හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

761
crucial point in 2019

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකය පිත්ත ද, එසේත් නැතිනම් පන්දුව ද යන්න පිළිබඳ තරගාවලිය ආරම්භයට කාලයකට පෙර සිටම ක්‍රිකට් කරළියේ ප්‍රධාන කතිකාවතක් බවට පත්ව තිබුණි.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන තීරකයා වෙනත් සාධකයක් ද යන්න පිළිබඳ දැවැන්ත සැකයක් මේ වන විට මතුවෙමින් පවතියි. නමුත් කනගාටුවට කරුණ වන්නේ එම සාධකය පාලනය කරන්නට ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට තබා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හෝ නොහැකි වීමයි.

වාසනාවක් ලෙසින් වෙස් වලා පැමිණෙන අවාසනාව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතියි. දැවැන්තයන්ගේ..

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට අදාළ තරගවලින් තුනෙන් එකක් (1/3) නොහොත් 33%ක් මේ වන විට පවත්වා අවසන්ය. නැතහොත් පවත්වා හෝ අත්හැර දමා අවසන්ය. මෙතෙක් පැවති තරග අතරින් 3කම එසේත් නැතිනම් පහෙන් එකක හෝ 20%ක ප්‍රධාන තීරකයා බවට පත්වුනේ රංජන් මඩුගල්ල, ක්‍රිස් බ්‍රෝඩ්, ඩේවිඩ් බූන්, ඇන්ඩි පයික්‍රොෆ්ට්, ජෙෆ් ක්‍රෝ හෝ රිචී රිචඩ්සන් යන ICC තරග තීරකයන් නොවේ වැස්ස වලාහක දෙවියන් හෝ සොබාදහම් මෑණියන් ය.

මෙලෙස වර්ෂාවෙන් බාධා වූ තරගවලට වැඩිම සම්බන්ධයක් තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 50 බැගින් ක්‍රියාත්මක වන සාමාන්‍ය එක්දින තරගයක් ලෙස පවත්වන්නට නොහැකි වූ අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් හිමි විය. එහි අවසන් ප්‍රතිඵලය වුනේ වරෙක ප්‍රබල තත්ත්වයකත් පසුව අසරණ තත්ත්වයකත් පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජය ගැනීමයි.

වැස්ස නිසා අතහැර දැමුණු පළමු තරගයත් ශ්‍රී ලංකාව සම්බන්ධ තරගයක් වූ අතර එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීමට නියමිතව සිටියේ පාකිස්තානයයි. අතීත දත්ත අනුව පාකිස්තානයට වැඩි වාසි අත් වෙතැයි බොහෝ දෙනා මත පළ කළ මේ තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වීම නිසා පාකිස්තානයට සිදු වුනේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණෙන්නට තිබූ අවස්ථාවක් අහිමි වී ගිය බවට කනගාටු වන්නට පමණි.

ලෝක කුසලානයේ තීරණාත්මක සාධකය කාලගුණය බව බොහෝ දුරට තහවුරු කළ සිදුවීම වාර්තා වුනේ ඊයේ (10) දිනයේ දීයි. ඊයේ සවුත්හැම්ප්ටන් හීදී දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වැදුණේ ඉතා තීරණාත්මක ගැටුමක් වෙනුවෙනුයි.

දකුණු අප්‍රිකාව වර්ෂාවේ පිහිටෙන් ප්‍රසාද ලකුණක් දිනා ගනියි!

2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…

දකුණු අප්‍රිකාවට මේ තරගාවලියේ සක්‍රීයව රැඳී සිටීම සඳහා මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වූ අතර මෙවර තරගාවලියේ පෙරළිකාරයන් තමන් බවට ඉඟි පළ කරමින් සිටි කොදෙව්වන්ට මේ තරගයේ ජයග්‍රහණය වැදගත් වුනේ අවසන් පූර්ව තරග වෙත පිවිසෙන්නට ප්‍රධාන තරගකරුවන් 4කට වැඩි පිරිසක් මේ වන විටත් සටන් වැදී සිටින නිසාවෙයි.

කොදෙව්වන් යළිත් වරක් පන්දුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා මුල්පෙළ කඩුලු දෙකක් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට සමත් විය. තරගයේ 8 වැනි පන්දුවාරය වන විටත් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 29කට සීමා කරමින් ප්‍රවේගකාරී ක්වින්ටන් ඩි කොක් සහ ෆෆ් ඩු ප්ලෙසිසව පාලනය කරගෙන සිටි කොදෙව්වන්ගේ හරහට සිටියේ වර්ෂාවයි. හැකි ඉක්මනින් යළිත් පිටියට පිවිසීමේ අරමුණ ඇතිව පොද වැස්සේ තෙමීගෙන ක්‍රීඩක විවේකාගාරය වෙත දිවගිය ක්‍රීඩකයන්ට සිදු වුනේ පැය ගණනාවක් පිටිය දෙස බලා සිය සිරුරු උණුසුම්ව තබා ගැනීමට වෙහෙසෙන්නටයි.

වරෙක තරගය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරන මට්ටම දක්වාම වැස්ස තුරල් වී තිබූ අතර ක්‍රීඩකයන් පිටියට බැස තම පුහුණුවීම් ආරම්භ කරන්නට සූදානම් වෙද්දී ම යළිත් වර්ෂාව ඇද හැලුණේ ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගත් කාලය පිළිබඳ තරගාවලි සංවිධායකයන්ට සොබා දහමෙන් එල්ල කළ උපහාසයක් මෙනි.

