ශ්‍රී ලංකාව නම් කුඩා දූපත් රාජ්‍යයේ රග්බි ඉතිහාසයේ මෙතරම් සාර්ථක වසරක් මින් පෙර ලියවී නොමැත. ටස්කර්ස් ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතිහාසයේ පළමු වරට ආසියානු මට්ටමේ  අනුශූරතාවක් දිනා ගැනීම ඊට ප්‍රධානතම හේතුවක් වෙයි.

පසුගිය ලිපි: හොංකොං සහ ශ්‍රී ලංකාව ලෝක සත් සාමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට

මෙරට සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ අතිශය සුබ පෙර නිමිති පෙන්නුම් කල වසරක් ලෙස මේ ගෙවී යන 2016 වසර හැඳින්විය හැකියි. මෙරට වයස අවුරුදු 18න් පහල සහ 20න් පහල කණ්ඩායම් දෙකම ඔවුන්ට අදාළ වයස් කාණ්ඩයන් හි ආසියානු ශූරතා අප මවුබිමට ගෙන එන්නට සමත් වීම ඊට හේතුවයි. එමෙන්ම 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ ඔලිම්පික් කල එලි දැක්ම සිදුවීම ලොව පුරාම රග්බි ක්‍රීඩාවේ ප්‍රබෝධයක් ඇති කරන්නට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියර දෙකේදීම කුසලාන අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර පසුගිය සතියේ කොළඹදී පැවැත්වූ තුන්වන සහ අවසන් අදියරේදී ඔවුන්ට හිමි වුනේ 4 වන ස්ථානයයි. කෙසේ වෙතත් අවසන් අදියරේ අනුශූරයන් බවට පත්වූ දකුණු කොරියාව (ප්‍රසාද ලකුණු 26) යන්තමින් අභිබවා යමින් සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 27) සමත් විය. ඔවුන් සමස්ත ශූරතාව දිනාගත් හොං කොං කණ්ඩායමට (ප්‍රසාද ලකුණු 36) වඩා පසුවුනේ ලකුණු 9ක් පසුපසිනුයි.

මෙම ආසියානු ශූරතා සත් සාමාජික තරග මාලාවේ ප්‍රතිඵල වලට අනුව ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි. ලබන වසරේ අප්‍රේල් 7 වනදා සිට 9 වනදා දක්වා හොං කොං හීදී පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ වටයට පිවිසීමේ අවස්තාව මේ වන විට හිමි කරගෙන සිටින අනෙකුත් රටවල් වන්නේ හොං කොං, නැමීබියාව, උගන්ඩාව, ස්පාඤ්ඤය සහ ජර්මනියයි. මේ අතරට ඇමරිකානු සහ පැසිෆික් කලාපය නියෝජනය කරන කණ්ඩායම් ඇතුළු තවත් කණ්ඩායම් 6ක් එක් වීමට නියමිතයි. මේ තරගාවලිය සුපුරුදු පරිදි සැණකෙළි පරිසරයක් වන් හොං කොං සත් සාමාජික රග්බි තරගාවලිය තුලදී පැවැත්වෙන්නේ ෆීජී, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් 15ක් සහ ආරාධිත කණ්ඩායමක ද සහභාගීත්වය සමගයි.

පසුගිය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තොරතුරු පහත දැක්වේ.Group results at Series qualifier below

එම තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සමත් වූයේ ජපාන කණ්ඩායමයි. එම නිසා ඔවුන් මෙවර ලෝක ශූරතා සත්  සාමාජික රග්බි තරග මාලාවට ඇතුලත් ප්‍රධාන කණ්ඩායමක් ලෙස තරග වදින අතර එම තරගාවලිය ලබන දෙසැම්බර් මස සිට 2017 මැයි මාසය දක්වා ලොව පුරා රටවල් 10ක දී පැවැත්වීමට නියමිතයි. පසුගිය ලෝක ශූරතා තරග මාලාවේ අවසන් ස්ථානයට පත්වූ පෘතුගාලයට මෙවර සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට සිදුවනු ඇත.

