නිදහස් සටනේ වාසිය කාටද?

1643

අවසන් වරට සහභාගී වුන එක්දින තරග 29න් 23ක්ම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පරාජ නම් වූ තුවාලයේ වේදනාව බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලි ජයග්‍රහණයත් සමඟ යම්තාක් දුරට සමනය වූ බව නොරහසකි.

[rev_slider LOLC]

අසාර්ථකත්වයේ අන්තිම තැනටම වැටී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉහළට ඔසවා තැබීමේ පූර්ණ ගෞරවය කිසිවකුටත් නොව පුහුණුකරු චන්දික හතුරුසිංහට හිමිවන්නේය. නින්දෙන් අවදි වූ පරිද්දෙන් එක දිගට ලබාගත් ජයග්‍රහණ 3කින් පසු ශූරතා කුසලාන ශ‍්‍රී ලංකාව දිනා ගන්නා ලද්දේ අහම්බයකින් යැයි කෙනෙකු චෝදනා කළහොත්, එය එසේ නොවන බව ටෙස්ට් තරගාවලියේ ලද ජයග්‍රහණයෙන් සාක්ෂාත් විය. එයිනුත් නොනැවතුණු චන්දිමාල් ප්‍රමුඛ නඩය විස්සයි විස්ස තරග 2 ද ජයග්‍රහණය කිරීමට සමත් වූයේ වාර්තාගත ජයග්‍රහණ 2කින් පසුව වීම ඈත්ව ගිය ක‍්‍රිකට් ප්‍රේක්ෂකයින්ව නැවත ක‍්‍රීඩාගාර වෙත කැඳවීමට නිකුත් කරන ලද සාර්ථකම උත්තේජනය බවට පත්විය.

කරුණු කාරණා එසේ පසුවද්දී බංග්ලාදේශ තරගාවලියෙන් දින 13කට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමට නැවතත් වැදගත් තරගාවලියකට සිය මව්බිමේ දී ම සහභාගි වීමට නියමිතය. එහි දී ද ශ‍්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වන්නේ ලොව ඉහළින්ම සැරි සරන ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටින ඉන්දියාව මෙන්ම දින කීපයකට ඉහත දී ශ‍්‍රී ලංකාවෙන් නොසෑහෙන්න බැට කෑ බංග්ලාදේශය වේ.

’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව කන තබාගෙන, එසේත් නැත්නම් රූපවාහිනී වෙළඳසැල් අසල නැවතී එකිනෙකාගේ…

මීට දශකයකට පමණ ඉහත දී තුන්කොන් තරගාවලි පැවැත්වීම ශ්‍රී ලංකාවට නුහුරු අත්දැකීමක් නොවුනත් අවසන් වරට තුන්කොන් තරගාවලියක් පවත්වා වසර 8ක කාලයක් ගතවීමෙන් පසු මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකාවේ නිදහස පමණක් නොව ක්‍රිකට් ආයතනයේ 70 වැනි නිදහස් සංවත්සරය හේතුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මාර්තු 06 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසිනි.

තරගාවලිය දෙස මතුපිටින් බැලීමේ දී සත්කාරකත්වයේ වාසිය ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු වුවද, ක්‍රිකට් ක‍්‍රීඩාව තුළ පතුරවාගෙන සිටින බලපරාක‍්‍රමය මව්බිමේ දී මෙන්ම එතෙර තරගාවලිවල දී එක ලෙසම පවත්වා ගෙන යෑමට සමත්ව සිටින ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය නියෝජනය කිරීම ශ‍්‍රී ලංකා පිලට එල්ල වී තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස සඳහන් කළ හැක.

ශ‍්‍රී ලංකාව නියෝජනය කළ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වත්මන් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහට ද මෙම තරගාවලිය සුවිශේෂී තරගාවලියක් ලෙස හැඳින්විය හැක්කේ සිය පළමු රාජකාරි ඉතා සාර්ථකව නිමාවට පත් කර සිටින බැවිනි. හතුරුසිංහගේ ගුරු හරුකම් යටතේ බංග්ලාදේශයේ පැවති ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා ක්‍රීඩකයෝ යළිත් සිය රට බලා පැමිණියේ තරගාවලි ත්‍රිත්වයම ජයග්‍රහණය කරමිනි.

