දිගින් දිගටම ලත් තරග පරාජයන් අභිමුව වඩාත් විපිලිසරව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සියලූ දෝෂයන් පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් නසා දැමුවේය. දෙරට අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2–0ක් සේ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ මේ ජයග්‍රහණය කණ්ඩායමේ සැනසුම් සුසුම් හෙළීමට ඉවහල් විණි. එම තරගාවලි ජයග්‍රහණයත් සමඟ පසුගිය වසර 5 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ගමන් මග සම්බන්ධයෙන් ThePapare.com කරනු ලබන විමසා බැලීමකි මේ.

ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!

ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට අද (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා තරග 264කට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 84ක් ජය ගෙන තරග 81ක් ජය පරාජයෙන් අවසන් කර ඇත. පරාජය වූ තරග සංඛ්‍යාව 99කි. මේ දත්තයන් බැලූ බැල්මටම කෙනෙක්ට හැඟෙන්නේ අවුලක් නැත යන්න ය. සැබැවින්ම එහි කිසිදු අවුලක් නැත. අප වැඩි වැඩියෙන්ම තරග පරාජය වී ඇත්තේ අපට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට වරම් ලැබූ අවධියේ ය. එය සාමාන්‍යයෙන් සෑම කණ්ඩායමකම පොදු ලක්ෂණයකි.

නමුත් පසුගිය කාලයේ ක්‍රිකට් ප්‍රතික්ෂේප වන තැනට වැඩ කටයුතු සිදු කෙරුණි. ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ද විචාරකයෝ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පතුරු ගැසූහ. ඒ සැවොම නොවූවත් එකී පිරිසෙහි ඔලු ගෙඩි ප්‍රමාණයෙන් වැඩි බව පැවසිය යුතුය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වූ බවට කියවුණ කතා ද ඒ අතර විය.