පහත දැක්වෙන්නේ 2016 අප්‍රේල් මස පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් කණ්ඩායම් 8 සහභාගී වූ අවසන් වටයේ ප්‍රතිඵල සටහනයි.

Below is the top 8 teams played in the knock out stage in April 2016

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉතා මහඟු අවස්තාවක් වන්නේ ඔවුන් හා සමාන හෝ තරමක් ප්‍රබල මට්ටමේ කණ්ඩායම් සමගින් තරග වැදීමේ හැකියාව ලැබීම හේතුවෙනුයි. මෙවන් තරගාවලියකට සුදුසුකම් ලැබීම පහසුවෙන් කණ්ඩායමකට හිමිවන භාග්‍යයක් නොවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන දස්කම් දෙස හැරී බලන කල්හි පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මෙවන් දැවැන්ත මට්ටමේ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් ප්‍රමාණවත් නොවන බවයි.

පසුගිය ජුනි මාසයේදී මොනාකෝ හීදී පැවැත්වුණු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය තුලදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස හොඳින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. ඔවුන් එහිදී ජර්මනිය (42 – 05), කැනඩාව  (57 – 00), උරුගුවේ (40 – 14), මොරොක්කෝ (33 -14) සහ දකුණු කොරියාව (31 – 24) හමුවේ පරාජය වූ අතර ජය ගැනීමට හැකිවූයේ මෙක්සිකෝව (22 -19) සමග පැවති තරගය පමණි.

පසුගිය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රතිඵල වලට අනුව හොං කොං කණ්ඩායම (ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හිසරදය බවට පත්වූ කණ්ඩායම) ජර්මනිය සහ සිම්බාබ්වේ හමුවේ පළමු වටයේදී පරාජය වුවත් අවසන් වටයේදී ස්පාඤ්ඤය සහ ජර්මනිය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් වී තිබේ (ඉහත වගුව බලන්න). නමුත් ඊට මාස දෙකකට පසු මොනාකෝ හීදී ස්පාඤ්ඤ කණ්ඩායම මේ සියලු කණ්ඩායම් අභිබවා ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ආකාරයත් දක්නට ලැබුණි. ඉන් පැහැදිලි වන්නේ සත් සාමාජික රග්බි යනු හාස්‍යජනක ක්‍රීඩාවක් වන බැවින් එක් තරගාවලියක ප්‍රතිඵලය ඊළඟ තරගාවලියට එතරම් බලපෑමක් නොකරන බවයි.

කොළඹදී පැවති ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ අවසන් අදියරෙන් පසු හොං කොං කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩක රෝවන් වාටි ThePapare.com සමග ඔහුගේ අදහස් බෙදා ගත්තේ මෙලෙසින්

”මම හිතනවා ආසියාවේ ඉහලම සිටින කණ්ඩායම 5 – 6 අතරින් ඕනෑම කණ්ඩායමකට අපිව පරාජය කිරීමේ හැකියාව තියනවා. අපි දැක්ක ඊයේ මැලේසියා කණ්ඩායමත් අපිව පරාජය කල ආකාරය. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් අපිට විශාල අභියෝගයක් වුනා. එම අභියෝගය අපිට උදවු වුනා තවත් දියුණ වෙන්න. මම හිතනවා ලෝක ශූරතා තරග මාලාවට සුදුසුකම් ලබන්න අපිට පුළුවන් කියලා”

ශ්‍රී ලංකා කණ්ඩායම සැම විටම හොං කොං කණ්ඩායම හමුවේ පරාජය වීමට හේතුව පිලිබඳ කල විමසීමකදී ඔහු පැවසුවේ මෙවැන්නක්. ”සාමාන්‍යයෙන් ඔබ නිතරම පරාජය වෙන කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීම ඉතා අපහසුයි. එවන් තරගයකදී නිරතුරුවම අලුත් දෙයක් කිරීම පිලිබඳ සිතන්නට සිදු වනවා. ඉතින් අප සමග ක්‍රීඩා කිරීමේදී සැම විටම පීඩනය පවතින්නේ ශ්‍රී ලංකාව සමගයි. සමහර විට අපිටත් පොඩි පීඩනයක් තිබෙනවා ජයග්‍රාහී වාර්තාව දිගටම පවත්වාගෙන යාම සඳහා. ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ ප්‍රබලතම කණ්ඩායමක් ඇත්තෙන්ම ප්‍රබලතම කණ්ඩායම අපි ඔවුන් සමග තරග වදින හැම වෙලාවකම ඉතාම දැඩි වෙහෙසක් දරන්න වෙනවා ඔවුන් පරාජය කරන්න.”

