නේමාර් බිම පෙරලෙන්නේ ඇයි?

6779

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාව සඟවා ගැනීම ශ්‍රේෂ්ඨ ය. මන්දයත්, වේදනාව පෙන්වීමෙන් ලද හැකි යමක් නැති බැවිනි. එහෙත් පාපන්දු ක්‍රීඩාවේ දී වේදනාව අතිශයෝක්තියෙන් පෙන්වා ලද හැකි දේ බොහෝය. ඒ අතිශයෝක්තිය අතින් නේමාර් ශ්‍රේෂ්ඨ ය.

පාපන්දු ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෙකු සතු පන්දුව ලබා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට කළ හැක්කේ පන්දුවට පහර දීම සහ උරහිසට උරහිසින් අභියෝග කිරීම පමණි. පන්දුව සතු ක්‍රීඩකයාගේ පාදවලට පා පහරවල් එල්ල කිරීම හෝ ඔහුව උවමනාවෙන් බිමහෙලීම, දඬුවම් ලැබිය හැකි වැරදි වේ. පාපන්දු ක්‍රීඩා පිටිය මත දී ලැබෙන දඬුවම් වන්නේ කහ සහ රතු කාඩ්පත් ය. ප්‍රතිවාදී ආරක්ෂක පෙළ හෝ ඕනෑම ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබාදී මෙන් ඔහුව යම්තාක් පසුපාදයේ තැබිය හැක. මන්දයත්, කහ කාඩ්පත් දෙකක් ලැබීම අදාළ ක්‍රීඩකයාව රතු කාඩ්පත පෙන්වා පිටියෙන් නෙරපීමට හේතුවන බැවිණි.

මුලින්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එනු ලැබූ මෙම නීතිය තමන්ගේ වාසියට යොදා ගැනීමට පාපන්දු ක්‍රීඩකයන් අතිදක්ෂ ය. නේමාර්, ප්‍රතිවාදියෙකු ඇඟෙහි ගෑවුනත් බිම පෙරළෙමින් වේදනාව පෙන්වන්නේ එබැවිණි. මෙය පාපන්දු ක්‍රීඩාවේ උපක්‍රමයකි. එය ක්‍රීඩාවේ ජීවගුණයට කෙතරම් බලපානු ඇත්දැයි දින සති ගණන් තර්ක කළ හැකිමුත්, අද එය උපක්‍රමිකව වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ දී යොදා ගැනේ. නේමාර් ජූනියර්, එසේත් නැත්නම් ‘බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ තරුව’ සෑමවිටම උත්සාහ දරන්නේ එයින් වාසි ප්‍රයෝජන ලබාගැනීමටයි.

@performgroup.com – නේමාර් ජූනියර්

ඒ නිසාම පාපන්දුලෝලීන්ගේ පමණක් නොව, ලෝක ක්‍රීඩාලෝලීන් බහුතරයකගේ නුරුස්නාවට ලක්වන්නට නේමාර් හට සිදුව ඇත. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණ ඉන් ඉවත්වන්නට බ්‍රසීලයට සිදු වූයේ නේමාර්, ක්‍රීඩා කරනවාට වඩා බිම පෙරලීම නිසා යැයි ද කතාවක් පැතිරුණි. එතරම් දක්ෂ ක්‍රීඩකයෙකු ක්‍රීඩා දස්කම් ප්‍රදර්ශනය කිරීමට වඩා උපක්‍රම කෙරෙහි විශ්වාසය තැබීම ක්‍රීඩාලෝලීන්ගේ දැඩි නොකැමැත්තට හේතුවී තිබේ.   

පසුගිය දා ඔහු සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී “නිකරුණේ බිම පෙරලීම මත ජනතාව නගන චෝදනා ගැන” විමසීමේ දී ඔහු ESPN මාධ්‍යයට මෙසේ පැවසීය.

“මට ඒක විහිළුවෙන් භාර ගන්න සිදු වෙනවා. මම හැමවිටම මගෙ දේවල් හොඳින් කළමනාකරණය කරන කෙනෙක්. ඒ නිසා මට ඒක ගැන කතා කරන්න ඕන නැහැ. ඒ මං හැමදාම සෙල්ලම් කළ විදියයි. ඒ වගේ තරගකාරී අභියෝග (ප්‍රතිවාදීන්ගෙන්) භාර ගන්න වුණු පළමු වතාව නෙමෙයි ඒ. මම පටන්ගද්දී මට අවුරුදු 17යි. ඔය වගේ ගොඩක් ආක්‍රමණශීලී කකුල් වෙට්ටු මට ලැබිලා තියෙනවා.”

