නැවත වතාවක් ශූරතාවය බස්නාහිර පළාතට

152

43 වැනි වරටත් පැවැත්වෙන 2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ජයග්‍රහණය කිරීමට බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒත් සමඟින් අඛණ්ඩව 7 වතාවක් ශූරතාවය තමා සතු කර ගන්නට බස්නාහිර පළාත් කණ්ඩායමට හැකි විය.

අවසන් පූර්ව තරගයේ දී ලකුණු 58-37ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළ මධ්‍යම පළාත් කණ්ඩායම, දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. බස්නාහිර පළාත් කණ්ඩායම විසින් උතුරු මැද පළාත් කණ්ඩායම ලකුණු 79-21ක් ලෙස පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

බස්නාහිරට සහ වයඹට වෙරළ වොලිබෝල් ශූරතා

43 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර ..

අවසන් තරගය බස්නාහිර පළාත් කණ්ඩායම හා මධ්‍යම පළාත් කණ්ඩායම අතර පොළොන්නරුවේ දී පැවැත්විය.

තියුණු සටනකින් අනතුරුව බස්නාහිර පළාත් කණ්ඩායම තරගය අවසන් කළේ ලකුණු 45-41ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

අවසන් මහා තරගයේ දී මධ්‍යම පළාත් කණ්ඩායම තරගයේ වැඩි වේලාවක් පෙරමුණේ පසු වූ නමුත්, අවසන් මිනිත්තු කිහිපය තුළ යුහුසුලුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ තවත් ලකුණු 5ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එකතු කර ගනිමින් මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු 12-10ක් ලෙස පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් සමත් විය.

නමුත් දෙවන කාර්තුව (පළමු අර්ධය) අවසානයේ දී ප්‍රතිවාදී මධ්‍යම පළාත් කණ්ඩායම ලකුණු 20-22ක් ලෙස පෙරමුණ ගන්නා ලදි.

තෙවන කාර්තුව අවසානයේ දී දෙපිල අතර ලකුණු පරතරය ලකුණු 4කට පමණක් සීමා කර ගත් මධ්‍යම පළාත් ක්‍රීඩිකාවෝ, එහි දී ද පෙරමුණ ගත්හ.

නමුත් අවසන් කාර්තුව තුළ දී තම ක්‍රීඩා රටාව සහ තරග සැලසුම් යම් මට්ටමකට වෙනස් කරමින් උපක්‍රමශීලී වූ බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ දී ලකුණු 14ක් ලබා ගැනීමට සමත් විය. අවසන් කාර්තුව තුළ දී ප්‍රතිවාදී මධ්‍යම පළාතට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණි.

බස්නාහිර පළාත් කණ්ඩායමේ හසිතා මෙන්ඩිස් ක්‍රීඩිකාව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම  තරගාවලියේ තෙවන ස්ථානය සඳහා පැවැත්වූ තරගයේ දී දකුණු පළාත් කණ්ඩායම ලකුණු 58-29ක් ලෙස උතුරු මැද පළාත් කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ජයග්‍රාහී බස්නාහිර පළාත් කණ්ඩායමේ නායිකාව ලෙස චතුරාංගනී ජයසූරිය කටයුතු කළ අතර, සන්ද්‍යා වික්‍රමසිංහ මහත්මිය කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස ක්‍රියා කළාය.

අනෙකුත් තරග ප්‍රතිඵල

පළමු වටය

  • උතුරු පළාත 67 – 11 නැගෙනහිර පළාත

දෙවන වටය

  • බස්නාහිර පළාත 68 – 11 වයඹ පළාත
  • මධ්‍යම පළාත 74 – 16 සබරගමුව පළාත
  • දකුණු පළාත 77 – 13 ඌව පළාත
  • උතුරු මැද පළාත 40 – 39 උතුරු පළාත

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට