අපිට කොහෙහරි වැරදුනා බං…

4923
©onlanka.com, zimbio.com, sabreakingnews.com

“මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්..

මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්..

ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං..

බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං..”

මේ රෝහණ පොතුලියැද්ද මහතා විසින් රචිත කවි පන්තියක පද කිහිපයකි. වත්මන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයා සම්බන්ධයෙන් මේ පද පෙල කෙතරම් ගැලපේද යන්න තීරණය කිරීම ඔබට භාර කරමින් මම මේ සටහන ආරම්භ කරමි.

නොසිදුවිය යුතුව තිබූ දේ දැන් සිදුවී හමාරය. සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩායම් අපව පහසුවෙන් පරාජය කරන තත්ත්වයට අප ක්‍රිකට් ක්‍රීඩාව පත්ව හමාරය. සියලු පරාජයන් හි හා කඩාවැටීම් වල වගකීම් හා චෝදනා නායකත්වය වෙත ලඝු කොට තම ඇඟ බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවීමට ද ඇතැමුන් උත්සාහ කරමින් සිටියි. ඇතැම් සමුගත් ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට පැමිණීමට උත්සාහ ගනිමින් සිටියි. මේවා විහිළු ය. සමුගත්තවුන් නැවත ගෙන්වා තරග ජයග්‍රහණය කළ යුතු නම් අප මුලින්ම කළ යුතුව තිබුණේ ඩුබායි හි ආසියානු කුසලාන තරගාවලියේ විස්තර විචාරක අට්ටාලයේ සිටි කුමාර් සංගක්කාර ඉන් බස්සවා ඔහුට ආවරණ පළඳවා පිත්තක් අතට දී පිටියට යැවීමය. මේවා විහිළු ය.. ඉතින් විහිළු සැපයීම පසෙක ලා අපි සැබෑ ප්‍රශ්නය දෙසට හැරෙමු.

නායකත්වය යන්න සැමට උරුම දෙයක් නොවේ. නායකත්වය යන්න වයසින් මුහුකුරා යෑමෙන් හෝ අත්දැකීම් ලබා ගැනීමෙන් පමණක් හිමි කරගත හැකි දෙයක් ද නොවේ. එය නිසඟ කුසලතාවයකි. “Leaders are born. Not made.” ලෙස බටහිර කියමනක් තිබේ. එයට පක්ෂව හා විපක්‍ෂව තර්ක විතර්ක කෙතරම් තිබුණ ද රචකයාගේ අදහස නම් නායකයෙකු හට වයසින් මුහුකුරා යෑමෙන් හා අත්දැකීම් ලබා පරිණත වීමෙන් තම නායකත්ව හැකියාව දියුණු කරගත හැකි මුත් ක්ෂණිකව නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ අවදානම් භාර ගනිමින් එම තීරණ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ආත්ම විශ්වාසය යන කරුණු දෙක නිසැකව ඔහු සතු විය යුතු බවයි.

මොහොතකට අපි ක්‍රිකට් පසෙකින් තබමු. මා ඔබව රැගෙන යන්නේ එක් දහස් නවසිය පනහ වසරේ දී එකල රටේ ප්‍රබල දේශපාලකයෙකු විසින් පනාමුර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ඇත් ගාලක් වෙතටය. එහි දී ඇත් ගොව්වන් විසින් දහහත් දෙනෙකුගෙන් යුතු වන අලි රංචුවක් ඇත් ගාලට කොටු කර ගැනුණු අතර එම වන අලි රංචුවේ හුන් නායක අලියා තම දිවි දෙවැනි කොට සිය සගයන්ගේ නිදහස උදෙසා සටන් කර දිවි පිදූ අයුරු ඉතිහාස කතාවල සඳහන් වේ. අවසානයේ උගේ සටන මිනිස් වෙඩි පහරකින් අවසන් වූවද පසුව එම අලියා පනාමුරේ ඇත් රජු ලෙස සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අයුරු ඉතිහාසයේ ලියැවී ඇත. තිරිසන් සතෙකු වුවද ඇත් රජු වෙනුවෙන් ගීත සහ සාහිත්‍ය කෘති පවා නිර්මාණය වූයේ ඌ සතු වූ නායකත්ව ගුණාංග නිසාය.

