බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල ඇරඹේ

398
Western Province schools athletics

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මඟින් සංවිධානය කෙරෙන 2017 බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල අද (19) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී ඇරඹිණි. තරගාවලිය, ජුනි 20, 21, 22 යන දිනයන්වලදීද පැවැත්වේ.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් තරගාවලිය පැවැත්වෙන අතර කලාප 11ක් නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික ප්‍රමාණයක් මීට සහභාගී වේ. මෙරටට මලල ක්‍රීඩිකාවන් බිහි කෙරෙන මූලික තරගාවලිය ලෙස සැලකෙන සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම මින් සිදුවන බව බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා කුලතුංග මහත්මිය පැවසුවාය.

ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සහභාගී වන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වේ. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට සහභාගී වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<