වර්ෂය සත්කාරකයෝ සංචාරකයෝ ජයග්‍රහණය ජය පරාසය ක්‍රීඩාංගණය
2013 ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව කඩුලු 5 සිඩ්නි
ශ්‍රී ලංකාව බංග්ලාදේශය විසඳුමක් නෑ ගාල්ල
ශ්‍රී ලංකාව බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 7 ආර්. ප්‍රේමදාස
2014 පාකිස්තානය ශ්‍රී ලංකාව විසඳුමක් නෑ ඩුබායි
පාකිස්තානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කඩුලු 9 ඩුබායි
පාකිස්තානය ශ්‍රී ලංකාව පාකිස්තානය කඩුලු 5 සාජා
බංග්ලාදේශය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉ: හා ල: 248 ඩකා
බංග්ලාදේශය ශ්‍රී ලංකාව විසඳුමක් නෑ චිතගොන්
එංගලන්තය ශ්‍රී ලංකාව විසඳුමක් නෑ ලෝඩ්ස්
එංගලන්තය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලකුණු 100 ලීඩ්ස්
ශ්‍රී ලංකාව ද. අප්‍රිකාව ද. අප්‍රිකාව ලකුණු 158 ගාල්ල
ශ්‍රී ලංකාව ද. අප්‍රිකාව විසඳුමක් නෑ එස්. එස්. සී
ශ්‍රී ලංකාව පාකිස්තානය ශ්‍රී ලංකාව කඩලු 7 ගාල්ල
ශ්‍රී ලංකාව පාකිස්තානය ශ්‍රී ලංකාව ලකුණු 105 එස්. එස්. සී.
නවසීලන්තය ශ්‍රී ලංකාව නවසීලන්තය කඩුලු 8 ක්‍රයිස්චර්ච්
2015 නවසීලන්තය ශ්‍රී ලංකාව නවසීලන්තය ලකුණු 193 වෙලිංග්ටන්
ශ්‍රී ලංකාව පාකිස්තානය පාකිස්තානය කඩුලු 10 ගාල්ල
ශ්‍රී ලංකාව පාකිස්තානය ශ්‍රී ලංකාව කඩුලු 7 පී. සරා ඕවල්
ශ්‍රී ලංකාව පාකිස්තානය පාකිස්තානය කඩුලු 7 පල්ලෙකැලේ
ශ්‍රී ලංකාව ඉන්දියාව ශ්‍රී ලංකාව ලකුණු 63 ගාල්ල
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව ලකුණු 278 පී. සරා ඕවල්
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව ලකුණු 117 එස්. එස්. සී.
ශ්‍රී ලංකාව බ.ඉ. කොදෙව් ශ්‍රී ලංකාව ඉ. හා ල. 6 ගාල්ල
ශ්‍රී ලංකාව බ.ඉ. කෙදෙව් ශ්‍රී ලංකාව ලකුණු 72 පී. සරා ඕවල්
නවසීලන්තය ශ්‍රී ලංකාව නවසීලන්තය  ලකුණු 122 ඩනෙඩීන්
නවසීලන්තය ශ්‍රී ලංකාව නවසීලන්තය කඩුලු 5 හැමිල්ටන්
2016 එංගලන්තය ශ්‍රී ලංකාව එංගලන්තය ඉ. හා ල. 88 ලීඩ්ස්
එංගලන්තය ශ්‍රී ලංකාව එංගලන්තය කඩුලු 9 චෙස්ටස්ලීස්
එංගලන්තය ශ්‍රී ලංකාව විසඳුමක් නෑ ලෝඩ්ස්
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ලකුණු 106 පල්ලෙකැලේ
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ලකුණු 229 ගාල්ල
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ලකුණු 163 එස්. එස්. සී.
සිම්බාබ්වේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලකුණු 225 හරාරේ
සිම්බාබ්වේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලකුණු 257 හරාරේ
ද. අප්‍රිකාව ශ්‍රී ලංකාව ද. අප්‍රිකාව ලකුණු 206 පෝට් එලිසබෙත්
2017 ද. අප්‍රිකාව ශ්‍රී ලංකාව ද. අප්‍රිකාව ලකුණු 282 කෙප්ටවුන්
ද. අප්‍රිකාව ශ්‍රී ලංකාව ද. අප්‍රිකාව ඉ. හා. ල. 118 ජොහැන්නස්බර්ග්
ශ්‍රී ලංකාව බංග්ලාදේශය ශ්‍රී ලංකාව ලකුණු 259 ගාල්ල
ශ්‍රී ලංකාව බංග්ලාදේශය බංග්ලාදේශය කඩුලු 4 පී. සරා ඕවල්
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ශ්‍රී ලංකාව කඩුලු 4 ආර්. ප්‍රේමදාස
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව ලකුණු 304 ගාල්ල
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව ඉ. හා ල. 53 එස්. එස්. සී
ශ්‍රී ලංකාව ඉන්දියාව ඉන්දියාව ඉ. හා. ල. 171 පල්ලෙකැලේ
පාකිස්තානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලකුණු 21 අබුඩාබි
පාකිස්තානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලකුණු 68 ඩුබායි

( කෙටි යෙදුම් – ඉ. හා. ල. = ඉනිමකින් හා ලකුණු , බ. ඉ. කොදෙව් – බටහිර ඉන්දීය කොදෙව් , ද. අප්‍රිකාව – දකුණු අප්‍රිකාව )

2013 ජනවාරි මස 03 වැනිදා සිඩ්නි නගරයේ දී ආරම්භ වන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් මේ දත්ත ගණනය කිරීම් කරමු. එතැන් සිට මේ දක්වා නිමා නොවූ කාලය වසර 5කි. මේ කාලයේ දී අප කණ්ඩායම ටෙස්ට් තරග 45කට මුහුණ දී ඇත. ඉන් තරග 20ක් පරාජය වන විට තරග 19ක් ජය ලැබීමට අප කණ්ඩායම සමත් වේ. ජය පරාජයකින් තොරව විසදුන තරග ප්‍රමාණය 6කි.

