නයෝමිගේ ජයග්‍රහණය වසන් කළ ඇමරිකානු නිරුවත

12345
@mediabites.com.pk

පසුගිය දා අවසන් වූ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දී අරුම පුදුම සහ කණගාටුදායක සිද්ධීන් කිහිපයක් දකින්නට ලැබිණි. ලෝ පතල ක්‍රීඩිකාවක පරාජය කොට ළාබාල ක්‍රීඩිකාවක ලබාගත් ජයග්‍රහණය අවතක්සේරු වීම නම් එයයි.

ක්‍රීඩාව තුළ දී පරාජිතයාට වඩා කැපී පෙනෙන්නේ ජයග්‍රාහකයා ය. ජයග්‍රහණය පුරුද්දකි. එය පුහුණුවීම පහසු නැත. එබැවින් ජයග්‍රාහකයා කැපී පෙනිය යුතුය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් නිර්මාණය වන්නේ ඒ අයුරිනි. එහෙත් ලෝ පතල ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා පරාජය වන කාල වකවානු කොතෙකුත් තිබේ. ඔවුන් සැබෑ ලෙසම ශ්‍රේෂ්ඨයන් බව ඔප්පු කරන්නට නම් පරාජයේ සිට ජයග්‍රහණය වෙත පැමිණීම අත්‍යාවශ්‍ය ය. පරාජය වීම පුරුද්දක් වූ කල ක්‍රීඩාවේ රැඳී සිටිය නොහැකිය. එහෙත් පසුගිය දා අවසන් වූ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයේ දී පරාජිතයා ලෙස බලාසිටින්නට වූයේ ජයග්‍රාහිකාවට ය.

සෙරීනා විලියම්ස් @denverpost.com

ටෙනිස් ක්‍රීඩාවේ ලෝ පතල ක්‍රීඩිකාව කවුරුන්දැයි විමසුවහොත් ඒ “සෙරීනා විලියම්ස්” යැයි බොහෝ දෙනා කියනු ඇත. ඇය සැබවින්ම ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවකි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතාවන් 23ක හිමිකාරිනිය වන ඇය එහි ලෝක වාර්තාව සමකිරීමට නම් ලබාගත යුතුව තිබුණේ තවත් එකදු ශූරතාවයක් පමණි. ඇය 2018 ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන විට විචාරකයන් පැවසුවේ ඇය ලෝක වාර්තාව සමකොට අවසන් බවකි. මන්ද යත්, අවසන් මහා තරගයේ ඇගේ ප්‍රතිවාදිනිය 20 හැවිරිදි ජපන් ක්‍රීඩිකා නයෝමි ඔසාකා වීම නිසා ය.

හයිටි ජාතික පියෙකුට සහ ජපන් ජාතික මවකට දාව උපන් නයෝමි ඔසාකා, වයස අවුරුදු 3දී ඇමරිකාව වෙත සංක්‍රමණය වූ දැරියකි. ජපාන සහ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ඇති ඇය ඇගේ පියාගේ තීරණය මත ජපාන ටෙනිස් සංගමය තුළ ලියාපදිංචි විය. ඒ අනුව ඇය නියෝජනය කළේ ජපානයයි. ඒ වන විට ජපන් ජාතිකයෙකු කිසිදිනෙක ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් දිනා හෝ අවසන් මහා තරගයකටවත් සුදුසුකම් ලබා නැත. එබැවින් ඇමරිකාව පසෙකලා ජපානය තෝරාගැනීම සැබවින්ම නිර්භය තීරණයකි.

@timedotcom.files.wordpress.com – නයෝමි ඔසාකා

එසේ ජපානය තෝරාගත් නයෝමි ප්‍රථම වරට ඇමරිකානු විවෘත අවසන් මහා තරගයකට පියමැන්නේ එවැන්නක් කළ පළමු ජපන් ජාතික ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ද වෙමිනි. එහෙත් සෙරීනාගේ වික්‍රමයන් දැක තිබූ ටෙනිස් ප්‍රේක්ෂකයන්, නයෝමි ජයගනු ඇතැයි කිසිසේත් පැතුවේ නැත. තරගය ඇරඹිණි.

