අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, දිවයිනේ විශිෂ්ට පාසල් ක්‍රිකට් තරු අතර වැජඹෙන්නට දරන වෑයමේදී, කිසිවෙකු නොසිතූ නොපැතූ ජයග්‍රහණයන් ඔවුන්ගේ නාමය ඉදිරියේ ලියවා ගන්නට මඟ බලා කණ්ඩායමකි.

පසුගිය ලිපි: සහීරා විද්‍යාලය – ‘A’ කාණ්ඩයෙන් පහලට නොවැටීමේ බලාපොරොත්තුවෙන්

ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක්

පාසලේ නිර්මාතෘ මුඩ්ලියර් සන්තියාගෝ තෝමස් ද සිල්වා මැතිඳුන් තම පෞද්ගලික ධනය වැය කොට 1913දී මේ පාසල ආරම්භ කරන ලද්දේ සිසුන් පහළොස්දෙනෙකුගෙන් ය. ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වලට ක්‍රීඩකයන් බිහි කිරීමේ අභිමානය තමන් තුළ රඳවා ගත් ධර්මාශෝකයේ හොඳම නිෂ්පාදනය උපුල් තරංග යැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. නමුත් දක්ෂ පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් ආනන්ද විද්‍යාලයට පියමනින්නට පෙරාතුව ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අත්පොත් තැබුවේද ධර්මාශෝකයෙනි.

2004 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වරම් ලද සමන් ජයන්තද ධර්මාශෝක විද්‍යාලයේ තවත් හොඳ නිෂ්පාදනයකි. ඔහු එක්දින තරඟ 17කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 400ක් රැස්කොට ඇත්තේ 26.66ක ලකුණු සාමාන්‍යයක්ද සහිතවයි.

2016/17 තරඟ වාරය

‘සී’ කාණ්ඩයෙන් තරඟාවලියට පිවිසෙන ඔවුන් අනෙකුත් පාසල් වලට දැඩි බලපෑමක් ඇති කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. ධර්මරාජ විදුහලට එරෙහිව සමසමව නිමා වු  තරඟයකින් තරඟාවලිය ආරම්භ කළ ඔවුන් ගුරුකුල විද්‍යාලයටත්, මොරටු විද්‍යාලයටත් එරෙහිව පැහැදිලි ජයග්‍රහණයන් සහ සහීරා විද්‍යාලයට එරෙහි මුල් ඉනිමේ ජයග්‍රහණයක්ද වාර්තා කොට 2016/17 තරඟාවලියට ඉතා හොඳ ආරම්භයක් ගෙනෙන්නට සමත් විය.

ප්‍රභල ක්‍රීඩකයින්

2016/17 තරඟ වාරයේ සියළු බර ධර්මාශෝකය වෙනුවෙන් කරට ගෙන ඇත්තේ උෂාන් ඉමන්ත ය. සිවුවැනි වසරේ වර්ණලාභියකු වන ඔහු පෙර තරඟ වාරයේ තරඟ 9කදී කඩුළු 31ක් වාර්තා කළ අතර ඒ අත්දැකීම්ද මෙවර තරඟාවලියේ ජයග්‍රහණයන් වෙනුවෙන් යොදා ගැනීමට උනන්දුවෙන් පසුවෙයි.

පෙර තරඟ වාරයේදී කණ්ඩායමේ නායකත්වය හෙබවු පස්වැනි වසරේ වර්ණලාභියකු වන කවීෂ් කුමාර පෙර වසරේ ලකුණු 600කට වඩා රැස්කළ ආකාරයටත් වඩා හොඳින් ධර්මාශෝක විදුහලට මෙවර ශක්තිය ගෙනෙනු ඇත.

දිනුක ඩිල්ශාන් ද පෙර වසරේ ලකුණු 600කට වඩා වාර්තා කළ තම තරඟ රටාව සමඟින් ධර්මාශෝකයේ පිතිකරණ අංශය ශක්තිමත් කරයි.

පෙර වසරේදී කඩුළු 60කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත් පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් මෙවර ඔවුන්ගේ දඟපන්දු අංශයේ මුලිකයායි.

15න් පහල පළාත් කණ්ඩායමේ නායක, එමෙන්ම 15න් පහල ශ්‍රී ලංකා උප නායකයාද වන රවිඳු රශාන්ත තම ජාතික තලයේ අත්දැකීම්ද මෙම තරගාවලියේදී කණ්ඩායමට එක්කරයි.

Photo Album: Dharmasoka College Cricket Team Preview 2016/17

පුහුණු කාර්යමණ්ඩලය

පිට පිට තෙවන වසරටත් කණ්ඩායමේ පුහුණුකාරීත්වය හොඹවන ඉසුරු අනුෂ්ක ක්‍රීඩකයන්ගේ දක්ෂතා, අඩුපාඩුකම් මැනවින් හඳුනාගනිමින් කණ්ඩායම ඉදිරියට ගෙන යයි.

පාසලේ ආදිශිෂ්‍යය‍ෙකු වන තිලාන් මදුරංග, ඉසුරුගේ  සහය සඳහා ඇපකැපවී සිටියි.

දීර්ඝකාලීන ක්‍රීඩා භාර ආචාර්ය දසන් නයිඩුවාවඩු නවවන වසරටත් එම තනතුරෙහි වැඩබලනු ඇත.

අවසන් වශයෙන්.

තරඟ හතරකදී ජයග්‍රහණ දෙකක් සමඟින් 19න් පහල තරඟාවලියට හොඳින් අවතීර්ණ වී සිටින ධර්මාශෝක විදුහල මේ වසරේදී පාසල් ක්‍රිකට් දැවැන්තයන්ට අභියෝග කරමින් තරඟාවලියේ මුල් අටදෙනා වෙත හෝ පැමිණීමේ අධිෂ්ටානයෙන් පසුවෙයි.