“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක පුවත් ය. මේ අසතුටෙහි ප්‍රධාන හේතුවක් ලෙස හැඳින්විය හැකි “මුදල්” නම් හේතුව ගැන…

වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම පසුබෑමට ලක්වීමේ ප්‍රධාන හේතුව වශයෙන් දක්නට ලැබෙන නිවැරදි නායකත්වයක් නොමැති වීමේ අඩුපාඩුව, මෑත වකවානුවේ දී ක්‍රිකට් ක්ෂේත්‍රයට ද එලෙසින්ම බලපා ඇති ආකාරය විමසිල්ලෙන් බලා සිටින අයෙකුට වැටහී යන කාරණයකි. අපි මොහොතකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසට හැරෙමු. කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් පසුව කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට පවරා අනතුරුව විවිධ අවස්ථාවල දී එය දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, උපුල් තරංග, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, චාමර කපුගෙදර යන ක්‍රීඩකයන් හට භාර දී අවසානයේ  නැවත වරක් ඇන්ජලෝ මැතිව්ස් වෙතම භාර දෙන ලදි. එහි අවසන් ප්‍රතිඵලය ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරග දෙක දෙස බැලීමෙන් ඔබට පෙනී යනු ඇත.

ඇන්ජලෝ මැතිව්ස් ඉතා හොඳ ක්‍රීඩකයෙකි. ඒ බවට විවාදයක් නැත. පසුගිය තරග සමයේ එක්දින පිටියේ සාර්ථකම පිතිකරුවා ඔහුය. නමුත් ඇන්ජලෝ මැතිව්ස් හොඳ නායකයෙක් ද? සැබැවින්ම ඇන්ජලෝ මැතිව්ස් සතුව නායකත්ව කුසලතා පවතින්නේ ද? මෙය මදක් විමසා බැලිය යුතු කාරණාවකි.

ඒ සඳහා පළමුකොටම මම ඔබව එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පන්දුවාර 50 සීමිත ඕවර තරගයක් වෙත රැගෙන යමි. ජයග්‍රහණය පෙනෙන මානයටම පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියේ එවක කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් වූ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ය. ශතකය ආසන්නයේ සිටි චන්දිමාල් මදක් නොඉවසිලිමත් බවක් පෙන්නුම් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර නමින් හඳුන්වන ලෝඩ්ස් පිටියේ ශතකයක් වාර්තා කිරීම ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයක් වීම නිසා විය යුතුය. එම අවස්ථාවේ දී ශතකය පසෙක තබා අවශ්‍ය ලකුණු රැස් කිරීමට නියෝග කරමින් කණ්ඩායමේ කළමනාකාරිත්වය සහ ජ්‍යේෂ්ඨයින් කණ්ඩායම් විවේකාගාරයේ සිට දැඩි විවේචන එල්ල කරන විට දී පවා නිසොල්මන්ව තම අන්තය ආරක්ෂා කරගෙන දිනේෂ් චන්දිමාල් හට තම ශතකය රැස් කිරීමට අවස්ථාව සලසා දුන් ඇන්ජලෝ මැතිව්ස් ඔබගේ මතකයෙන් ගිලිහී නොගොස් ඇතැයි මම සිතමි. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට අපි ආදරය කළෙමු. අනාගත නායකයා ලෙස විවරණ ලබා සිටි මැතිව්ස් හා අනාගත උප නායකයා ලෙස විවරණ ලබා සිටි චන්දිමාල්ගේ මෙම සබඳතාව දෙස බලා අපි ආඩම්බර වෙමින් අනාගත ක්‍රිකට් ක්‍රීඩාව ගැන සුබ සිහින මැව්වෙමු.

© zimbio.com

වර්තමාන යථාර්ථය මෙතරම් කටුක වේ යැයි අපි එදා නොසිතුවෙමු. මැවූ සිහින සියල්ල බොඳ කරවමින් අද ඇන්ජලෝ මැතිව්ස් අසාර්ථක වී තිබේ. එදා මැතිව්ස් පෙන්වූ වගකීම් දැරීමේ සහ පීඩනය දරා ගැනීමේ හැකියාව අද ඔහුගෙන් දක්නට ලැබෙන්නේ නැත. MCG පිටියේ දී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව අප දුටු සටන්කාමියා අද ඔහු කෙරෙන් නික්ම ගොස්ය. 20/20 තරගවල අපට සිටි ආරම්භක පන්දු යවන්නා අද මැතිව්ස්ගෙන් දක්නට ලැබෙන්නේ නැත. මැතිව්ස් පමණක් නොව ඔහුගෙන් පසුව පැමිණි සෑම නායකයෙකුම අසාර්ථක වී තිබේ. මේ සියලු නායකයන් අසාර්ථක වීමටත්, ක්‍රීඩකයන් දිගින් දිගටම දක්ෂතා නොපෙන්වීමටත්, ක්‍රිකට් ක්‍රීඩාව මෙසේ කඩා වැටීමටත් එකිනෙකාට ඇඟිලි දිගුකරගන්නවා වෙනුවට එය එසේ වීම සඳහා බලපෑ සැබෑ  හේතුව කුමක් දැයි සොයා බැලීම වටියි.