ප්‍රබල සෙරීනා එක් පසෙකත්, ළාබාල එහෙත් ජවසම්පන්න නයෝමි එක් පසෙකත් ක්‍රීඩාවේ යෙදෙනු නැරඹීම කිසිසේත්ම නිදිමත ගෙන දෙන අත්දැකීමක් නොවූ අතර පළමු වටය නයෝමි විසින් 6-2ක් ලෙස ජයගත්තේ නරඹන්නන් පුදුමයට පත්කරමිනි. දෙවන වටය උද්වේගකර විය. සෙරීනා ඉදිරිය ගෙන සිටිය ද, නයෝමි ඇයව හඹාවිත් සමස්ත තරගයේ ජය තහවුරු කරගත්තේ 6-4ක් ලෙසයි. එහි දී ඇය අවසන් ලකුණ පන්දුව පිරිනැමීමෙන් පමණක් ලබාගත්තේ Ace එකක් ලෙසයි. (*Ace පන්දුව පිරිනැමීමේ දී ප්‍රතිවාදියාට සාර්ථකව පන්දුව ලබා ගැනීමට නොහැකි වීමෙන් පිරිනැමෙන ලකුණකි.) ඒ එසේ මෙසේ ක්‍රීඩිකාවකට එරෙහිව නොව ලොව ශ්‍රේෂ්ඨතම වත්මන් ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට එරෙහිවයි. එහෙත් ක්‍රීඩාවේ ඇමරිකානු අවලක්ෂණ එළිදුටුවේ ඉන් පසුවයි.

1986 වසරේ දී 20 හැවිරිදි මයික් ටයිසන් විසින් 32 හැවිරිදි ජැමෙයිකානු ක්‍රීඩක ට්‍රෙවර් බර්බික් පරාජය කොට බොක්සිං හෙවිවෙයිට් ලෝක ශූරතාවය ලබාගන්නා විට කිසිදු ලෝබකමක් නැතිව අගය කළ ඇමරිකානුවන් නයෝමිට නිසි ප්‍රසිද්ධිය ලබා දුන්නා ද? 2001 වසරේ දී ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූර ඉයන් තෝප්ගේ මීටර 200 සමනළ ආර ලෝක වාර්තාව, 15 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් විසින් බිඳහෙලන විට කටපුරා පිටුපුරා අගය කළ ඇමරිකානු මාධ්‍යය නයෝමිට ඒ ප්‍රසිද්ධිය ලබා දුන්නා ද? නැත. අඩුම තරමින් සම්මාන පීඨිකාවේදීත් පූරකවරයා ප්‍රථමයෙන් ළඟ තබාගත්තේ සෙරීනා විලියම්ස් ය. එපමණකින් නොනැවතී ඔවුන් කතා කළේ නයෝමිගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන නොව සෙරීනාගේ කනගාටුව ගැන ය. ඊට හේතුවක් තිබිණි.

තරගය පුරාවටම පරාජයේ සෙවණැලි දකිමින් සිටි සෙරීනා විනිසුරු සමඟින් වාද කිහිපයක පැටලිණි. ඇගේ ක්‍රීඩා දිවිය පුරාවටම වර්ණභේදවාදී ඇනුම් පද වලට ලක්වූ සෙරීනා ඇමරිකානු විවෘත අවසන් මහා තරගයෙන් පසුව පවසා ඇත්තේ මෙවර තමන්ට හිමිවුණේ “ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ” ඇනුම් පද බවයි.

@static.standard.co.uk – සෙරීනා විනිසුරු සමඟින් වාද කිහිපයක පැටලිණි.

මම කාන්තා අයිතීන්, සමානාත්මතාවය වගේ දේවල් වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. මම ඔහුට හොරාකියා ඇමතීම සහ ඔහු මගෙන් තරගය උදුරා ගැනීම, ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස්කම් කිරීමක් කියායි මා හිතන්නේ.”

කෙසේ වෙතත් තරගය අතරතුර දී ඇයගේ පුහුණුකරු ඇයට විවිධ සංඥා ලබාදීමට විනිසුරු විසින් විරුද්ධත්වය පෑම “ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූවක්” වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත. විනිසුරු සමඟින් දිගින් දිගටම වාද කිරීම නිසා අවවාද කිරීම ඕනෑම ටෙනිස් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පොදු නීතියකි. ඇය විනිසුරුට “හොරා” යනුවෙන් අමතා ඇත. එය ක්‍රීඩාවේ ජීවගුණයට සුදුසු නැත. අසාර්ථකත්වය වසා ගැනීමට මෙවන් චෝදනා ගොනු කිරීම නිසා අන්තිමට සිදු වූයේ නයෝමි ඔසාකාගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයේ එළිය පළුදුවීම යි. තමන් වරදක් කරන විට නිවැරදි වීමට නම් අනෙක් පුද්ගලයන් ඒ වරදම කිරීම හේතු විය යුතු නැත. එය හරියට ශ්‍රී ලංකා දේශපාලනයේ දී “හොරා” යැයි එක් පාර්ශවයක් ඇඟිල්ල දිගුකරන විට අනෙක් පාර්ශවය “ඇයි ඔයාලත් හොරකම් කළේ!” කියන්නාක් මෙන් දුර්වල ය.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය”, “කෝකටත් තෛලය” නොවේ.

සම්මාන ප්‍රදානය කෙරෙන පීඨිකාව මත දී පවා සෙරීනා හට වැඩි තැනක් හිමිවීම ගැන ප්‍රේක්ෂකයන් ද “බූ” හඬ නගමින් හෙලා දකිනු ඇසිණි. එය දරාගත නොහැකි වූ නයෝමි තම හිස්වසුමින් මුහුණ වසාගෙන කඳුළු සලන දර්ශනය සංවේදී එකක් විය. එතැන දී ඒ කාන්තාවට සිදු වූ අසාධාරණයට වගකියන්නේ කවුරුන්ද? කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන සෙරීනා ද?

පෙනෙන ආකාරයට මෙය සෙරීනාගේ ප්‍රබල අනුග්‍රාහකයන් විසින් ජපන් ක්‍රීඩිකාව ඉතිහාසයෙන් අමතක කරවීමට ගොඩනගන ලද බොරුවක් බව පෙනී යයි. ලෝක ක්‍රීඩාව තවදුරටත් සර්ව සාධාරණ නැත. එය දේශපාලනික ය. ව්‍යාපාර මූල්‍යමය වශයෙන් සන්නද්ධ ය. දැන් මාධ්‍යය දිවයන්නේ සෙරීනා මවන පුවත් පසුපස ය. එය නයෝමිගේ පැත්තෙන් ඇයට වන දරුණු අසාධාරණයකි.

2009 වසරේ දී ද සෙරීනා මෙවන් වාදයක් නිසා පිටියෙන් ඉවත් කොට ඇත. එවර ඈ විනිසුරුට පවසා තිබුණේ “මං බෝලේ අරං තොගෙ කටේ ඔබනවා” කියා ය. මේ ඇයගේ වදන් පරිවර්තනය කළ හැකි සදාචාර සම්පන්නම ක්‍රමයයි.

මම පිරිමියෙක් වුනා නම් මම හොරා කිව්වට ඔහු මගේ ලකුණු කපන එකක් නැහැ.” සෙරීනා CNN හමුවේ ප්‍රකාශ කොට ඇත. එමෙන්ම තරග පිටියේ ඇඳුම් පැළඳුම් පිළිබඳව ද පොදු නීති රීති පවතියි. ඒවා ද නොතකමින් අත්දැකීම් බහුල, ලෝක ප්‍රකට ක්‍රීඩිකාවක පරාජය ඉදිරියේ මෙසේ හැසිරීම ගැන අද ලොව පුරා කතාබහක් නිර්මාණය වෙමින් පවතියි.