සාමාන්‍යයෙන් මේ දත්තයන් අනුව අප කණ්ඩායම මේ වසර 5 දී 50%කට මදක් අඩු ප්‍රතිශතයකින් තරග ජයග්‍රහණයන් ලබා ඇත. එය 2013 ආරම්භක වසරට අනුව 1:1 කි. දෙවැනි වසර වන 2014 දී  5:3කි. 2015 වසරේ දී 4:7කි. 2016 වසරේ දී 5:3කි. මේ වසරේ දී එකී අගය 4:6කි. 2015 වසරට සාපේක්ෂව මේ වසරේ දී ද එකී අගයන් ශ්‍රී ලංකාව පැත්තෙන් තිබෙන්නේ අසතුටු දායක තත්ත්වයේ ය. මේ වසර දෙකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වඩාත්ම බැට කෑ වසර වන්නේ 2015 වසරයි. එම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනස්කම් ද සිදු වුණි.

තිරිමාන්න සහ කපුගෙදරව තේරීම ලැබ්රෝයි සාධාරණීකරණය කරයි

ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ නව සභාපති ධූරයට පත් ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වැඩකටයුතු විනිවිදභාවයෙන් …

ඒ එම වසර ආරම්භ වන්නේම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ අඩුවත් සමඟිනි. අනතුරුව එම වසරේ මැද වෙද්දී ටෙස්ට් පිටියේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි වූ කුමාර් සංගක්කාර ද ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට අහිමි වන්නේය. මේ ව්‍යසනය කෙතෙක් ද යත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට 2007 වසරට පසුව නැවත කණ්ඩායමට එක්වීමට ජෙහාන් මුබාරක්ට ද අවස්ථාව ලැබෙන්නේය. ඒ වසර 8කට පසුවය. ඊට අමතරව එම වසරේ දී දුශ්මන්ත චමීර, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස් සහ උදාර ජයසුන්දර ටෙස්ට් වරම් දිනා ගැනීමට වාසනාවන්ත වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල යම් හිදැසක් නිර්මාණය වී නම් එතැනිනි. වසරක් තුළ මහේල ජයවර්ධනත් කුමාර සංගක්කාරත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම කණ්ඩායමේ විශාල රික්තයක් නිර්මාණය කළහ. ඒ අනුව අප කණ්ඩායමට අහිමි වූයේ ටෙස්ට් තරග 149ක අත්දැකීම් සහ ටෙස්ට් තරග 134ක අත්දැකීම්වලින් හෙබි මහේල-සංගා අපූරු සුසංයෝගයකි.

ඔවුන් දෙදෙනාගේ මේ නිදහස්වීමට ඔරොත්තු දෙන අන්දමේ පිළියමක් හෝ ඊට සූදානමක් ද කිසිවෙක් තුළ නොතිබුණි. මේ හේතුව කණ්ඩායමට විශාල ලෙස බලපෑවේය. අද ද මොවුන් දෙදෙනාගේ නික්ම යෑමෙන් වූ හිදැසට පිවිසියෙක් නැත. තරගයක් ජයග්‍රහණය කරා ඇදගෙන යෑමට සමතෙක් නැත.

කෙසේ වෙතත් මේ හිදැස හේතුවෙන්ම ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් අත්හදා බැ‍ලෙන මට්ටමට ගොදුරු වුණි. ගෙවී ගිය ද්විත්ව වසරේ දී නවක ක්‍රීඩකයෝ 10 දෙනෙක් වරින් වර කණ්ඩායමට පැමිණියහ. දසුන් ශානක, ධනංජය ද සිල්වා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ලහිරු කුමාර, ධනුශ්ක ගුණතිලක, මාලින්ද පුෂ්පකුමාර, සදීර සමරවික්‍රම සහ ලහිරු ගමගේ එකී ලැයිස්තුවට එක් වූවෝය.