2018 වසර ජයග්‍රාහීව ආරම්භ කරන ලද තරගාවලිය බවට බංග්ලාදේශ තරගාවලිය පත්වුවත් අප ලබා ගන්නා ලද්දේ සැබෑම ජයග්‍රහණයක් ද යන්න මෙහි දී අවධානය යොමු කර සිටීම කාලෝචිත යැයි හැඟේ. එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේ පසු වූ සිම්බාබ්වේ පිල හමුවේ ද සිය මව්බිමේ දී පැවති තරගාවලිය 3/2ක් ලෙස පරාජයට පත්වූ ශ‍්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පිට පිටම තරග 9ක් පරාජයට පත්වීම අරුමයක් නොවන බව මතක් කර දීමට කැමැත්තෙමි. එ් මන්ද යත් එතරම්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය බරපතළව තිබූ බැවිනි.

තවත් අතකින් අවසන් වසර 3ක පමණ කාලය ගෙන බැලීමේ දී බංග්ලාදේශ කණ්ඩායම යනු සිය නිජබිමෙහි තරග කිරීමේ දී පහසුවෙන් පසුබැසි කණ්ඩායමක් නොවන බැවිනි. එම කාල සීමාව තුළ දී ලොව ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 4 වන ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව බංග්ලාදේශයට පැමිණ ටෙස්ට් තරගාවලිවලට සහභාගි වී ඇතත් ඉන් කිසිදු කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට අසමත්ව තිබෙන්නේ යැයි පැවසුවහොත් පිළිගත හැකි ද? එ්ත් සත්‍ය එයයි.

හතුරුසිංහගේ රහස් සැලසුම

තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළ ගැලවුම්කාරයකුගේ විශ්මිත සේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම…

එක්දින තරග අංශය ගෙන බැලීමේ දී ද තත්ත්වය එසේමය. ඔවුහු අවසන් වසර 5ක පමණ කාලයේ දී පරාජයට පත්ව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව තිබේ. එසේ බලන විට ”වැලේ වැල් නැතිව” සිට බංග්ලාදේශයට ගිය ශ‍්‍රී ලංකාව ලද ජයග්‍රහණය සුළුවෙන් තැකිය නොහැකි බවට පෙන්නුම් කිරීමට මීට වඩා උදාහරණ අවශ්‍ය යැයි නොසිතමි.

දකුණු අප්‍රිකාව සමඟ ඔවුන්ගේ මව්බිමේ පැවති එක්දන තරගාවලිය 5-1ක් ලෙස ජය ගෙන සිටින ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට පැමිණෙන්නේ සිය ප්‍රබලතම බර අවි වන නායක විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි රහිතවය. ඔවුන්ට අමතරව බුවනේෂ්වර් කුමාර්, ජස්ප‍්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩ්‍යාය ද නිදහස් කුසලානෙන් නිදහස ලැබූ ඉන්දියානුවෝ වෙති. බැලූබැල්මට මෙය ශ‍්‍රී ලංකා පිලට වාසියක් ගෙන දෙන්නක් ලෙස අනුමාන කළ හැකි වුවත්, රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව සටනට එන ඉන්දීය කණ්ඩායම සතු සෙසු අවි ද ශ‍්‍රී ලංකා පිල විනාශ කොට අළු කළ දමා යා හැකි තත්ත්වයේ එ්වා බව මතකයේ තබා ගත යුතුය. එමෙන්ම අයි. පී. එල්. තරගාවලිය හරහා ලොව ශක්තිමත්ම විස්සයි විස්ස කණ්ඩායම සැකසීමේ අවස්ථාව සහ එම තරග අංශයේ වැඩිම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සිටින රට බවට ද ඉන්දියාව පත්ව සිටියි.