මෙවර තරගාවලිය තුළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ගැටලු වල සිට කඩුල්ලෙන් ඉවත් නොවන බේල්ස් දක්වා තරගාවලි සංවිධායකයන්ගේ අඩුපාඩු ලොවට විහිළු සපයන වාතාවරණයක් යටතේ දිගින් දිගටම තරගාවලියට බාධා එල්ල කරන වර්ෂාවත් ලොවට පෙන්වා දෙන්නේ තරගාවලිය පැවැත්වීම සඳහා යොදා ගත් කාලය ද සංවිධායකයන්ගේ පැත්තෙන් සිදු වූ අඩු පාඩුවක් බව විය නොහැකි ද?

දකුණු අප්‍රිකාව – ලෝක කුසලාන සහ වර්ෂාව

1992 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකාවට වැස්ස හරස් වුනේ අතිශයින්ම අනුකම්පා විරහිත අයුරිනුයි. එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට අවසන් තරගයට පිවිසීම සඳහා පන්දු 13කින් ලකුණු 22ක් අවශ්‍යව තිබුණු අතර ඔවුන් සතුව තවත් කඩුලු 4ක් ද පැවතුණි. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ දී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් එවකට පැවති නීති රීති අනුව වර්ෂාවෙන් පසුව දකුණු අප්‍රිකානුවන්ට හිමි වූ ඉලක්කය එක් පන්දුවකින් ලකුණු 22ක් ලබා ගැනීමයි.

එම වැසි නීති රීති වෙනස් කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දීමෙන් පසුවත් දකුණු අප්‍රිකාවට වර්ෂාවෙන් ගැලවීමක් තිබුණේ නැත. 2003 වසරේ සිය මව්බිමේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයේ දකුණු අප්‍රිකාව සහභාගී වූ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සමඟයි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට නියමිත අවසන් තරගය කෙන්යාවට එරෙහිව පැවතීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට මේ තරගය ජය ගැනීම අනිවාර්ය විය.

තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට පැවතුණත් 45 වැනි පන්දුවාරයේ දී වර්ෂාවක ලකුණු පෙනීමත් සමඟ දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් මෝදු වන්නට විය. එම පන්දුවාරය අවසානයේ ඩක්වර්ත් ලුවිස් ඉලක්කය පිළිබඳ කණ්ඩායමෙන් ලැබුණු පණිවිඩයකට අනුව මාක් බවුචර්, මුත්තයියා මුරලිදරන්ට හයේ පහරක් එල්ල කරන්නේ පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ දකුණු අප්‍රිකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 229ක් දක්වා ඉහල දමමින්.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

එම පන්දු වාරයේ අවසන් පන්දුවට ලකුණක් ලබා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරන බවුචර් සිය කඩුල්ල රැක ගන්නට ඉතා ආරක්ෂාකාරී පහරක් එල්ල කරන්නේ කඩුල්ල දැවී ගිය විට ඩක්වර්ත් ලුවිස් ඉලක්කය වැඩි වන බව සිහි තබා ගෙනයි.

එම පන්දුවාරය අවසානයේ ඔවුන් බලාපොරොත්තු වූ පරිද්දෙන්ම වර්ෂාව ඇදහැලෙන අතර බවුචර් සහ ලාන්ස් ක්ලුස්නර් ක්‍රීඩක විවේකාගාරය වෙත දිව යන්නට ඇත්තේ සුපර් එයිට් වටයේ ස්ථානය තහවුරු කර ගත් බව සිතමින් වන්නට ඇත.

නමුත් ඔවුන්ට පසුව දැන ගන්නට ලැබෙන්නේ ලකුණු 229ක් යනු ඩක්වර්ත් ලුවිස් කඩඉම (D/L PAR SCORE) මිස ජයග්‍රාහී ඉලක්කය නොවන බවයි. මේ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වන අතර පසුව කෙන්යාව පරාජය කළ කොදෙව්වන් එම කාණ්ඩයෙන් සුපර් එයිට් වටයේ අවසන් ස්ථානය තමන් සතු කර ගත්තේ දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය පළමු වටයෙන්ම බොඳ කර දමමින්.

මේ වසරේ තරග තුනක් පුරා ප්‍රසාද ලකුණු සටහනේ බිංදුවේ සීමාව පසු කරන්නට නොහැකිව සිටි දකුණු අප්‍රිකාව දෙස සොබා දහම කරුණාවෙන් බලා එක් ලකුණක් ලබා දුන්නා ද?  නැතහොත් මෙවර ද ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමන නවතා දමන්නට අතීතයේ මෙන් කටයුතු කළා ද? යන්න කිසිවෙකුත් දන්නේ නැත.

කෙසේ වෙතත් මෙවන් වැසි සහිත තත්ත්වයක් ඉදිරියේ දී ද පැවතුනහොත් එවැනි කාරණා පිළිබඳ සිතමින් කල් මරන්නට ක්‍රීඩකයන්ට, ක්‍රීඩාලෝලීන්ට මෙන්ම තරග සංවිධායකයන්ටත් ඕනා තරම් කාලය හිමි වනු නොඅනුමානයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<