නව වසරේ සිංහයන්ට අභියෝග කරන තරගාවලි

1353

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගත් කළ ගෙවී ගිය 2017 වර්ෂය සිත් තැවුල් සහ කළකිරීම් වලින් පිරුණු වර්ෂයක් වුවත්, උදා වූ 2018 වර්ෂය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක් උදාවන වර්ෂයක් වනු ඇති බවට බලාපොරොත්තු තබා ගත හැක.

“ශ්‍රී ලංකාවේ නියම ක්‍රිකට් ඉස්සරහදී බලා ගන්න පුළුවන්” හතුරුසිංහ

1980 ගණන්වල දී ක්ලයිව් ලොයිඩ් යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩා කළ කැලිප්සෝ ක්‍රිකට් සන්නාමය මෙන් ඉන් දශකයකට පමණ පසු අර්ජුන…

2017 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නායකයින් 7 දෙනෙක් යටතේ සියලුම අංශවල සමස්ත තරග 57කට සහභාගී වූ අතර, ඉන් තරග 40ක් ඔවුන් පරාජයට පත්වෙද්දී අනෙක් පසින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරග 14ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තත්වය 2018 වසරේ දී වෙනස් කර ගැනීමට හැකි වෙයි ද? නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ධනාත්මක පිතිකරණ බලඇණියක්, ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක්, හොඳින් පන්දු රකින කණ්ඩායමක් සහ විශේෂයෙන්ම ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20; සෑම තරග අංශයක දී ම තරග ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැක.

2018 වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 45-50ත් අතර ප්‍රමාණයකට සහභාගී වීමට නියමිත අතර එහි දී අවම වශයෙන් 50%ක හෝ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් පවත්වා ගැනීමට නම් කණ්ඩායම සතුව මෙම වසර පුරාවට ස්ථාපිත වූ නායකත්වයක් සහ ස්ථාවර තේරීමේ ප්‍රතිපත්තියක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

මෙම වසරේ දී සාර්ථකත්වය කරා කණ්ඩායම රැගෙන යාමට නම් කණ්ඩායම සතුව ස්ථිර නායකයෙක් සිටීම අතිශය වැදගත් වනු ඇත. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කිරීමෙන් අනතුරුව ඔහු ඉතාමත් හොඳින් එම කාර්යභාරය ඉටු කිරීමට සමත්ව ඇති අතර ඒ නිසා ඔහුට එක්දින කණ්ඩායමේ නායකත්වය ද ලබා දුන්නොත් එය පුදුමයට පත්විය යුතු කරුණක් නොවේ. පසුගිය කාලය තුළ සීමිත පන්දුවාර තරගවල දී ඔහු ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත්, නව පුහුණුකරු හතුරුසිංහ චන්දිමාල්ගේ එක්දින ක්‍රීඩා විලාශය දියුණු කිරීමේ අදහසින් පසුවන නිසා, නැවතත් එක්දින තරගවල දී නිදහසේ පන්දුවට පහර දෙන චන්දිමාල්ව අපට ඉදිරියේ දී දැක ගැනීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

එමෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වන අන්දමට හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ නායකයින් දෙදෙනෙක් තෝරා ගැනීම සඳහා ද වැඩි ඉඩකඩක් ඇත. ඒ ටෙස්ට් හා එක්දින තරග සඳහා එක් නායකයෙක් සහ පන්දුවාර 20 තරග සඳහා තවත් නායකයෙක් ලෙසයි. මීළඟ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්, තිසර පෙරේරා හෝ කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයෙක් හට මෙම 2018 වසරේ සිටම නිසි නායකයෙක් ලෙස හැඩගැසීමට අවස්ථාව ලබා දිය යුතුය.        

පසුගිය වසර පුරාවට කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ දී ස්ථාවර තේරීමේ ප්‍රතිපත්තියක් නොතිබීම ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්වයට බෙහෙවින් බලපා ඇත. එය වැඩි වශයෙන් බලපා ඇත්තේ එක්දින තරගවල දී ය. ක්‍රීඩකයින් කපා හැරීම සහ වෙනස්කම් වලට භාජනය කිරීම කණ්ඩායමේ දක්ෂතාවන් වර්ධනයට කිසිසේත්ම ඉවහල් වී නොමැති අතර කෙසේ නමුත් හතුරුසිංහට අනුව නිල වශයෙන් නොවුනත් මෙම වසරේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සඳහා සලකා බැලෙනු ඇත්තේ ක්‍රීඩකයින් 25-30ත් අතර ප්‍රමාණයක් විය හැකිය.

ඒ අනුව මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දේශීය සහ විදේශීය තරගාවලි කිහිපයක්ම මේ වන විටත් තහවුරු වී ඇති අතර එම තරගාවලිවල දී ශ්‍රී ලංකාවට මේ වන විට නැතිවී ගොස් ඇති අභිමානය නැවතත් ළඟා කර දීමේ අවසන් බලාපොරොත්තුව වන හතුරුසිංහගේ බලපෑම කණ්ඩායමට කෙසේ ඉවහල් වනු ඇත්දැයි දැක බලා ගැනීමට හැකි වනු ඇත.