ඒ අනුව ගෙවී ගිය වසර 5 තුළ ක්‍රීඩකයෝ 40ක් නායකයන් හතර දෙනෙක් යටතේ කණ්ඩායම නියෝජනය කර ඇත. මේ අතුරින් 15 දෙනෙක්ම 2015 වසරේ සිට කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයෝය. එහෙත් මේ අතුරින් අද වන විට කණ්ඩායමේ යම් හෝ ස්ථාවරයකට පැමිණ ඇත්තේ කුසල් මෙන්ඩිස් පමණි. අනෙකුත් පිරිස් එක්කෝ ආවෝ ගියෝය. නැත්නම් අත්හදා බලන මට්ටමේය.

මේ සියල්ල ද සහ තරග දත්තයන් ද සංසන්දනය කෙරෙන්නේ නම්,  මෙතෙක් සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් මිස කණ්ඩායමේ කඩා වැටීමක් නොවේ. යම් පසුබෑමකි. ඇත්ත, අපි නන්නත්තාර වෙන තරමටම තරග පරාජය වූවෙමු. ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ රළු ප්‍රතිචාරයන් ලැබෙන තරමටම එම පරාජයන් වැඩි විය. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලත් තරග පරාජයත් ඊට පසුව ඉන්දීය කණ්ඩායම හමුවේ ලත් තරගාවලි පරාජයත් ඊට ඉවහල් වන්නට ඇත.

එහෙත් එම පරාජයන්වල ස්වභාවයේ රළු බවම මිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීමක් කිසිදු තැනක සිදු නොවුණ බවත් මේ දත්තයන් පෙන්වා දේ. මේ වසරේ ගෙවී ගිය කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  නැග්ම සහ බැස්ම දෙකම සම්මිශ්‍රණය කරයි. වසර ආරම්භයේම දකුණු අප්‍රිකාව වෙතින් තරග 3-0ක පරාජයක් ලැබූ අප අනතුරුව පැවති බංග්ලාදේශ කණ්ඩායම හා තරගාවලිය 1–1ක් සේ සම කරන්නේය. ඊට පසුව පැවති සිම්බාබ්වේ සමඟ වූ එකම තරගය ජය ගැනීමට අප ක්‍රීඩකයෝ සමත් වෙති. ඒ මෙම වසරේ දී අප කණ්ඩායම ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණයයි.

සියල්ල කණපිට හරවන්නේ ඊට පසුව පැවති ඉන්දියාව හා සමඟ තරගාවලියයි. එම තරගාවලියේ දී 3–0ක පරාජයක් පමණක් නොව එක්දින සහ විස්සයි-20 තරගාවලියන් ද අප අන්ත ආකාරයට පරාජය වන්නේය. එම පරාජයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු ව්‍යසනයන් නිර්මාණය කරන්නේය. නමුත් එකී තත්ත්වයේ උණුසුම පහව යන්නටත් ප්‍රථම අප ක්‍රීඩකයෝ පාකිස්තාන තරගාවලිය 2–0 සේ ජයග්‍රහණය කරති. ඒ අභිමානයත් සමඟින් ඉතිරි තරගවලට සහභාගී වීමට සුදානම් වෙති.

වසරේ සෑම දිනකම මල්වර නැකැත් නැත. එය අන් සෑම දෙයකටම සේ ම ක්‍රීඩාවට ද එක සේ පොදු ධර්මතාවයකි. සැබැවින්ම මේ ගෙවූ කාලය ජයග්‍රහණයේ උණුසුම අහිමි වූ සංක්‍රාන්ති කාලයකි. කිසිදු ක්‍රීඩකයෙක් තරග පරාජය වනවාට කැමති නැත. නමුත් තරග පරාජයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිහතමානීව බාරගත යුතු ය. බැණුම් අසමින් පසුගිය කාලයේ කළේ එය ය. දැන් ඊට නැවතීමේ තිත  තැබිය යුතු ය. සිදුව ඇත්තේ දක්ෂතාවේ හෝ ගොනු වීමේ පමාවකි. දැන් කළ යුත්තේ ඊට  සුදානම් වීම ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<