“ගොඩක් වෙලාවල්වල දී මම අනෙක් ක්‍රීඩකයන්ට වඩා වේගවත්, ඒ වගේම සැහැල්ලුයි. (ඒ නිසා) ඔවුන් මාව බිම දමනවා. ඔබ හිතන්නේ මං එහෙම වෙනවට කැමතියි කියල ද? නෑ, ඒක වේදනාකාරියි, රිදෙනවා. තරගවලින් පස්සේ මං පැය 5, 6 අයිස් තියනවා. ඔබ ඒක අත්විඳලා නැත්නම් ඔබට තේරෙන්නෙ නෑ.”

මෙවර ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ප්‍රබල ජර්මනිය ඉවත් වීමෙන් පසු, මීළඟ ප්‍රබලයන් දෙදෙනා අතර සිටි බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයේ දී බෙල්ජියම හමුවේ ගෝල 2-1ක් වශයෙන් පරාජය විය. එහි දී නේමාර් ගෝල වාර්තා කිරීමට වඩා ප්‍රතිවාදීන්ට දඬුවම් ගෙන ඒමට උත්සාහ කිරීම හාස්‍යජනක බව සමාජ ජාල තුළ විනෝදාත්මකව කතාබහ විය.

googleusercontent.com – “ඔබේ ප්‍රියතම යෝගා ඉරියව්ව කුමක්ද?” (ෆේස්බුක් මත නේමාර් ගැන පළවූ විනෝදාත්මක පෝස්ටුවක්.)

“ඒක ක්‍රීඩාවේම කොටසක්. එක එක්කෙනා හිතන විදිය වෙනස්. මම ලෝක කුසලානෙදී කළේ බ්‍රසීලයට සහාය දක්වන්න උත්සාහ කරන එක, මගේ රට දිනවන්න හදපු එක. ඒත් අවාසනාවකට අපට ඒක කරන්න බැරි වුනා.” නේමාර් වැඩිදුරටත් පවසා තිබුණි.

මෙසේ කියන නේමාර් බ්‍රසීලය වෙනුවෙන් 2018 ලෝක කුසලානයේ දී ගෝල 2ක් රැස්කළේය. ඔහු බිම වැතිරෙමින් රංගනයෙහි නොයෙදුණේ නම් තවත් ගෝල වාර්තා කරන්නට තිබුණු බව ඇතැමුන්ගේ මතයයි. කෙසේ වෙතත් නේමාර් පවසන පරිදි ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ආකාරය මෙයයි.

නේමාර් සිදුකළ උප්පරවැට්ටි කිහිපයක්

පසුගිය අන්තර් සමාජ තරගවාරයේ දී බාර්සිලෝනා කණ්ඩායමේ සිට පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායම වෙත යුරෝ මිලියන 200ක මුදලකට අලෙවි වූ නේමාර් නැවතත් තම කණ්ඩායම වෙනස් කරන්නට යන්නේ දැයි විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

“මම පැරිස් (පැරිස් සෙන්ට් ජර්මේන්) වලම ඉන්නවා. මට ඔවුන් එක්ක කොන්ත්‍රාත්තුවක් තිබෙනවා. ලොකුම සැකය මවන්නේ මාධ්‍යය විසින්. හැමෝම දන්නවා මගෙ ඉලක්කය, ඇයි මම පැරිස් කණ්ඩායමට ආවේ කියලා. මට මේ ක්‍රීඩා සමාජයත් එක්ක සාර්ථක වෙන්න ඕන.”

දැනට ලොව වැඩිම මුදලක් උපයන ක්‍රීඩකයන් අතරින් පළමු 10 දෙනා අතර ද පසුවන නේමාර්, සැබෑ දක්ෂයෙකි. එහෙත් ලෝක ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නට නම් ඔහු තවත් අයුරකින් ශක්තිමත් විය යුතුය. අනෙක් අතට මෙසේ කිරීමෙන් නේමාර්ට සිදු විය හැක්කේ “කොටියා කෑවෝ” සිද්ධියේ අනෙක ය. පසුව ඔහුගේ ඇත්ත වේදනාවක් පවා ගණන් නොගැනීමට ප්‍රේක්ෂකයන් පෙළඹෙනු ඇත.

අවසන් වශයෙන් කිවහැකි වන්නේ ක්‍රිකට් සහ රග්බි වැනි, ප්‍රතිවාදීන්ට වේදනා ගෙන ඒම ධනාත්මක වන ක්‍රීඩා මෙන් නොව, පාපන්දු ක්‍රීඩාවේ දී වැඩිපුර වේදනාව පෙන්වීම වාසිදායක විය හැකි බවයි. එහෙත් ක්‍රීඩා දස්කම් පසෙකලා රඟපෑම් පමණක් සිදු කරන විට ක්‍රීඩාලෝලීන් එදෙස වපරැසින් බැලීම වළකාලිය නොහැක. පේලේ, රොනාල්ඩෝ, මෙසී වැනි අවශ්‍ය විටෙක පමණක් උපක්‍රම යොදා ගත් ක්‍රීඩකයන් ලෝක ශ්‍රේෂ්ඨයන් ලෙස සැලකෙන්නේ එබැවිණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<