ඉන්දියාවේ වේදනාව සහ ICC සංශෝධනයේ ඇතුලාන්තය

1682

පසුගිය පෙබරවාරි මාසයේ දී ICC (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) පාලක මණ්ඩලයේ හමුවක් පැවැත්වුණේ ඩුබායිහි ICC මූලස්ථානයේ දී යි. ඒ ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයේ අන් සෑම කුඩා ටෙස්ට් රාජ්‍යයක්ම පෙළමින් ක්‍රියාත්මක වූ “ICC මහා ක්‍රිකට් රාජ්‍ය” (Big three) පිළිබඳ සංකල්පයට සංශෝධන ඇතුලත් කිරීමටයි.

මෙතෙක් ක්‍රියාත්මක වූ මහා ක්‍රිකට් රාජ්‍යයන් තුනට පැවති විශේෂ වරප්‍රසාද සංශෝධනය කරන්නැයි පවසමින් කවුන්සිලය වෙත යොමු කෙරුණු ප්‍රතිපත්ති මාලාව අප්‍රේල් 27 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ පිළිබඳ විස්තරාත්මක හැදෑරීමක් කිරීම වටින බැව් අපි තීරණය කළෙමු.

ICC මහා ක්‍රිකට් රාජ්‍ය?

2014 වසරේ සිට වසර 8ක් ඉදිරියට (2015-2023) බලපැවැත්වෙන සේ හඳුන්වා දෙන ලද “ICC මහා ක්‍රිකට් රාජ්‍ය සංකල්පය” යටතේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආදායම බෙදීයන ආකාරය පිළිබඳ අරුම පුදුම සැලැස්මක් එළි දැක්වුණු අතර එහි දී ඉන්දියාව (20.3%), එංගලන්තය (4.4%) සහ ඕස්ට්‍රේලියාව (2.7%) යන ටෙස්ට් රාජ්‍යයන් වලට මුළු ආදායමෙන් 27.4%ක් අයත් විය. එය සාමාන්‍ය ප්‍රේක්ෂක අපට අරුම පුදුම පුවතක් වුවද, ආර්ථිකමය ඇසකින් බලන කල එතරම් අරුමයක් නොවේ.

පාපන්දු ක්‍රීඩාවට පමණක් දෙවැනි වෙමින් දැනට ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව, පවතින වාණිජමය මට්ටම දක්වා ඔසවා තබා ගන්නට ප්‍රධානතම හේතුවක් වන්නේ බිලියන 1කට අධික ජනගහණයක් සතු ඉන්දියාවයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භයේ සිටම එහි අධිකාරීත්වය දරන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ධනවත්ම රටවල් දෙක වන නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන සාමාන්‍ය ඉන්දියානුවන්ගේ එකම සහනය ක්‍රිකට් ක්‍රීඩාව වන බැවින්, වත්මනෙහි එය සහමුලින්ම ‘ඉන්දියානු උන්මාදයක්’ බවට පත්ව ඇති අතරම ඉන්දියානු පාලකයන් විසින් සාමාන්‍ය ජනයාගේ මනස පාලනයට යොදා ගන්නා මූලිකම ක්‍රීඩා අවියද වෙයි.ICC-revenue-distribution

ඇ.ඩො. බිලියන 2.1කට ආසන්න ලෝක ක්‍රිකට් ආදායමෙන් 70%ක් ම ඉන්දියාවෙන් ඉපැයෙන අතර ICC ආයතනය ඉන්දියානු සුරතලෙකු බවට පත්වීමට හේතුව එයයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) “නෑ/බෑ” කියන්නට අනෙකුත් ක්‍රිකට් බලවතුන් අපොහොසත් වන හේතුව ද එය වන අතර ඒ බලය විසින් අනෙකුත් “සුළු” ටෙස්ට් රාජ්‍යයන් පාලනය වූ ආකාරය, ක්‍රිකට්ලෝලී ඔබටත් අපටත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

ඉන්දියානු කණ්ඩායම තම රට තුළට ගෙන්වා ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට ඕනෑම ‘ස්ථාවර ක්‍රිකට් ආයතනයක්’ සූදානම්ව සිටියේ ඉන්දියානු ප්‍රේක්ෂාකර්ෂණය සමඟින් පහසුවෙන්ම ඉලක්කගත ආදායම සපුරා ගැනීමට ඇති හැකියාව නිසා යි. එහෙත් එසේ ස්ථාවර වන්නට ශ්‍රී ලංකාව, පකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් යනා දී ක්‍රිකට් පාලක මණ්ඩල අපොහොසත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට සිදුවූයේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉත්තන් බවට පත්වී ඉන්දියානු කණ්ඩායමට පුහුණු පහසුකම් සපයන කණ්ඩායම් වීමටයි.

