කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?

887

ලෝක රග්බි පිටිය ගැන අයෙක් ඇසූ සැණින් ක්ෂණයෙන් සිහියට නැගෙන්නේ නවසීලන්තයයි. ලෝක රග්බි ඉතිහාසයේ මහා කළු දැවැන්තයන් අද වන විට සෙසු රටවල්වලට තම ආධිපත්‍යයේ තරම පෙන්නා හමාරය. එහිම ලාංකේය අනුවාදය ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්වූවාට වරදක් නැත. ඒ නිසාම අන්තර් සමාජ රග්බි පිටියේ අණසක පතුරවා සිටින මහනුවර ආධිපත්‍ය යම් අවදානමකට තුඩු දී නම් එයට වඩා පුවතක් නොමැත.

ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් පොලිසියට සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (18) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී, වත්මන් ශූර මහනුවර ක්‍රීඩා…

ඈත අතීතයේ සිටම ලාංකේය රග්බි පිටිය තුල මහනුවර ක්‍රීඩා සමාජය තම නාමය සටහන් කර ගන්නේ සෙසු ක්‍රීඩා සමාජ හා අහසට පොළොව සේ පරතරයක් පවත්වා ගනිමිනි. ගෙවුණු වසර කිහිපයෙහි පාහේම මහනුවර හා සෙසු ක්‍රීඩා සමාජ අතර ඇති තරග ගැන අයෙක් “ආහ් කැන්ඩි එක්ක ද, එහෙනම් ඉතින් ක්‍රිකට් වගේ” ලෙස ද පවසනු නොරහසකි. ඒ එතරම්ම ප්‍රබලයන් මහනුවර වෙනුවෙන් ක්‍රීඩා කළ නිසාමය.

  • මහනුවර රග්බි කණ්ඩායම

නවසීලන්තය සේම මහනුවර ක්‍රීඩා සමාජය ද ලාංකේය රග්බි පිටියේ තම නාමය ඉතා හොඳින් පවත්වා ගත්තේ ක්‍රීඩාශිලීත්වය නිසා පමණක් නොවේ. ක්‍රීඩා පිටියට පැමිණෙන බස් රථයේ සිට පැලඳ සිටින ජර්සිය, අරුමෝසම් ආයිත්තම් හා හැඩිදැඩි සිරුරු තුලින් ඔවුන් ලෙහෙසියෙන්ම ක්‍රීඩාලෝලියා වෂී කරගත්තේ අන් කවර ක්‍රීඩා සමාජයකටවත් නොලැබෙන සෙනෙහසක් සහ ගෞරවයක් තමන් කෙරෙහි රඳවා ගනිමිනි.

එය කෙතරම් ද යත්, මහනුවර සමඟ පැවැත්වෙන තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායම රග්බි පිටියට කෙතරම් ජවසම්පන්නව පිවිසියත්, අවසානයේ ඔවුන්ට සිදුවන්නේ මහනුවරින් හමා එන දැවැන්ත සුලි කුණාටුවට නතු වී පරාජයේ අඳුරු ‍සෙවණැලි සමඟින් නිවෙස් බලා යෑමටය. ප්‍රේක්ෂකයා වෂීකෘත වී බලා සිටින්නේ මහනුවර කණ්ඩායම සතු අන්න ඒ බලපරාක්‍රමයටය.  

කෙසේ වුවත් ගෙවුණු දෙවසර තුල වැලිසර නාවික හමුදා රග්බි පිටියේ දී හා රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ දී පමණක් ප්‍රතිවාදීන්ට දෙවැනි වූ මහනුවර කණ්ඩායම තවමත් රග්බි ශූරතාවය නිත්තවෙල සිය නිජබිමේ ආධිපත්‍යයට නතු කරගනෙ සිටින්නේ අන් කිසිදු කණ්ඩායමට දෙවැනි නෙවෙමිනි.

1874 දක්වා දිවයන අතීත වෘතාන්තය තුල 1994 සිට 5 වතාවක් හැරුණු කොට අන් සියලු වසරවල ශූරතාව මහනුවර කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබේ. ඒ අතර අඛණ්ඩව සිව්වැනි වතාවටත් පසුගිය තරගාවලිය ඔවුන් ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයකි.

