විජය, කපිල, කැෂුවල් ලයින් සහ සිරි පැරකුම් කාන්තා ශූරතා අවසන් තරගයට

299
  • Wijaya SC - Open Women's (2017 Dialog President's Gold Cup)

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා විවෘත තරග අංශයේ අවසන් මහා තරගය විජයබා ක්‍රීඩා සමාජය සහ කපිල ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එහි වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය සහ සිරි පැරකුම් කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.

විජයබා සහ කටාන, නාත්තන්ඩිය, හලාවත එක්සත් අවසන් සටනට

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි විවෘත තරග අංශයේ අවසන්….

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් මාස 4කට අධික කාලයක් පුරා පවත්වනු ලැබීය. ඒ අනුව මේ සඳහා ග්‍රාම සේවා වසම් 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 2500කට සහ ක්‍රීඩකයින් 40,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඒ හරහා මෙය දිවයින තුළ පැවති විශාලතම ක්‍රීඩා ඉසව්ව ලෙස හඳුන්වා දිය හැක.

විවෘත – කාන්තා

පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනාගත් කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයේ දී රඳාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් මෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් පසින් කුරුණෑගල කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය පරාජයට පත්කළ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගනු ලැබීය.

අවසන් කාණ්ඩ තරග වටයේ තරගවල දී විජය ක්‍රීඩා සමාජය සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය විසින් පිළිවෙළින් ලකුණු 25-21ක් හා 25-20ක් වශයෙන් කපිල ක්‍රීඩා සමාජයත්, ලකුණු 25-09ක් හා 25-08ක් වශයෙන් ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයත් පරාජයට පත්කරන ලදි. ඒ අනුව එම ප්‍රතිඵල හරහා එහි අවසන් පූර්ව වටයේ දී එම අදාළ කණ්ඩායම් තරග වදින ප්‍රතිවාදීන් තීරණය විය.

එහි දී පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී මෙම තරගාවලියේ ශූරතාවය 6 වරක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති විජය ක්‍රීඩා සමාජය හමුවේ 2015 වසරේ තරගාවලියේ අනුශූරයින් බවට පත්වූ ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්විය. එහි ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-21ක්, 25-16ක් හා 25-10ක් වශයෙනි.

එහි දී කපිල ක්‍රීඩා සමාජය සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය අතර පැවති අනෙක් අවසන් පූර්ව තරගය තරග වට 3/1ක් වශයෙන් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ කපිල ක්‍රීඩා සමාජය යි. එහි දී ඔවුන් පළමු තරග වට දෙක ලකුණු 25-23ක් හා 25-18ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවත් එහි තෙවන තරග වටය ලකුණු 23-25ක් වශයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය යි. කෙසේ නමුත් සිව්වැනි තරග වටය ලකුණු 25-20ක් වශයෙන් ජයග්‍රහණය කළ කපිල ක්‍රීඩා සමාජය තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

එහි දී 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී කැෂුවල් ලයින් කණ්ඩායම හමුවේ කාණ්ඩ තරග වටයේ දී අත්විඳි පරාජයෙන් ඉදිරියට පැමිණි ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය මෙම තරගය ලකුණු 25-21ක්, 25-16ක් හා 25-20ක් ලෙස ජයග්‍රහණය කරමින් 3 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  

වයස අවුරුදු 22න් පහළ – කාන්තා

මෙහි අවසන් පූර්ව වටයේ දී පසුගිය වසරේ ශූරතාවය දිනාගත් කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය, ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර අනෙක් පසින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය, හුංගම විජයබා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.  

එහි දී පැවති අවසන් කාණ්ඩ තරග වටයේ තරගවල දී සිරි පැරකුම් ක්‍රීඩා සමාජය හමුවේ ධර්මපාල ක්‍රීඩා සමාජය ලකුණු 25-06ක් හා 25-12ක් වශයෙන් පරාජයට පත්වූ අතර කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය හමුවේ විජයබා ක්‍රීඩා සමාජය ලකුණු 25-06ක් හා 25-08ක් ලෙස පරාජයට පත්විය.

අනතුරුව පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය ලකුණු 25-12ක් හා 25-08ක් ලෙස පහසුවෙන් ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජයට පත්කළ අතර එහි දෙවන අවසන් පූර්ව තරගයේ දී සිරි පැරකුම් ක්‍රීඩා සමාජය ලකුණු 25-06ක් හා 25-08ක් ලෙස විජයබා ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

එහි දී 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර කෙසේ නමුත් අවසානයේ එය ලකුණු 25-23ක් හා 25-23ක් ලෙස ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ජයග්‍රහණය කළ විජයබා ක්‍රීඩා සමාජය 3 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.

දශක 2කටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 12 වන වසරටත් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙන දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ‘Dialog Axiata’ සමාගම යි.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<