දකුණු ආසියාවේ වඩාත් නම්‍යශීලී සහ සුචල්‍ය (agile – පහසුවෙන් එහා මෙහා චලනය විය හැකි) ශරීර වලින් යුත් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින රට ශ්‍රී ලංකාවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින අංශය සවිමත් කර ගැනීම සඳහා නම්‍යශීලීත්වය අත්‍යාවශ්‍ය අංගයක් වන බව තහවුරු වූ සත්‍යයකි.

අනෙකුත් දකුණු ආසියානු රටවල් අතුරින් නේපාල වැසියන් පමණක් නම්‍යශීලී ගණයෙහි ලා සැලකිය හැකි නමුත් ඔවුන්ගේ ක්‍රිකට් පද්ධතිය ශ්‍රී ලංකාවේ තරම් උසස් මට්ටමක නැත.  ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින තරගකාරී සහ වෘත්තීමය මට්ටමට පැමිණෙත්ම පන්දු රැකීමේ අංශය ගැන වැඩි අවධානයක් යොමු වූ අතර මනා පුහුණුව සහ කැපවීම මඟින් එය වැඩිදියුණු කර ගත් ඉන්දියාවේ විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා වැනි ක්‍රීඩකයන්ට උපතින්ම ලද නම්‍යශීලීත්වයක් නොතිබුණත්, අද ඔවුන් ලොව ප්‍රමුඛ පෙලේ පන්දු රකින්නන් ය.

තිසර පෙරේරා, රසල් ආනෝල්ඩ්, ජීවන් මෙන්ඩිස්, චාමර කපුගෙදර වැනි පන්දු රකින්නෝ ශ්‍රී ලංකාවේ ඒ වාසනාව මැනවින් ඔප්පු කර පෙන්වූ උපන් හපන්කම් ලද්දෝය. එහෙත් දක්ෂතමයන් ඔවුන් ද?

මේ උප මහද්වීපය තුළ  ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන අනෙකුත් රටවල් වල ජනයාට සාපේක්ෂව (ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය) හොඳින් දුව පැන ක්‍රීඩා කළ හැකි ශරීරයක් උපතින්ම උරුම කර ගත් ශ්‍රී ලාංකික ඔබ මෙතෙක් ඒ ගැන සිතුවා ද?

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භයෙන් පසුව සිය උපන් හැකියාවෙන්, පුහුණුවෙන් සහ කැපවීමෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂතම පන්දු රකින්නන් දසදෙනා මෙසේ ලැයිස්තුගත කරමු.

  • සනත් ජයසූරිය

ලොව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මවිත කළ පිතිකරුවන්ගෙන් කෙනෙකු වන මේ ශක්තිමත් ක්‍රීඩකයා, පිතිකරුවෙකු ලෙසින් පමණක් නොව පන්දු යවන්නෙකු සහ පන්දු රකින්නෙකු වශයෙන් ද දස්කම් දැක්වූවෙකි. ඔහු එක්දින ලකුණු 13,000 සහ එක්දින කඩුලු 300 යන සීමා දෙකම ඉක්මවා යමින් එක්දින උඩ පන්දු 128ක් ද ලබාගෙන ඇත.

වයසින් වැඩෙත්ම ඔහුගේ නම්‍යශීලී පන්දු රැකීමේ දක්ෂතා දැක ගැනීම මඳක් අපහසු වූ නමුත් 90 දශකයේ ක්‍රිකට් තරග නැරඹූ ප්‍රේක්ෂකයන්ට ඔහු ලබා ගත් විශිෂ්ට උඩ පන්දු කිහිපයක්ම මතක ඇත.

(courtesy, images99.com)
(courtesy, images99.com)
  • මුත්තයියා මුරලිදරන්

ඔහු පන්දු යවන්නේ ඔහුගේම ක්‍රමයකටය. ඔහු පිතිකරණයේ යෙදෙන්නේ ද ඔහුගේම ක්‍රමයකටය. ඔහුගේ පන්දු රැකීම?

කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ රග්බි කණ්ඩායමත්, වෙළඳසේවා රග්බි තරගාවලි තුළ දී ජනශක්ති කණ්ඩායමත් නියෝජනය කර ඇති වේගවත්, නම්‍යශීලී ක්‍රීඩකයකු වූ මුරලිට, ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම සඳහා උපකාර වූයේ ඔහුගේ විකාර රූපී මැණික් කටුවේ පිහිටීමයි. ඉන් ටෙස්ට් කඩුලු 800කුත්, එක්දින කඩුලු 534කුත්, එක්දින උඩ පන්දු 130කුත් ලබා ගැනීමට මුරලිට හැකිවිය.