  • 2017-18 ශූරතාව දිනා ගනිමින්

කෙසේ නමුත් ලිපියේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී, තවමත් රග්බි ලීගයේ දෙසතියක් පමණක් හමාර වූ අවධියක මෙවන් වූ මාතෘකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එල්ලුම් ගසේ යාමට තරම් වරදක් වන නමුත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම අගනේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩයමේ ප්‍රබල ක්‍රීඩක රිචඩ් ධර්මපාලගේ නායකත්වයෙන් මෙවර රග්බි පිටියට පිවිසුණු මහනුවර කණ්ඩායම තම ප්‍රථම තරගය ලකුණු 19-28ක් ලෙස ජයග්‍රහණය කළේය. නමුත් සුපුරුදු ක්‍රීඩා විලාසය නම් ඔවුන්ගෙන් පෙනෙන්නට නොතිබුණු බව විචාරකයන්ගේ මතයයි. පළමු අර්ධයේ දී ලකුණු 14-07ක් ලෙස මහනුවර පෙරමුණ ගත්ත ද, විටෙක ලකුණු 19-21ක් ලෙස ද තරගය දිස්වූයේ මහනුවරට දැඩි පීඩනයක් එල්ල වෙමිනි.

එමෙන්ම දෙවන තරගයේ දී ඔවුන් පොලීසිය සමඟ ගැටුණේ සිය නිජබිමේ දීමයි. නමුත් වෙනදා තරම් සුහදත්වයක් ප්‍රේක්ෂකාගාරය නම් නොපෙන්වනු අපට පෙනුණි. නිත්තවෙල ක්‍රීඩා පිටිය යනු ප්‍රතිවාදියෙකුට කිසිවිටක ප්‍රාර්ථනා නොකරන අමිහිරි අත්දැකීමකි. ඒ එම ක්‍රීඩා පිටියේ දී මහනුවරට එහා අන් කිසිවෙකුට සටනක් දීම ම සිහිනයක් වන නිසාය.

අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන මහනුවර ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ අඛණ්ඩව පස්වැනි තරගාවලි…

කෙසේ හෝ පොලිස් සටන ද ලකුණු 32-23ක් ලෙස අවසන් මොහොතේ ජය ගන්නට මහනුවර සමත් වූයේ ප්‍රේක්ෂකයන් වෙත යම් අස්වැසිල්ලක් ගෙන දෙමිනි. නමුත් තරගයේ අවස්ථාවක පොලීසිය ලකුණු 18-17ක් ලෙස ද ඉදිරියෙන් සිටියා මතකය. කෙසේ වෙතත් තවමත් නිගමනයකට එළඹීමට වේලාසන වැඩිය. මහනුවර තවම අපරාජිතය.

නමුත් ක්‍රීඩාලෝලියා නම් විවිධ අදහස් දරනු පෙනෙන්නට තිබේ. අයෙකු මහනුවර ඉදිරිපෙළ තරමක අස්ථාවර බවට අදහස් දක්වද්දී, අයෙකු මරීජාගේ හා ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ අඩුව ගැන ද පවසා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට “සංගා, මහේල” තරම්ම, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මරීජාව අගනේය. ඔහු පිටියේ සිටින මිනිත්තු 10කින් පවා තරගයක් ආපසු හැරවිය හැකි ප්‍රබලයෙකු බව රග්බි ක්‍රීඩාව ගැන දන්නා සියල්ලන්ම පාහේ විශ්වාස කරයි. ෆ්ලයි-හාෆ් ක්‍රීඩකයෙකු ලෙස රග්බි පිටිය මැනවින් වටහා ගත්තෙකු වන මරීජාගේ අඩුව මහනුවරට සත්‍ය වශයෙන්ම තදින්ම දැනෙනු නොඅනුමානයි.

මීට අමතරව මෑතක දී කළ තාක්ෂණික සමීක්ෂණයක දී, ආසියාවේ වේගවත්ම රග්බි ක්‍රීඩකයා ලෙස නම් දරන හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ද, උරහිසේ ආබාධයක් හේතුවෙන් පළමු වටය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. සූරිගේ අඩුව ද මහනුවර පසුපෙළට විඳ දරා ගන්නට වීම කනගාටුවට කරුණකි. ස්ථාන කිහිපයක පහසුවෙන්ම ක්‍රීඩා කළ හැකි සූරි මහනුවර වෙනුවෙන් තවත් වැදගත්ම තුරුම්පුවක් වන බව ක්‍රීඩාලෝලීන්ගේ මතයයි. ඇසිල්ලකින් ප්‍රතිවාදියා මග හැරිය හැකි මනා දක්ෂතාවයකින් ද සූරි සමන්විත වේ.

