විලියම්සන්ගෙන් ‘විශිෂ්ට’ නවසීලන්තයට පැසසුම්

2065

‘ICC’ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (10) නිමා වූ පළමු අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාම සඳහා සිය ක්‍රීඩකයින් විදහා දැක්වූ විශිෂ්ට තරගකාරී උත්සාහයට නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය ප්‍රශංසා එක්කළේය. 

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට ….

නියමිත දිනයේ තරගය අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය අතිරේක දිනයට කල්දැමීමට සිදු වූ අතර එහි දී නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දීය ඉදිරිපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 24ක් තුළ දවා ගන්නට සමත් විය. 

නවසීලන්ත ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ මැට් හෙන්රි සහ ට්‍රේන්ට් බෝල්ට් එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූයේ මෙම ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තාගත ශතක 5ක් වාර්තා කර ගත් රෝහිත් ශර්මා, ඉන්දීය නායක විරාත් කෝලි සහ කේ. එල්. රාහුල් තිදෙනාම 01 ලකුණ බැගින් ලබාගෙන සිටිය දී නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවමිනි. ඒ අනුව ලකුණු 240ක එතරම් අපහසු නොවූ ඉලක්කයක් හඹා ගිය ප්‍රබල ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ඔවුන් සමත් විය.

ඔවුන් දෙදෙනා තරගය අවසන් කළේ හෙන්රි සිය පන්දුවාර 10 තුළ ලකුණු 37ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගනිමින් සහ බෝල්ට් සිය පන්දුවාර 10 තුළ ලකුණු 42කට කඩුලු 2ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි. 

“තවත් අසීරු තණතීරුවක අපේ ක්‍රීඩකයින්ගෙන් තවත් විශිෂ්ට තරගකාරී උත්සාහයක්.” නවසීලන්ත නායක විලියම්සන් ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.  

“අපිට ලකුණු 240ක්, 250ක් වාර්තා කරගැනීමට අවශ්‍ය වුනා. ඒ වගේම පන්දු යැවීමේ දී අපිට ලබාගන්න පුළුවන් වුන විශිෂ්ට ආරම්භය හරහා අපිට තරගයේ ප්‍රබල ස්ථානයකට එන්න හැකි වුනා.”

මම ආඩම්බරයි කණ්ඩායම ක්‍රීඩා කර විදිය ගැන – විරාත් කෝලි

ඉන්දියානු කණ්ඩායම ලොව පුරා දහස් ගණනක් ……….

අඟහරුවාදා (09) දිනයේ දී විලියම්සන් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිම ගොඩනඟද්දී ඔහු සමඟින් එක්වූ කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨතම පිතිකරු රොස් ටේලර් තීරණාත්මක ලකුණු 74ක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඒ අනුව නවසීලන්ත ඉනිම ලකුණු 239ක් කරා රැගෙන යන්නට ඔවුන් අවශ්‍ය අඩිතාලම සැකසීය. 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 92කට කඩුලු 6ක් දැවී අසීරු තත්වයකට පත්වී සිටිය දී ඔවුන්ගේ ගලවා ගැනීමට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 77ක් වාර්තා කරගත්තේ එහි දී ලකුණු 50ක් වාර්තා කර ගත් අත්දැකීම් බහුල ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්වෙමින් 7 වන කඩුල්ල සඳහා ලෝක කුසලාන වාර්තා පොත් අතරට එක්වූ ලකුණු 116ක සබඳතාවයක් ගොඩනඟමිනි. 

බෝල්ට් යැවූ පන්දුවක් හමුවේ ජඩේජාගේ ප්‍රහාරය අවසන් කළ උඩපන්දුව අවසානයේ ග්‍රහණය කරගත්තේ විලියම්සන් විසිනි.

“එහි දී ජඩේජා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒක හරියට දැනුණේ ඔහු වෙනත් තණතීරුවක ක්‍රීඩා කරනවා වගේ.” විලියම්සන් පැවසීය.

ජඩේජාගේ උඩ පන්දුව රැකගත් අවස්ථාවේ ඔහුට දැනුණේ කුමක් දැයි අසමින් යොමු වූ ප්‍රශ්නයකට විලියම්සන් සිනාමුසු මුහුණකින් පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ;

“කවුරු හරි කියනවා ‘catch it’ කියලා. එතකොට පේනවා පන්දුව මගේ උඩ වගේ. ඒ නිසා ඒක මගේ විය යුතුයි.”

නවසීලන්තය මෙම අවසන් පූර්ව තරගයට පිවිසියේ තරගාවලියේ පළමු වටයේ දී පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවේ අඛණ්ඩ පරාජ ත්‍රිත්වයකට මුහුණ දෙමින් වන අතර ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ සිව්වැනි ස්ථානයේ රැඳෙමින් දල ලකුණු වේගයේ ආධාරයෙනි. අනෙක් පසින් ඉන්දීය කණ්ඩායම පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගත්තේ ඔවුන් මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි ප්‍රබලතම කණ්ඩායමක් බව නැවතත් සනාථ කරමිනි.   

“අපි මේ තරගාවලිය පුරාවට දැක්කා ඕනෑම කණ්ඩායමකට වෙනත් ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව.” විලියම්සන් පැවසීය.

පරාජයෙන් සසල වූ අසල්වැසියන් කියන කතා

අනෙකුත් කණ්ඩායම් සමඟ සසඳා බැලීමේ දී ලෝක………

ඒ අනුව පසුගිය 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලෝක ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියාව හෝ සත්කාරක ප්‍රබල එංගලන්ත කණ්ඩායම එළඹෙන ඉරිදා (14) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දී පරාජයට පත්කරමින් නවසීලන්තයට ඔවුන්ගේ පළමු ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර දීමට විලියම්සන් ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවනු ඇති බව නොඅනුමාන ය.   

නවසීලන්තය විසින් බිලියන ගණනක් ඉන්දීයන් දුකට පත්කර ඇති බව පැවසූ විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ද නායකත්වය ලබා දුන් විලියම්සන් පවසා සිටියේ;

“මම හිතනවා ඔවුන්ට ගොඩක් කේන්ති නැතුව ඇති කියලා. ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ළැදිකමට වෙනත් කිසිදු රටකට අභියෝග කළ නොහැකියි. ඒ වගේම අපි හැමෝම වාසනාවන්තයි මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න ලැබීම නිසා සහ ඉන්දියාව වැනි රටක් ඒ තුළ දක්‍ෂතා දැක්වීම නිසා. නමුත් මම හිතනවා අපිට ඒ බිලියන 1.5ක ප්‍රේක්ෂකයින් අපේ පැත්තට යොමුකරගෙන අපිට සහයෝගය දක්වයි කියලා. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ?”

“ක්‍රිකට් ක්‍රීඩාව ස්වභාවයෙන්ම අවිනිශ්චිත ක්‍රීඩාවක්. විශේෂයෙන්ම එක්දින සහ පන්දුවාර 20 තරගවල දී. අද සමහර විට තරගයේ සුළු පරතරයන් අපේ වාසියට තියෙන්න ඇති. කෙසේ හෝ අවසානයේ තරගයේ ජයග්‍රහණය හිමිකරගෙන ඉතා ප්‍රබල කණ්ඩායමක් පරාජයට පත්කරන්නට හැකි වීම ලොකු දෙයක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<