වත්මනෙහි ලොව ශ්‍රේෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාව ඇමරිකානු විවෘත අවසන් මහා තරගයේ දී පරාජය කළ නයෝමි ඔසාකා නම් කාන්තාවට අවසානයේ සිදු වූයේ තම හිස්වසුමින් මුව වසාගෙන හඬන්නට ය.

සමහර විට සෙරීනාගේ සමුගැනීමෙන් පසු නයෝමිට ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නැයි ආරාධනා වුවද ලැබිය හැකිය. සෙරීනාගේ පරාජය නිසා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් අනුග්‍රාහකයින්ට සහ ව්‍යාපාරිකයන්ට අහිමි විය. මේ හෙළිවූයේ එය දරාගත නොහැකි වීමේ නිරුවතයි.

@pbs.twimg.com – කත්‍රිනා ඇඩම්ස්

පසුව පීඨිකාව මතම අදහස් පළකරමින් ඇමරිකානු ටෙනිස් සංගමයේ සභාපති කත්‍රිනා ඇඩම්ස්, නයෝමිගේ තුවාලයට ලුණු ඉසින්නාක් මෙන් මෙසේද පැවසුවාය.

නයෝමි, ඔබව උසස් තලයට සාදරයෙන් පිළිගන්නවා. සෙරීනා ඔබ ශූරියන්ගේත් ශූරියක්. ඔබ හැමදෙනාටම ආදර්ශයක්. නයෝමි, ඔබේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයට සුබ පැතුම්. සහභාගී වුණු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් ලොව හොඳම ටෙනිස් ඉසව්ව සාර්ථක කරගැනීම වෙනුවෙන් ස්තුතියි. “

මෙසේ ඇය විසින් ද කාන්තාවකට ලැබිය යුතු ගෞරවය නිසි මට්ටමින් ලබා දීම පැහැර හැරිණි. නයෝමි ඔසාකා ජපානය වෙනුවෙන් ක්‍රීඩා කළ බව ඇත්තය. එහෙත් ඇය 20 හැවිරිදි ළාබාල ක්‍රීඩිකාවකි, ශ්‍රේෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාවගේ අභියෝගය පරාජය කළ තරුවකි, ලෝක ටෙනිස් ක්‍රීඩාවට සම්පතකි. එහෙත් එය ඇමරිකානුවන්ට වැදගත් නැත.

මම දන්නවා හැමෝම ඇය (සෙරීනා) වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කළ බව. ඒත් මට සමාවෙන්න තරගාවලිය මේ අයුරින් අවසන් වීම ගැන. තරගය නැරඹුවාට ස්තුතියි.” මෙසේ පවසමින් නයෝමි කඳුළු සැලුවේ සතුටට නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය. ජයග්‍රහණයක් ලැබීමෙන් පසුව පවා ඇයට හිමිවුණේ කඳුළු ය. කෙසේ නමුත් ප්‍රේක්ෂකයන් ඇයව දිරිමත් කළේය.

ඇමරිකාවට තවත් වසර ගණනක් ඉදිරියට ඇගේ අභියෝගය හිමිවනු ඇත. ඇමරිකාව නොසිතු දෙයක් සිදුවී ඇත. ඔවුන් කලබල වී ඇත්තේ ඒක ය. කාන්තා විමුක්තිය සහ ලිංගික සමානාත්මතාවය ඉදිරියට ගෙන එමින් නයෝමිට ලැබිය යුතු ගෞරවය වසන් කරන්නේ ඒක ය. ඇමරිකාව මේ සියලු බර නයෝමි නම් ළාබාල ක්‍රීඩිකාවගේ කර මතට පටවන්නේ එකක් පැහැදිලි කිරීමට විය යුතුය.

ඇමරිකාව උඹලා හැමෝටම වඩා ලොකුයි. අපට අභියෝග කරන්න එන්න එපා.”

එහෙත් ඇය කළයුත්තේම එයමය. නයෝමි ඔසාකාව ඉතිහාසයෙන් මකාදමන්නට ඔවුන් උත්සාහ කළ ද ලොව ඇයව මතකයේ තබා ගත යුතුය.

කණගාටුදායක සම්මාන ප්‍රදානෝත්සවය

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<