සත් සාමාජික රග්බි පිටියේදී ශරීර ප්‍රමාණය සහ ශක්තිය දස්කම් සඳහා බලපාන බවට මතයක් ගොඩ නැගිය හැක. සිංගප්පූරුව සහ චීන තායිපේ වැනි කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රබල ලෙස තම ආධිපත්‍ය පැතිරවීමට සමත් විය. නමුත් හොං කොං, චීනය  සහ දකුණු කොරියාව වැනි ශරීර ශක්තියෙන් වැඩි ක්‍රීඩකයන් සිටින කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකාවට සිය ශක්තිය වන පන්දුව රැගෙන ධාවනයේ යෙදීම වැඩිපුර භාවිත කරමින් තරග වැදීමට තිබූ බව විචාරක මතයකි. දෙවන අදියරේ තරගයකදී ශ්‍රී ලංකාවට දකුණු කොරියාව පහසුවෙන් පරාජය කරන්නට හැකි වුනේ එම ක්‍රීඩකයන් සමග ගැටීමට අවස්තාවන් උදා කර නොගෙන ධාවනය මගින් ලකුණු රැස් කිරීමට වැඩි අවධානයක් යොමු කරමිනුයි. එම උපක්‍රමයම භාවිතා කරමින්  ප්‍රබල හොං කොං කණ්ඩායම පරාජය කරන්නට මැලේසියාව සමත් වූ ආකාරය කොළඹදී දැක ගන්නට ලැබුණි.

පසුගියදා අවසන් වූ ආසියානු සත් සාමාජික තරගාවලියේදී පෙනී ගිය කරුණක් වූයේ, මෙරට ක්‍රීඩකයන්ගේ තීරණ ගැනීමේ සහ සිතීමේ හැකියාව සාපේක්ෂව පහල මට්ටමක තිබු බවයි. එමෙන්ම අදාළ තරග රටාවට ඔබින මානසිකත්වය ද ක්‍රීඩකයන් තුල නොතිබෙන්නට ඇත. කිරීමට අවශ්‍ය දෙය වන්නේ එක් එක් ක්‍රීඩකයන් පෞද්ගලිකව අධ්‍යනය කර ඔහු ප්‍රතිවාදීන්ට තර්ජනයක් වන ලෙස හැඩගස්වා ගන්නේ කෙලෙස ද යන්න සොයා බැලීමයි. හොං කොං කණ්ඩායමේ පුහුණුකරු ගැරත් බාබර් වරක් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතුව ක්‍රීඩාවට අවශ්‍ය සාමාන්‍ය දැනීම නොමැති බවයි. එබැවින් හොං කොං හීදී පැවති පළමු අදියරේදී පන්දුවේ අයිතිය වැඩි කාලයක් ශ්‍රී ලංකාව සතුව පැවතියද එම අවසන් තරගය ජය ගැනීමට නොහැකි වූ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ ඉදිරි ගමන පිලිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතියි. උදාහරණයක් ලෙස ගතහොත් හොං කොං කණ්ඩායමේ ක්‍රීඩකයන් හට සත් සාමාජික රග්බි තරග ක්‍රීඩා කිරීම සඳහා පූර්ණ කාලීන කොන්ත්‍රාත්තු ලබා දී තිබේ. අවශ්‍ය අවස්ථා වලදී ඔවුන් 15 දෙනා සහභාගී වන තරග සඳහා ද එක්වෙයි. එවන් රටවල් ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට ද සැලසුම් සහගත සත් සාමාජික රග්බි ඉදිරි සැලසුමක් සකස් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමයට දැන් කාලය එළඹ තිබේ.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි. (නොවැම්බර් 4 වැනිදා ආරම්භ වේ.) එය අවසන් වන්නේ පෙබරවාරි 19 වැනිදායි. ඉන් පසුව ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය 2017 මාර්තු 11 වැනිදා දක්වා දිවෙන ලෙස සැලසුම් කර තිබේ. එබැවින් ශ්‍රී ලංකා රග්බි සංගමය දැන්ම ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තු ඇති කරනවාද නැතහොත් දේශීය තරගාවලිය අවසන් වන තෙක් බලා සිට සුපුරුදු පරිදි ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සති 2කට පෙර සංචිතයක් තෝරා පුහුණුවීම් ආරම්භ කරනවාද යන්න අවධානය යොමු විය යුතු කරුණකි.

