි.

අවසන් තරගයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ සංචාරයක යෙදුණා. මේ ගමන අතරතුර ක්‍රීඩාංගණයට දැඩි පින්නක් පතිත වන බව ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග නිරීක්ෂණය කළා.

ඒ අනුව රණතුංගයන් ක්‍රීඩාංගණයේ සේවය කරන සේවකයෙකුගෙන් මේ ගැන විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ දින කිහිපයේ දී ම ලාහෝරයට දැඩි ලෙස පින්න පතිත වූ බවයි. මේ අනුව කාසියේ වාසිය දිනුවහොත් මුලින් පන්දු යැවිය යුතු බව අර්ජුන රණතුංග කළින්ම තීරණය කරගෙන තිබුණා. එමෙන්ම ක්‍රීඩාංගණයේ සේවකයා ලබා දුන් තොරතුර ඉතාම වටිනා බව රණතුංගයන් පසුව ප්‍රකාශ කළා.

“බොහෝ ක්‍රිකට් විශ්ලේෂකයින්ට වඩා දැනුමක් ගෘවුන්ඩ් බෝයිලට තියනවා. ඔය කියන ගෘවුන්ඩ් බෝයි මගේ හොඳ යාළුවෙක්. මම එයා එක්ක කතා කරන්නෙත් කරට අත දාගෙන. ඉතින් එයා මට ලාහෝර් ක්‍රීඩාංගණය ගැන සෑහෙන තොරතුරු ලබා දුන්නා. මහත්තයා රෑට බෝල් කරන එක අමාරුයි ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළා. මම හිතනවා ඒවා සෑහෙන උදව්වක් වුනා කියල අපේ ලෝක කුසලාන ජයග්‍රහණයට.

ලාහෝර් ක්‍රීඩාංගණයේ දෙවැනියට බැට් කරපු කණ්ඩායමක් ජයග්‍රහණය කරලත් නෑ. බොහෝ දෙනෙක් කාසියේ වාසිය දිනල අපි මුලින් පන්දු යවන්න තීරණය කරපු එකට මට නොසෑහෙන්න බැන්නා කියලත් ආරංචියි.” අර්ජුන රණතුංග වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ලෝක කුසලාන ජයග්‍රහණයේ ‘අදිසි හස්තය’ වූ ආනා පුංචිහේවා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්නේ සිටම එහි කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා නායකයා අවසන් තරගයට පෙර දුන් උපදෙස්.

Image: Getty Images

“මේ මැච් එක වැඩිය ඔලුවට ගන්න එපා. දිනුවොත් අපි පළවෙනියා. අපි කොහොමත් දැන් ලෝකේ හොඳම කණ්ඩායම් දෙකෙන් එකක්. ඒ නමුත් නිසා උඹලා කලින් කළා වගේ සීයට සීයක්ම දීපල්ලා. කලින් ගහපු විදියටම ගහපල්ලා. වැරදුණොත් කරන්න දෙයක් නෑ. ඒක ගැන හිතන්න එපා. දැනටමත් අපි ලොකු ජයග්‍රහණයක් ලබාගෙනයි ඉන්නේ.” අවසන් තරගයට පෙර නායක අර්ජුන රණතුංග කණ්ඩායම අමතා ප්‍රකාශ කළේය.

තමන්ට අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියානුවන් හමුවේ නම් වඩාත් කැමති බව අර්ජුන කියා තිබුණි. අවසාන මහා තරගයට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලෝක කුසලානය සමඟ ඡායාරූප ගැනීමට විශාල උනන්දුවකින් පසු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පැවසුවේ ජයග්‍රහණයෙන් අනතුරුව තමන්ට ලෝක කුසලානය සමඟ ඇති තරම් ඡායාරූප ගැනීමට හැකියාවක් තිබෙන බවයි. ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කෙතරම් විශ්වාසයකින් සිටියේ ද යන්න එමගින් තහවුරු වෙනවා.

ශ්‍රී ලංකා මාතා වැරදුණ හැටි

චාරිත්‍රයක් ලෙස අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් දෙකේ ජාතික ගීත වාදනය වීමට තිබුණා. පළමුව ශ්‍රී ලංකාවේ ජාතික ගීතයත් දෙවනුව ඕස්ට්‍රේලියානු ජාතික ගීයත් වාදනය කිරීමටයි සැලසුම් සකස්ව තිබුණේ.

නමුත් ශ්‍රී ලංකා ජාතික ගීය වෙනුවට වාදනය කෙරුණේ දකුණු අප්‍රිකානු ජාතික ගීතයයි. තමන්ගේ රටේ ජාතික ගීතය වාදනය කරන තෙක් කිසිම ලෙසකින් තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාගාරයට යෑමට තමන් සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නායකයා තරයේ පවසා සිටියා.

මේ නිසා තරග සංවිධායකයින් පත්වුණේ මහත් අපහසුතාවයකට. තරගයේ සජීවී විකාශය මොහොතකට නතර කිරීමට පවා එදා සංවිධායකයින්ට සිදු වුනා. කිරීමට වෙනත් කිසිවක් නොතිබූ නිසා එදා ක්‍රීඩාංගණයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් “ශ්‍රී ලංකා මාතා” ගයන්නට පටන් ගත්තා. මේ අතරවාරයේ සංවිධායකයින් අතුරුදහන්ව තිබූ ශ්‍රී ලංකා ජාතික ගීය සොයාගෙන වාදනය කරන්නට වූ නිසා ප්‍රශ්නය එතරම් දුර දිග ඇදී ගියේ නැහැ.

අසරණ මොහොතක උදව්වට ආ අසල්වැසියෝ

1996 ලෝක කුසලානය ආරම්භ වීමට හරියටම සති දෙකකට කලින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු..

පිටියට බැසීමට පෙර ලද සුබ අසුබ පෙර නිමිති

තරගය ආරම්භ කිරීමට පිටියට පිවිසෙන නායක අර්ජුන රණතුංග දුටුවේ තමාට තරමක දුරකින් සිටි පාකිස්තානු ජාතිකයෙක්. මේ පකිස්තානු ජාතිකයා ආබාධිතයෙක්. ඔහු එතනට පැමිණ සිටියේ රෝද පුටුවක ආධාරයෙන්.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මෙවැනි පුද්ගලයෙකු දුටුවහොත් අසුබ පෙර නිමිත්තක් ලෙස සලකා මග හැර යෑම සිදු කළත් අර්ජුන හැසිරුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින්. අර්ජුන රෝද පුටුවකින් පැමිණ සිටි එම පුද්ගලයා වෙත ගොස් සිය දෑත දිගු කළා. ආබාධිත පාකිස්තානුවාගේ මුහුණේ නැගුණ සිනහව සහ ඔහු ලබා දුන් ආශීර්වාදය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලැබුණු සුබ පෙර නිමිත්තක් ලෙසයි අර්ජුන මෙන්ම ඒ අවට සිටි බොහෝ දෙනා එදා සැලකුවේ.

Mr. Prasanna Hennayake
Image: Mr. Prasanna Hennayake

මිතුදම් අලුත් කළ රාත්‍රිය

ඕස්ට්‍රේලියානුවන් ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් වහාම නායක අර්ජුන රණතුංග කඩුලු ඉනි දෙකක් ගලවා ගෙන තම ලයට තද කරගත්තා . අර්ජුන ඉන් එකක් තමා වෙනුවෙන් ගලවා ගත් අතර අනෙක ගලවා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ වෙනත් ක්‍රීඩකයෙකු වෙනුවෙන්. රොෂාන් මහානාම නම් ඒ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා අවසන් පූර්ව තරගයේ දී පවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගෙන එන්නට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළා.

Cricket World Cup | 1996
Image: Getty Images

“මහා, මේ ඉන්න අයිති ඔබටයි” අර්ජුන තම ග්‍රහණය ලිහිල් කරමින් එක් කඩුලු ඉන්නක් මහානාම අත තැබුවා. 1996 ලෝක කුසලානයට වසර කිහිපයක් පෙර සිට අර්ජුන රණතුංග සහ රොෂාන් මහානාම අතර ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් පරස්පරතා මතුවී තිබුණ ද ලාහෝරයේ ස්වර්ණමය රාත්‍රිය ඒ සියල්ල අමතක කරවා තිබුණා.

විශේෂ ගුවන් යානයකින් නැවත මව්බිමට

Mr. Prasanna Hennayake
Image: Mr. Prasanna Hennayake

ලෝක කුසලානය දිනා ගත් රාත්‍රීයේම යූ. එල් 184 ගුවන් යානයෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පහසුකම් සලසා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට ඉඩ කඩ ලබා දීමට ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයේ පිරිසකට ලාහෝර් නුවර නැවතීමට සිදු වුනා. ලෝක කුසලානය සමඟ ඡායාරූප ගැනීමටත්, විවිධ සමරු තිළිණ ක්‍රීඩකයින් වෙත ලබා දීමටත් මගීන් අතර තිබුණේ විශාල තරගයක් බව පැවසෙනවා. මෙම ගුවන් ගමනේ සුවිශේෂීම කාරණාව වූයේ ගුවන් යානයේ නියමුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ සුනිල් වෙත්තමුණි ක්‍රියා කිරීමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<