තමාම පන්දු යවා තමාම උඩ පන්දු ලබාගෙන ටෙස්ට් කඩුලු 35ක් දවාගෙන ඇති ඔහු, ලොව වැඩිම වරක් එවැනි දස්කමක් කළ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ සමඟ සම මට්ටමේ සිටිමිනි. ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු අප හට අමතක නොවන උඩ පන්දු කිහිපයක්ම රැකගෙන ඇත.

(courtesy, espncricinfo.com)
(courtesy, espncricinfo.com)
  • රුවන් කල්පගේ

දැනට ලොව සිටින හොඳම පන්දු රකින්නන් පුහුණු කරන්නෙකු සේ සැලකෙන රුවන් කල්පගේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සමයේ දී විශිෂ්ට උඩ පන්දු රැකීමේ සමත්කමක් තිබූ අයෙකි. තම ක්‍රීඩා දිවිය තුළ දී උඩ පන්දු 33ක් සුරැකිව ලබාගෙන ඇති ඔහු පුහුණුකරුවෙකු වශයෙන් ලොව පුරා කෙතරම් ප්‍රසිද්ධ වේද යත්, නැගී එන සෑම ක්‍රිකට් කණ්ඩායමක්ම පාහේ ඔහුට පන්දු රැකීමේ පුහුණුකාරීත්වය භාර දීමේ කැමැත්තෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය ආදී රටවල් වල පන්දු රැකීම ඉහල මට්ටමක තබා ගැනීමට මූලික හේතුවක් වූ ඔහු වත්මන් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ය. රුවන්ගේ ආගමනයෙන් පසු ඔවුන් පන්දු රැකීමෙන් කෙතරම් ඉදිරියට ගොස් ඇත්දැයි මේ වන විට බොහෝ දෙනා කතාබහ කරයි.

1995 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති “බෙන්සන් & හෙජස්” එක්දින තරගාවලියේ දී ඔහු දැක්වූ පන්දු රැකීමේ දස්කම් අදටත් ලොව පුරා ක්‍රිකට් හිතකාමීන් අතර කතාබහට පාත්‍ර වේ.

(Courtesy, Dailymotion)
(Courtesy, Dailymotion)
  • චාමර සිල්වා

අලංකාර පිතිකරණ ඉරියව් වලින් යුක්ත වූ සිල්වා, වේගය අතින් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට වඩා ඉදිරියෙන් සිටියේය. වසර කිහිපයක් ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළ ඔහු, ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය තුළ දී උඩ පන්දු 20ක් පමණක් රැකගෙන තිබුණත් පිටියේ පන්දු රැකීමේ දී වේගවත් සහ ගුවනේ පාවෙමින් සිදු කරන පන්දු වළක්වාලීම් සම්බන්ධව ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

උඩ පන්දු කිහිපයක් ඔහු අතින් ගිලිහුණු බවට යම් කෙනෙකුට තර්ක කළ හැකි වුවත්, වෙනත් පන්දු රකින්නෙකු උත්සාහ නොකරන පන්දු පහරවල් උඩ පන්දු බවට පරිවර්තනය කිරීමට යාමෙන් එසේ සිදුවූ බව පැවසිය හැකිය. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු ලබා ගත් විශිෂ්ට උඩ පන්දු අපට කිසිදා අමතක නොවේ.

(Courtesy, getty images)
(Courtesy, getty images)
  • ජෙහාන් මුබාරක්

‘උසින් වැඩි ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් කම්මැළියන්’ යැයි මතයක් පවතී. නමුත් එම මතය වෙනස් කළ නම්‍යශීලී, සුචල්‍ය ක්‍රීඩකයෙකු වූ ජෙහාන් මුබාරක් අති විශිෂ්ට පන්දු රකින්නෙකු ලෙස අවිවාදයන්ම සඳහන් කළ හැක.

පිතිකරුවෙකු හෝ පන්දු යවන්නෙකු නොවී සම්පූර්ණයෙන්ම පන්දු රකින්නෙකු වශයෙන් වුව ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වපසරිය සහිත වූ ඔහු 2016 වර්ෂයේ දී ලෝක ප්‍රකට පන්දු රැකීමේ විශේෂඥයෙකු වන ජොන්ටි රෝඩ්ස්ට අනුව “ශ්‍රී ලංකාවේ සිටි දක්ෂතම පන්දු රකින්නා” ය.

එක්දින තරග 40ක් තුළ දී උඩ පන්දු 12ක් ලබා ගත් ඔහු උඩ පන්දු ලබා ගැනීමට මෙන්ම රොකට්ටුවක වේගයෙන් පන්දුව නැවත භාර කිරීමට ද දක්ෂයෙකු විය. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අමතරව වෝටර් පෝලෝ  සහ කිමිදුම් ක්‍රීඩකයෙකු වශයෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඒ දක්ෂතාවයන් ඔහුට ඉවහල් විය.