සත් සාමාජික රග්බි කණ්ඩායමේ සාමාජිකයන් වන රිචඩ් ධර්මපාල, ජේසන් දිසානායක, කාංචන රාමනායක, ධනුෂ් දයාන්, ධනුෂ්ක රංජන් සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර යන සියල්ලන්ම මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. මේ වන විට ආබාධ වලින් සුවය ලබමින් සිටින ප්‍රබල සත් සාමාජික රග්බි ක්‍රීඩකයන් වන ෂෙහාන් පතිරණ, අනුරුද්ධ විල්වර, නයිජල් රත්වත්ත, සුහිරු ඇන්තනි, ගයාන් වීරරත්න සහ ෆාසිල් මරීජා යන ක්‍රීඩකයන් සියලු දෙනා ද මහනුවර ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ය. සුපුරුදු පරිදි මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලාන අවසන් තරගය දක්වා පැමිණියහොත් ඔවුන් හට සත් සාමාජික රග්බි තරගාවලියක් නැතහොත් වේගවත් සහ වෙනස් තරග රටාවක් අනුගමනය කල යුතු ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශාරීරිකව හෝ මානසිකව  සූදානම් වීමට කාලයක් ඉතිරි වෙයිද?

පූර්ණ කාලීන කොන්ත්‍රාත්තු ලබා දීම මගින් ක්‍රීඩකයෙකුට සත් සාමාජික තරග රටාවට හැඩගැසීමට මෙන්ම එම තරග රටාවේ වෘත්තියමය තත්ත්වයට පත් වීමටද අවස්තාව හිමි කර දෙයි.

බ්‍රයන් හබානා සහ ක්වේඩ් කූපර් වැනි ප්‍රබල රග්බි ක්‍රීඩකයන් හට සත් සාමාජික ක්‍රීඩාවේ වේගයට සහ ඊට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවට හැඩ ගැසීමට නොහැකි වීම හේතුවෙන් ඔලිම්පික් තරගාවලියද අහිමිව ගිය ආකාරය දක්නට ලැබුණි.

පූර්ණ කාලීන කොන්ත්‍රාත්තු ලබා දීමට නම් ඒ සඳහා අවශ්‍ය තරම් මූල්‍ය ශක්තියක්ද රග්බි සංගමය සතුව පැවතිය යුතුයි. එබැවින් තවත් සති කිහිපයකින් පැවැත්වෙන ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම ගැටලුව ඇතුළු රග්බි ක්‍රීඩාවේ හෙට දිනය පිලිබඳ සැලසුම් අනිවාර්ය මාතෘකාවක් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියද ලබන වසරේ මැද භාගය වනතෙක් නොපැවැත්වීම හේතුවෙන් ජනවාරි සහ මාර්තු අතර කාල සීමාව තුල ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ආරාධිත තරග සංචාර කිහිපයකට හෝ සහභාගී කිරීමට හැකි නම් එය ඔවුන්ගේ මානසික ශක්තිය සහ තරග රටාවට හැඩගැසීම ඉහල නංවා ගැනීමට මහඟු රුකුලක් වනු ඇත.