  • හිටපු ජාතික කණ්ඩායම් නායක ෆසිල් මරිජා

සූරිගේ ආබාධය සේම මහනුවර ඉදිරිපෙළේ ප්‍රබලයෙකු වන දිමිත්‍රි විජේසිංහ ද මෙවර ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන අතර ඒ නිසාම ඉදිරිපෙළේ කාර්යභාරය වෙනුවෙන් ආගන්තුකයෙකුගේ සේවය මහනුවර අපේක්ෂා කරනු ඇත. කෙසේ වෙතත් තවමත් ඔවුන් දෙවසරක තමාගේ අපරාජිත ගිණුම තර කරගනිමින් සිටියි.

සියලු කාරණා හැරුණු කොට තවත් වෙනස්ම ආකාරයේ මතයක් සමාජය තුල පැතිරෙනු ඇසෙන්නට තිබේ. එනම්, මෙවර රග්බි ලීගයේ තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් කණ්ඩායම්වලට විදෙස් ක්‍රීඩකයන් සහභාගී කරවීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ පසුගිය තරගාවලියේ අවසන් ස්ථාන 4හි රැඳී කණ්ඩායම්වලට පමණි. ඒ නිසාම මහනුවර පරාජය කිරීමේ අරමුණින්ම මෙය සිදුකරනු ඇතැයි ද සමහර ක්‍රීඩාලෝලීන් පවසයි. නමුත් සැබෑවටම පැහැදිලි වන කරුණ නම් මෙවර තරගාවලිය උණුසුම් හා වඩාත් තියුණු කිරීම අරමුණු කරගනිමින් මේ තීරණය ගෙන තිබෙන බවයි.

තවද, මහනුවර සේම කොළඹ CH&FC හා CR&FC කණ්ඩායම් ද මෙවර දැවැන්ත ක්‍රීඩකයින් සමඟින් පිටිය පිවිසේ. පාසල් රග්බි පිටියේ ප්‍රබලයන් සේම ජාතික සංචිතයේ ද ප්‍රබලයන් මෙම ක්‍රීඩා සමාජ තුනෙහි අඩු වැඩි ලෙස මෙවර ක්‍රීඩා කරන අතර එයින් CR&FC වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරනු ඇත.

ඒ නිසාම මෙවර කන්ද උඩරට බලකොටුව වෙත දැවැන්ත ප්‍රතිවාදී ආක්‍රමණයක් එල්ල වීමට ඉඩකඩක් පවතී. නමුත් මහනුවර පසුපෙළ මෙවර ද ඉතා ප්‍රබලය. ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, තිළිණ විජේසිංහ, අර්ෂාඩ් ජමල්ඩීන්, නයිජල්, වීරරත්න සොහොයුරන් වැනි ප්‍රබලයන් ද, ජැන්සන්, දන්ගේ වැනි පාසල් රග්බි පිටියේ ප්‍රබලයන් ද මෙවර සංචිතයෙහි මුලසුන් දරති.

ඒ අතර උඩන්ගමුව, ජේසන්, ෂෙහාන් ලෙමා, සුහිරු වැනි ප්‍රබලයන් ද මහනුවර සංචිතයේ ක්‍රීඩා කරති. ඒ නිසාවෙන් මහනුවර කණ්ඩායම පෙර ලෙසම ශක්තිමත් බව නම් නොරහසකි. කෙසේ වෙතත් මහනුවර හා CR&FC තම තරග ද්විත්වයම ජය ගනිමින් මේ වන විට අපරාජිතව පසුවේ. මෙවර තරගාවලිය තුල CH&FC නම් තවමත් එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර නොමැත. නමුත් CH කණ්ඩායම පැරදුණු තරග ද්විත්වයම ඔවුන් එක් ලකුණකින් පරාජය වීම ද විශේෂත්වයකි.

  • 2018-19 නායක රිචඩ් ධර්මපාල

අවසන් වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ, වසර ගණනාවක් පුරාවට ලාංකේය රග්බි කිරුල දරා සිටින මහනුවරින් කුසලානය ගිලිහෙන්නට නායක රිචඩ් ධර්මපාල කිසිසේත්ම ඉඩ නොතබනු ඇත. මේ තරම් ඉක්මනට මෙවර තරගාවලිය ගැන අනාවැකි කියන්නට ද අපට වරම් නැත. නමුත් එකම පැනයක් අප සියල්ලටම හිසරදයක් වනු ඇත. “කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?” සංවාදයට විවෘතයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<