එවැනි ප‍්‍රබලත්වයක ඉන්දියාව පසුවුව ද 2014 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාව දිනා ගන්නා ලද්දේ අවසන් මහ තරගයේ දී ඔය කියනු ලබන ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ය යන්න අමතක නොකළ යුතුය. එම තරගයට අවතීර්ණ වූයේ සාර්ථක සැලසුම් සහිතවය. එපමණක් නොව එ්වා පිටිය තුළ දී අකුරටම ක්‍රියාත්මක විය. එම සැලසුම් කෙතරම් ප්‍රබල තත්ත්වයේ පසුවූවාද කිවහොත්, කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙසින් කටයුතු කරන ලද දිනේෂ් චන්දිමාල්ව ද බංකුවේ තබමින්, ශ‍්‍රී ලංකා පිල එම තරගයට අවතීර්ණ වූ හැටි තවමත් මතකයට නැගේ.

එ් අනුව බැලීමේ දී වඩාත් වැදගත් වන්නේ එ් ඒ ප‍්‍රතිවාදීන්ට එරෙහිව එ් එ් තත්ත්වයන් යටතේ නිසි සැලසුම් සහ උපායමාර්ග සමඟ අවතීර්ණ වීම ය. තරගයට පෙර හතුරුසිංහ මහතාගේ පෙර සූදානම ඉතා ඉහළ බව බංග්ලාදේශ තරග සංචාරයේ දී පැහැදිළිවම දැක ගත හැකි විය. එ් සඳහා ඔහු බංග්ලාදේශය තුළ ගත කරන ලද පුහුණුකරු ජීවිතය ද ඉවහල් නොවුණාම නොවේ. කෙසේ වෙතත් එසේ ගොඩ නගා ගත් ප්‍රතිරූපය නිදහස් කුසලාන තරගාවලිය තුළ රැක ගැනීම හතුරුසිංහ මහතාට එල්ල වී තිබෙන ප්‍රධානතම අභියෝගය වේ.

බංග්ලාදේශ තරග සංචාරයට පෙර ඔහු පෙර සූදානම් වූ අයුරු ඉතා සිත්ගන්නා සුලූය. වෙනදාට පැය 2කට හෝ 3කට සීමා වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසි වෙනුවට මුළු දවසම පුහුණුවීම් සඳහා ඔහු වෙන් කළේය. ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට ඔහු කතා කළේය. කුඩම්මාගේ සැලකිල්ලට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් මත වැඩි විශ්වාසයක් තැබීය. දක්ෂතාවයන් උපරිමය තිබුණ ද එම දක්ෂතාවයට මොළයේ ක්‍රියාකාරීත්වය වඩාත් ඉවහල් වන බව තිසර පෙරේරාට කියා දුන්නේය. කණ්ඩායම් සංයුතියේ වෙනස්කම් කීපයක් පමණක් කළ හතුරුසිංහ මේ දිනෙව්වේ ඊට පෙර පරාජයන් පිට පරාජයන් ලැබූ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ම සැදුම්ලත් ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. කණ්ඩායම මෙතෙක් ලබා තිබෙන ශීඝ්‍ර දියුණුවේ පූර්ණ ගෞරවය හතුරුසිංහ මහතාට හිමි විය යුතු යැයි ලිපියේ පූර්විකාවේ සඳහන් කළේ එහෙයිනි.

ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන සතුරා ලෙස ඉන්දීය පිල හැඳින්වුවද බංග්ලාදේශය ද මෙම තරගාවලියට පැමිණෙන්නේ ගෙරදට ගොස් එල්ල කරන ලද කනේ පහරට වාඩුව ලබා ගැනීමේ අදහසිනි. 2019 තෙක් පුහුණුකරු තනතුරේ රැඳී සිටීමට නියමිතව තිබුණ ද හදිසියේම තමන්ව අත හැර දමා ශ‍්‍රී ලංකාවට යෑමට හතුරුසිංහ මහතා තීරණය කළ නිසා බංගලියෝ පසුවූයේ පළිගැනීමේ චේතනාවෙනි. එම නිසාම ඔවුන් ඔවුන් පිළිබඳවම අධි තක්සේරුවකට පැමිණ පුරසාරම් දෙඩීය. එම පුරසාරම් තරගාවලිය ආරම්භ වීමට පෙරත් තරගාවලි ඇරඹී මුල් දින කිහිපයේදීත් නොඅඩුව පැවැතිණි. එහෙත් අවසානයේ සිදු වූයේ පළිගැනීමේ චේතනාව ඔවුන්ටම පාරාවළල්ලක් බවට පත්වී  ඔවුන්ගේ වළේ ඔවුන්ම වැටීමය. මෙනිසාම ඔවුන් මෙම තරගාවලියට පැමිණෙන්නේ පෙර පැවති වැරදි අඩුපාඩු සියල්ලම මග හරවා ගනිමිනි.

බංගලාදේශ පිලේ ප‍්‍රධානම ක්‍රීඩකයා වන එක්දින නායක ශකීබ් අල් කණ්ඩායමට සංචාරයට නොවීම මෙම තරගාවලියේ දී බංග්ලාදේශ පිල මුහුණ දෙන අභියෝගයක් බවට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු සටන ලබන 06 වැනිදා ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ දියත් කරනු ලබන අතර 12 වැනිදා නැවතත් ඔවුන් සමගම තරග වදිනු ඇත. පළමු වටය යටතේ බංග්ලාදේශය සමඟ 10 සහ 16 යන දිනයන්හිදී තරග වදිනු ලබන අතර අවසන් මහ තරගය ලබන 18 වැනිදා පැවැත්වෙනු ඇත.  

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ලිපියකින් අප සටහනක් තැබූ බව ඔබට මතක යැයි සිතමු. මෙම ලිපිය සකසන්නට ආරම්භක…

කරුණු කාරණා එසේ පවතිද්දී ශ‍්‍රී ලංකා කඳවුරින් නිත්‍ය නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් යළිත් හැළී තිබේ. තමන්ට හිමි රජකාරි අකුරටම ඉටු කිරීමට චන්දිමාල් සමත්ව සිටින නිසා නායකත්වයෙහි ගැටලුවක් නම් ශ‍්‍රී ලංකා පිලට ඇති වෙතැයි සිතිය නොහැක. ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙසින් බලන විට සතුටට පත්විය හැකි ප‍්‍රධානම කරුණ නම් මෑත කාලයේ නොතිබූ විශ්වාසයක් ක්‍රීඩකයන් තුළ ජනිත වී තිබීමය. එහි ගෞරවය හතුරුසිංහ මහතාටය. එසේ ලැබෙන ගෞරවය දිගින් දිගටම ආරක්ෂා කර ගැනීමේ වගකීම ද භාරව ඇත්තේ ක්‍රීඩකයින්ටය. එනිසා එ් සඳහා ඔවුන් පෙළ ගැසිය යුතු බව සැවොම මෙනෙහි කර ගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ජයග‍්‍රහණයේ දී මල් මාලා ගෙලට පැමිණෙනවා සේම පරාජයේ දී ගල් වරුසා පතිත වන බවයි.

ලිපිය අවසානයේ දිනේෂ් චන්දිමාල් පැවසූ දෙයක් මතකයට නැගේ. අපි තරග කළේ එක කණ්ඩායමක් විදියට නොවෙයි, පවුලක් විදියටයි” ය යන්නය. සැබැවින්ම එය ඉදිරියටත් එලෙසින්ම පැවැතියහොත් ශ‍්‍රී ලංකාවේ ක්‍රිකට් වල තරම කිරා මැන බලා ගැනීමේ අවස්ථාව ලෝකයාට උදාවනු ඇත.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව ඔබේ අදහස සහ මෙවර තරගාවලියේ දී නිදහස් කුසලානය දිනා ගැනීමට වඩාත් අවස්ථාව ඇත්තේ ශ්‍රී ලංකාවට ද? ඔබේ අදහස් පහතින් comment කරන්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<