සැබෑ ප්‍රශ්නය ඇත්තේ ක්‍රිකට් පිටිය තුළ නොවේය යන්න මම ඔබට පවසා සිටිමි. එසේ නම් කණ්ඩායම මෙවැනි තත්ත්වයකට ඇදවැටීමට හේතුව කුමක්ද?

“විනය”

කණ්ඩායමේ විනය පිරිහීම මේ සියල්ලටම හේතු වූ බව ඔබ මදක් සිතා බැලුවහොත් ඔබට වැටහී යනු ඇත. විනය පිරිහුණ තැන සියල්ල පිරිහෙන බව රහසක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද සිදුවී ඇත්තේ මෙයයි. ටොකු ඇනිය යුතු තැන්වල ඔලුව අතගා සැනසීමේ ප්‍රතිඵල අප දැන් භුක්ති විඳිමින් සිටිමු.

90 දශකයේ මුල් භාගයේ ලෝකයේ පසුපෙළ කණ්ඩායම් කිහිපය අතර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අර්ජුන රණතුංගගේ දැඩි විනයක් සහිත නායකත්වය යටතේ 96 ලෝක කුසලානය ජය ගත් ආකාරය ද, 1999/2000 වන විට කඩා වැටී තිබූ කණ්ඩායම සනත් ජයසූරියගේ දැඩි තීරණ මඟින් 2002 ශූරයින්ගේ කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ආකාරය ද, 2005 වන විට පසුබෑමකට ලක්ව සිටි කණ්ඩායම මහේල ජයවර්ධනගේ සෘජු නායකත්වය යටතේ 2007 ලෝක කුසලාන අවසන් මහා තරගය වෙත පැමිණිය ආකාරය ද ඔබට අමතක නැතැයි මම සිතමි.

© islandcricket.com

එවැනි සෘජු ලෙස තීන්දු තීරණ ගත්, කණ්ඩායම තම අණට යටත් කරගත් නායකයන් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දස්කම් ගැන මම ඔබට පැවසිය යුතු නොවේ. කණ්ඩායම කඩා වැටුණු සෑම අවස්ථාවක දී ම තරමක් දැඩි විනයක් සහිත නායකත්වයක් යටතේ අපි නැවත අළු ගසා දමා නැගී සිටියෙමු.

දැන් අපට අවශ්‍ය වන්නේ කොන්ද කෙළින් තබාගෙන කණ්ඩායම මෙහෙයවිය හැකි නායකයෙකි. පරිපාලකයන්ගේ හා වෙනත් කුණු කන්දල් කණ්ඩායම මතින් නොයවා කණ්ඩායමේ හා ක්‍රීඩකයන්ගේ වගකීම තම උර මතට ගත හැකි නායකයෙකි. වරද දුටු තැනම එය නිවැරදි කළ හැකි නායකයෙකි.

ලාංකික අධ්‍යාපන ක්‍රමය වරදට දඬුවම මත පදනම් වූ, දැඩි විනයක් හා පාලනයක් මත ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයකි. ලාංකිකයන්ට යමක් වඩා හොඳින් වැටහෙන්නේ ටොක්කක් ඇන කියා දුන් විටය. එසේ යොවුන් අවධියේ දී ටොකු ඇනගෙන පසුව විශිෂ්ටයන් බවට පත්වූ සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැන්නවුන් ජාත්‍යන්තරය ඉදිරියේ කිසි දිනෙක ශ්‍රී ලාංකීය නාමය හෑල්ලුවට ලක් කළේ නැත. එමනිසා ටොකු ඇනිය යුතු තැන එය රිදෙන්නට ඇනිය යුතුය. අනින විට රිදුණ ද එය සැම දෙනාගේම අනාගතය උදෙසා හොඳය.

දැන් මැතිව්ස්ගෙන් පසුව නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් පත්ව හමාරය. මෑත කාලයේ කණ්ඩායම මෙහෙය වූ නායකයන් අතර තරමක් දැඩි පිළිවෙතක් අනුගමනය කරන නායකයෙක් ලෙස චන්දිමාල් ප්‍රසිද්ධය. එය සුබ කාරණාවකි. වරදක් ඇති බව හඳුනා ගැනීම වරදක් නිවැරදි කිරීමේ පළමු පියවරයි. මැතිව්ස් වරද්දාගත් තැන හඳුනා ගැනීම චන්දිමාල්ගේ ප්‍රධාන අභියෝගයයි. ඔහු එම අභියෝගය ජය ගනී ද යන්න කාල විසින් නුදුරු අනාගතයේ දී තීරණය කරනු ඇත. එතෙක් අප බලාපොරොත්තු දල්වා බලා සිටිමු..

මැතිව්ස්, ස්තූතියි!

චන්දිමාල්, පරිස්සමෙන්…

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<