2018 ක්‍රිකට් වසර අරඹන්නට පෙර

2018 වසරේ එළිපත්තට අපි පැමිණ සිටිමු. ගෙවී යන වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නම් එතරම් තෘප්තිමත් වසරක් නොවූ බව මෙරට ක්‍රිකට් පරිපාලකයන් හැර අන් සියලු දෙනාම…

බංග්ලාදේශ සංචාරය

මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන පළමු අභියෝගය වන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ සම්පූර්ණ තරගාවලියකි.

එහි දී පළමුවෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම ද ඇතුළත් තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 2ක් සහ පන්දුවාර 20 තරග 2ක් ද පැවැත්වීමට නියමිතය. එමෙන්ම ‘හතුරුසිංහ යුගයේ’ ආරම්භය සනිටුහන් වන්නේ ද මෙම තරගාවලිය සමඟ ය. කෙසේ නමුත් එම සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගනිමින් ඔහු මේ වන විටත් පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇත්තේ මෙම වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමේ අභිප්‍රාය ඇතිවයි. නමුත් ආරම්භයක් ලෙස ශ්‍රී ලංකාව මෘදුව පරීක්‍ෂාවට ලක්වන තරගාවලියක් ලෙස මෙම සංචාරය හඳුන්වා දිය හැක.

නිදහස් කුසලානය

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම පන්දුවාර 20 තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුම සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ 70 වෙනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසකට අනුව පළමු වරට පවත්වනු ලබයි. තරගාවලිය සිය රටේ දී පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත වන අතර ඒ අනුව මෙය ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිසංවිධානය සඳහා ලැබෙන ඉතා හොඳ අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය

දශකයක කාල පරාසයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කිරීමට නියමිතය.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණෙන්නේ ජුනි මස අවසානයේ ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද ශ්‍රී ලංකාව සමඟ බොහෝ තරග අංශවල දී ශ්‍රේණිගත කිරීම් වල අග භාගයේ පසුවන බැවින් ඉදිරියේ දී ප්‍රබල කණ්ඩායම්වලට මුහුණ දීමට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ පූර්ව පරීක්ෂණයක් වනු ඇත.

හතුරුගේ නව මිතුරා කවුද?

හතුරු… නැතිනම් උපුල් චන්දික හතුරුසිංහ.. පසුගිය කාල සමයේ සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මුවග නිතර රැඳුණු නාමය වූයේ එයයි. එකී සුවහසකගේ බලාපොරොත්තු..

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරය

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසානයේ එළඹෙන ජූලි සහ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර එය ‘ඇසිඩ් පරීක්ෂණයක්’ බඳු වනු ඇත.

අවසන් තරග කාලසටහන තවමත් තහවුරු වී නැතත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි සංචාර වැඩසටහනට අනුව දෙරට අතර ටෙස්ට් තරග 3ක් පමණක් පැවැත්වෙනු ඇත. නමුත් මෙහි දී ඊට අමතරව එක්දින තරග 2ක් ද පැවැත්වීමේ ඉඩකඩක් පවතී.

ආසියානු කුසලානය

2018 වසරේ ආසියානු කුසලානයේ දී සෑම ආසියාතික කණ්ඩායමක්ම ආසියාවේ ශූරයින් වීමේ අභිප්‍රායෙන් තරගාවලිය සඳහා සහභාගී වන බැගින් මෙම තරගාවලිය නිසැකවම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත. මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇතත්, ඉහළ යමින් තිබෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශපාලන මතභේද හේතුවෙන් තරගාවලිය ඉන්දියාවෙන් පිටතට රැගෙන යාමට ඉවහල් වීමට ද හැකියාවක් ඇත.

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය

ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටේ දී සහභාගී වන අවසන් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. පූර්ණ තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ටෙස්ට් තරග 3කින්, එක්දින තරග 5කින් සහ එක් පන්දුවාර 20 තරගයකින් සමන්විත වේ. තරග කාලසටහන තවමත් ස්ථිර වී නැතත් මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම විශාල අභියෝගයක් වනු ඇති බව නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරය

ශ්‍රී ලංකා කණ්ඩායම 2018 වසරට සමුදෙන්නේ නවසීලන්තයේ දී පැවැත්වෙන පූර්ණ තරගාවලියත් සමඟයි. ඒ අනුව එය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 3කින් සහ එක් පන්දුවාර 20 තරගයකින් සමන්විත වේ. ඉන් අනතුරුව 2019 වසරේ දී එක්දින ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ අනුව මෙම නවසීලන්ත සංචාරය අවසන් වන විට, ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ දී කුමක් කිරීමට හැකිවනු ඇත්දැයි යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට සැමට හැකියාව ලැබෙනු ඇත.

“අපිට යම් කාලයක් ලබා දෙන්න. අපි ඉදිරියට ඇවිත් පෙන්නන්නම්. ඒකෙන් අදහස් කෙරෙන් නැහැ අපි හැමෝමව පරාද කරයි කියලා. ඒත් අපි මිනිස්සු දකින්න කැමති ආකර්ෂණීය ක්‍රිකට් ක්‍රීඩාව  නැවතත් ක්‍රීඩා කරනවා.”

හතුරුසිංහ මෑතක දී පවසා සිටි අතර ශ්‍රී ලාංකිකයන් සැවොම එම පොරොන්දුව පිළිබඳව මෙම වසරේ දී දැඩි බලාපොරොත්තුවකින් පසුවනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න