(Courtesy, getty images)
(Courtesy, getty images)
  • හෂාන් තිලකරත්න

ශ්‍රී ලංකාව ප්‍රමුඛ ක්‍රිකට් රාජ්‍යයක් වීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුල්ල අවට හා පිටත, වරෙක කඩුලු රකින්නෙකු ද වශයෙන් දස්කම් පෑ තිලකරත්න, ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය පන්දු රකින්නෙකි. ’96 ලෝක ශූර කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ ඔහු, පසුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට ද පත්විය.

එක්දින උඩ පන්දු 89ක ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු 1992 වසරේ දී නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයක දී උඩ පන්දු 7ක් රැක ගනිමින් එවකට එක් තරගයක දී ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම උඩ පන්දු ප්‍රමාණය ලබා ගන්නට සමත් විය. පසුව එම වාර්තාව 2015 වර්ෂයේ දී බිඳ හෙලන ලද්දේ ඉන්දියාවේ ආජින්ක්‍ය රහානේ විසිනි.

(Courtesy, cdn5.wn.com)
(Courtesy, cdn5.wn.com)
  • උපුල් චන්දන

වයස අවුරුදු 20ක යෞවනයෙකු වශයෙන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට එක්වූ චන්දන, අතිදක්ෂ පන්දු රකින්නෙකි. පන්දු රැකීමෙන් අවස්ථා කිහිපයකදීම තරගවල තීරණ වෙනස් කළ ඔහු දුවද්දී දැවී යාම් ලබා ගැනීමේ ශූරයෙකු විය. 1996 ලෝක කුසලාන තරගාවලියේ ඇතැම් අවස්ථාවල දී, එවකට ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් ඔහුව පිටියට යොමු කෙරුණේ ඔහුගේ පන්දු රැකීමේ දක්ෂතාවය නිසාමය.

සෑම විටම රට පෙරට තබා ක්‍රීඩා කරන්නෙකු ලෙස ප්‍රකට ඔහු, ඕනෑම පන්දුවක් වෙත දිවගියේ සෑම ලකුණක්ම නැවතිය යුතුය යන මතය පෙරදැරිව සහ සෑම අර්ධ අවස්ථාවක්ම (half chances) පූර්ණ අවස්ථාවක් බවට පත්කර ගැනීමේ අභිප්‍රායෙනි. එබැවින් “උනන්දුවා” යන නාමය ද ඔහුට හිමි විය. එක්දින තරග 147ක් තුළ දී උඩ පන්දු 79ක් ලබා ගන්නට සමත් වූ ඔහු, දැනට පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වශයෙන් සේවය කරයි.

(courtesy, tribuneindia.com)
(courtesy, tribuneindia.com)
  • මහේල ජයවර්ධන

ඔහු ගැන අමුතුවෙන් උපමා අවැසි නොවේ. මහේල, ලෝක පූජිත ක්‍රිකට් නායකයකු ද වන අතරම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පුරවැසියන් දසදෙනෙකුගේ නම් ලැයිස්තුවක් නිර්මාණය කළහොත් එහි ද ඔහුට ස්ථානයක් හිමිය.

උඩ පන්දු රකින්නෙකු වශයෙන් සාමාන්‍ය ක්‍රීඩකයෙකුට ළඟා විය නොහැකි මට්ටමේ දස්කම් පෙන්වූ ඔහු, යාර 30 සීමාවෙන් පිටත දී ද දක්ෂ පන්දු රකින්නෙකු විය. විශේෂයෙන්ම ස්ලිප් ස්ථානයන්හි පන්දු රැකි බොහෝ ශ්‍රී ලාංකිකයන් අතුරින් දක්ෂතමයා ඔහු යැයි කිසිදු ගැටලුවකින් තොරව පැවසිය හැකිය.

එක්දින උඩ පන්දු 218කට සහ ටෙස්ට් උඩ පන්දු 205කට ද හිමිකම් කියන මේ ශූරයා ලොව වැඩිම එක්දින උඩ පන්දු වල හිමිකරුවායි. ඔහු අතින් උඩ පන්දුවක් ගිලිහීම ඉතාම විරල දසුනක් විය.

(Courtesy, newsimg.bbc.co.uk)
(Courtesy, newsimg.bbc.co.uk)
  • තිලකරත්න ඩිල්ෂාන්    

උපතින්ම වේගවත්, එමෙන්ම කඩිසර සහ සුචල්‍ය ක්‍රීඩකයෙකු වූ ඩිල්ෂාන්, වසර ගණනාවක් පුරාවට ඕනෑම කණ්ඩායමක පන්දු රකින්නන්ගෙන් ප්‍රමුඛයාට හිමිවන ‘පොයින්ට්’ කලාපයේ හිමිකාරීත්වය දැරූවෙකි. ඒ හැරුණු විට ඔහු පීඩනකාරී අවස්ථාවල දී පිටියේ ‘ලෝන්ග් ඕෆ්’ සහ ‘ලෝන්ග් ඕන්’ කලාපවල සිට දක්ෂ උඩ පන්දු රැකීමේ සහ දක්ෂ පන්දු රැකීමේ දසුන් නරඹන්නන්ට ලබා දුන්නේය.

කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කිරීමේ මාහැඟි කුසලතාවයකින් සපිරුණු ඔහු අතට පන්දුව ලැබුණු සෑම විටකම ප්‍රතිවාදී පිතිකරුවන් කඩුලු අතර දිවීම ගැන දෙවරක් සිතා බැලුවේය. ඔහු පිටිය තුළ එහා මෙහා දිවයමින් සහ ගුවනේ පාවෙමින් නවතාලන ලකුණු ප්‍රමාණය බොහෝ විට ලකුණු 15-20 ඉක්මවීය. එක්දින උඩ පන්දු 123ක් ලබා ගනිමින් පිතිකරුවෙකු, පන්දු යවන්නෙකු, පන්දු රකින්නෙකු සහ කඩුලු රකින්නෙකු යන සෑම කර්තව්‍යයකට පණ පෙවූ ඩිල්ෂාන් ලොව විසූ බහු කාර්ය ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකි.

(Courtesy, dailymail.co.uk)
(Courtesy, dailymail.co.uk)
  • රොෂාන් මහානාම

මුළුමහත් ක්‍රිකට් ක්ෂේත්‍රය පුරාම, පන්දු රැකීම අද මෙන් ප්‍රමුඛ කාර්යයක් නොවුනු යුගයක, මනරම් උඩ පන්දු රැක ගනිමින් ශ්‍රී ලංකා නාමය ලොව තුළ ස්ථාපිත කළ රොෂාන් මහානාම පන්දු රකිනු දැක්මට අවස්ථාව නොලද්දෙකු නම් ඔබ සැබවින්ම අවාසනාවන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකි.

පන්දුව වෙතට ගොස්, පන්දුව හඹා ගොස්, පන්දුව යටට ගොස් හෝ පන්දුව යටින් එහි මාවතට දිවගොස් යන සෑම අයුරකින්ම උඩ පන්දු ලබා ගැනීමේ දක්ෂතාවයකින් පසු වූ ඔහු, විශේෂඥ පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් ගණයෙහි ලා සැලකිය හැකි අයෙකි.

නොයෙක් ආකාරයේ විශිෂ්ට උඩ පන්දු රැකීම් නූතන ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලොව පුරා දැකිය හැකි වන අදවන් යුගයක දී පවා ඔහුගේ උඩ පන්දු රැකීම් ඉහල මට්ටමක තැබිය හැක. තරුණ ක්‍රීඩකයෙකු වශයෙන් තරුණ තරුණියන්ගේ සිත් දිනා ගැනීමේ ‘තරු ගුණය’ එවකට ඔහු තුළ පැවතුණු බව ද අපට මතක ය.

ඇතැම් විට ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ගැට‍ළු ඇතිවුවද ඔහු ඒ සියල්ල ජය ගනිමින් ’96 ලෝක ශූර කණ්ඩායමට ද පැහැදිලි කාර්යභාරයක් ඉටු කළේය. එක්දින තරග 213කදී උඩ පන්දු 109ක් ද, ටෙස්ට් තරග 52කදී උඩ පන්දු 56ක් ද ලබා ගනිමින් දක්ෂ පන්දු රකින්නෙකුගේ ගුණාංග ලොවටම විදහා දැක්වූ ඔහු, ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය පන්දු රකින්නා යි.

එකල පැවති තාක්ෂණික ගැට‍ළු හේතුවෙන් ඔහු ලබා ගත් අදහා ගත නොහැකි උඩ පන්දුවල වීඩියෝ දර්ශන සහ ඡායාරූප සොයා ගැනීමේ යම් අපහසුවක් ඇතත්, ඒ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු ලෙස  ඔබ සොයා ගොස් නැරඹිය යුතු දර්ශන යැයි මෙහි සටහන් කළ හැකිය.

(Courtesy, rediff.com & http://p.imgci.com)
(Courtesy, rediff.com & http://p.imgci.com)