ලෝක ප්‍රකට ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, වරෙක මේ පිළිබඳව නොබියව අදහස් පළකළේ මෙසේය.

“තවදුරටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයක් නැහැ. ඇත්තේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පමණයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC), අන්තර්ජාතික අපරාධ කවුන්සිලයක් (International Crime Council) වෙලා. ICCය දත් නැති කොටියෙක්.”

පැවති “මහා රාජ්‍ය සංකල්පයට” මෙසේ විවිධ අයුරින් විරෝධතා එල්ල වූ අතරම ඊට ඉන්දියානුවන් හැර අනෙකුත් ලෝක ක්‍රිකට්ලෝලීන්ගේ නොකැමැත්ත ද පළවෙමින් තිබිණි.

වෙනසක ආරම්භය

2014 වසරේ දී අදාළ සංකල්පය ICCය තුළ ස්ථාපිත වන අතර දී ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩල අපොහොසත් වූ නමුත් 2017 පෙබරවාරි මාසයේ දී පැවැත්වූ ICC පාලක මණ්ඩල හමුවේ දී ඊට සංශෝධන එක්කිරීමට තීරණය කෙරිණි. “ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමිති සම්මේලනය” (FICA), ඒ මුල්‍ය ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවට වූ යෝජනා පිළිබඳ යහපත් හැඟීමකින් පසුවිය

“අප (FICA) හිතන්නේ මෙය යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් සහ විනිවිදභාවයක් ඇති කරාවි කියලයි.” FICA ප්‍රධාන විධායක ටෝනි අයිරිෂ්, එසේ පවසා තිබිණි.

“ICC ආයතනය ස්වාධීන සහ ගෝලීය ක්‍රීඩාවේ උන්නතිය සම්බන්ධ තීරණ ගත හැකි සම්පූර්ණ බලාධිකාරයක් බවට පත්කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අප ඔවුන්ව (ICC) උනන්දු කරවනවා.” අයිරිෂ් මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ එපරිද්දෙනි.

එහෙත් උක්ත වෙනස්කම් සිදු කිරීමට එදිරි වූ බලවත් ක්‍රිකට් පාලක මණ්ඩලයක් විසින් එය ක්‍රියාත්මක වීම පිළිබඳව සැකයන් නිර්මාණය කරමින් සිටියේය. ඒ බලවතා නම් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයයි (BCCI).

වෙනස ක්‍රියාවට නැංවීම

කෙසේ නමුත් ඉන්දියානු විරෝධය නොතකා, මූල්‍ය ප්‍රතිපත්ති සංශෝධනය පෙබරවාරියේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූයේ 9/1ක් වශයෙනි. එහි දී ඉන්දියාව තනි කරමින් අනෙකුත් සියලුම ටෙස්ට් රාජ්‍යයන් නව ප්‍රතිපත්තියට එකඟ විය. එහෙත් එළඹෙන ජුනි මාසයේ දී ඇරඹෙන “ICC ශූරයන්ගේ කුසලාන” තරගාවලියට ඉන්දියාව විසින් එතෙක් සංචිතයක් නම් කොට නොතිබූ බැවින් වැඩි දෙනාගේ මතය වූයේ ඉන්දියාව එතැනින් කේවල් කිරීම අරඹනු ඇති බවයි. එය එසේම සිදුවිය.

ඉන්දියාවේ සහභාගීත්වය නොමැතිව ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ අභියෝගය, එනම් අප පෙරකී පරිදි ‘ඉලක්කගත ආදායම් සපුරා ගැනීමේ’ අභියෝගය ICCය ඉදිරියේ තිබිණි.

මේ අතර ඊට අදාළ ‘පාලන ප්‍රතිපත්ති සංශෝධනය’ පසුගිය අප්‍රේල් 27 වැනිදා ICC පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු අතර එය ද 8/2ක් වශයෙන් සම්මත වූයේ ඉන්දියාව කුපිත කරවමිනි. ඒ ඡන්ද විමසීමට ප්‍රථම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් විසින් ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත පාලක මණ්ඩල සමඟින් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබුණත් ඔවුන් අසාර්ථක විය. එහි දී ඉන්දියාවේ සහයට ආ එකම සගයා වූයේ පෙර ඔවුන්ගේම අසාධාරණවලට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

පසුව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ තමන්ගේ කණ්ඩායම ICC ශූරයන්ගේ කුසලානයට සහභාගී නොවන බවය. එහි වත්මන් ශූරයන් වන්නේද ඉන්දියාවයි.

කේවල් කිරීම

නව සංශෝධනයට අනුව ඉන්දියාවට පෙර ලැබූ ආදායම් කොටසට වඩා ඇ.ඩො. මිලියන 277ක් අහිමි වනු ඇති අතර ICC ශූරයන්ගේ කුසලානයට තම ක්‍රීඩකයන් ඉදිරිපත් නොකරන බව පවසමින් ඉන්දියාව, ICCය සමඟින් කේවල් කරන්නට විය.

ICCය පැවසුවේ තවත් ඇ.ඩො. මිලියන 100ක් ඊට එකතු කළ හැකි බවයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එය පිළිගත්තේ නම් ඉන්දියානු ආදායම් කොටස ඇ.ඩො. මිලියන 390ක් බවට පත්වන්නට ඉඩ තිබුණත් ඔවුන් පෙර ලැබූ ඇ.ඩො. මිලියන 570ක මුදල නැවත ඔවුන් වෙත පැවරීමට නව සංශෝධනය යටතේ හැකියාවක් නැත.

නව සංශෝධනය

2016 වසරේ සිට 2023 වසර දක්වා ඇස්තමේන්තුගත ICC ආදායම, ලෝක ටෙස්ට් කණ්ඩායම් අතර බෙදීයන්නේ මෙලෙසිනි.

  • ඉන්දියාව – මිලියන 293
  • එංගලන්තය – මිලියන 143
  • ඕස්ට්‍රේලියාව – මිලියන 132
  • පාකිස්තානය – මිලියන 132
  • ශ්‍රී ලංකාව – මිලියන 132
  • නවසීලන්තය – මිලියන 132
  • බංගලාදේශය – මිලියන 132
  • බ. ඉන්දීය කොදෙව් – මිලියන 132
  • ද. අප්‍රිකාව – මිලියන 132
  • සිම්බාබ්වේ – මිලියන 94

* සියලු ගණනයන් ඇ. ඩො. වලිනි.

ටෙස්ට් මට්ටමට ළඟා නොවූ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම් (Associate members) සඳහා ඇ. ඩො. මිලියන 280ක් වෙන්වේ.

වත්මන් තත්වය

සතියක පමණ සාකච්ඡා වලින් අනතුරුවත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ තමන් නොසෑහෙන බවයි. අවශ්‍ය නම් නීතීඥ සමාගමක සහය පතමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට යෑමට වුවද තමන් ක්‍රියා කරන බවයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩබලන ලේකම් අමිතාබ් චෞදරි මහතා මේ බව සනාථ කළේය.

“අපි කිසිවක් පසුපසට ගෙන නැහැ.” ඔහු කීවේය.

එහෙත් ICC සම්මුතීන් වලට අනුව, “ශූරයන්ගේ කුසලාන” තරගාවලියට සංචිතය ඉදිරිපත් කළ යුතුව තිබූ දිනයන් ඉක්මවා ගොස් තිබුණ ද, ඉන්දියානු සංචිතය නම් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ විය.

කෙසේ නමුත් මූල්‍ය පාලනයට අදාළ සංශෝධනයන් එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වෙන ICC වාර්ෂික සමුළුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට එහි දී ද නිල අනුමැතියක් ලැබිය යුතු වේ. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එහි දී ජය ලැබීම පිළිබඳව පසුවන්නේ මහත් බලාපොරොත්තුවකිනි.

“මං හිතන්නේ ටෙස්ට් සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙක් සහ එදා (අප්‍රේල්) සහභාගී වූ ටෙස්ට් නොවන සාමාජිකයන් තිදෙනාම, ඒ කියන්නේ සිංගප්පූරුව, අයර්ලන්තය සහ ‘තවත් රටක්’ ඉන්දියාව ගැන සහානුකම්පාවෙන් බලාවි කියලා.” චෞදරි, ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබුණේ යටි අරමුණක් සහිතව දැයි අපි නොදනිමු.

2017 ICC ශූරයන්ගේ කුසලානයෙන් පසුව කුමක් සිදුවේවිදැයි අපි ඉවසීමෙන් බලා සිටිමු.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට