ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවය නැවතත් බස්නාහිරට

242
Western Province defends Swimming title at 43rd National Sports Festival

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය පසුගිය 18 හා 19 දෙදින තුළ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විය.

දින 2ක් අවසානයේ රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 18ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 58කට හිමිකම් කියූ බස්නාහිර පළාත් කණ්ඩායම එහි දී සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 05ක් සමඟින් සමස්ත පදක්කම් 24කට හිමිකම් කියූ මධ්‍යම පළාත් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගන්නා ලදි.

නැවත වතාවක් ශූරතාවය බස්නාහිර පළාතට

43 වැනි වරටත් පැවැත්වෙන 2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත්…

එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින් සමස්ත පදක්කම් 05ක් දිනාගනු ලැබූ සබරගමුව පළාත් කණ්ඩායමට එහි දී හිමි වූයේ සමස්ත 3 වෙනි ස්ථානය යි. වයඹ පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම එකදු රන් පදක්කමක් හෝ දිනා ගැනීමට අපොහොසත් වූ නිසා ඔවුන්ට පළමු ස්ථාන 3 අතරේ සිය ස්ථානය වෙන්කර ගැනීමට හැකිවූයේ නැත.

බස්නාහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් දිලංක ෂෙහාන් ඔහු සහභාගී වූ සියලුම ඉසව්වල දී ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් රන් පදක්කම් දිනා ගන්නට සමත් වූ අතර එහි දී ඔහු නව තරගාවලි වාර්තා 3ක් ද පිහිටුවීමට සමත් විය. ඒ අනුව ඔහු එහි දී මීටර 400 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 4:19.73කින්, මීටර 200 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:59.21කින් සහ මීටර 1500 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 17:46.86කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තා පිහිටුවීමට සමත් විය. එමෙන්ම දේශක සෙනෙවිරත්න, මනුල කුරේ සහ කෞෂාල් මානවඩු සමඟින් දිලංක, 4×200 LC නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් සහාය පිහිනුම් කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය.

බස්නාහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් කාන්තා අංශය යටතේ ඉහළම දස්කම් දැක්වීමට සමත් වූයේ ආර්. එන්. සමරකෝන් ය. එහි දී ඇය මීටර 50 LC ළය ආර ඉසව්ව තත්පර 36.40කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මීටර 100 LC ළය ආර ඉසව්වේ දී ද දෙවන ස්ථානය දිනාගත් ක්‍රීඩිකාවට වඩා තත්පර 6ක් ඉදිරියෙන් රැඳෙමින්, මිනිත්තු 1:19.92ක කාලයක් වාර්තා කර ගනිමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම ඇය තරගාවලියේ සිය දෙවැනි තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් වූයේ මීටර 200 LC ළය ආර ඉසව්වෙනි. එහි දී එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:50.07කි. ඒ අනුව ඇය ළය ආර ඉසව්වේ සියලුම දුර කාණ්ඩවල රන් පදක්කම දිනා ගනිමින් එහි සිය අණසක පැතිරවීමට සමත් විය. තවදුරටත් ඇය නිදහස් ආර ඉසව්වෙන් ද දස්කම් දැක්වීමට සමත් වූයේ මීටර 200 LC නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කරමිනි. එම කණ්ඩායම නියෝජනය කළ අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ ජේ. එම්. සන්දු සාවින්දි, ඩබ්. සනලි නුහන්සා සහ ඉශානි සේනානායක ය.

ඉශානි සේනානායක ද බස්නාහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් රන් පදක්කම් 3ක් දිනා ගනිමින් දස්කම් දැක්වීමට සමත් විය. එහි දී ඇය මීටර 800 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 10:02.94කින් සහ මීටර 200 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 2:16.08කින් අවසන් කරමින් එම ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම ඇය මීටර 400 LC නිදහස් ආර ඉසව්ව මිනිත්තු 4:51.57කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

අනුශූරතාවය දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම වෙනුවෙන් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා වූයේ රන් පදක්කම් 3ක් දිනාගනු ලැබූ සී. ආර්. යෝගරත්නම් ය. එහි දී ඔහු මීටර 50 LC ළය ආර ඉසව්ව තත්පර 30.60කින් සහ මීටර 100 LC ළය ආර ඉසව්ව මිනිත්තු 1:09.40කින් අවසන් කරමින් නව තරගාවලි වාර්තා 2ක් පිහිටුවීමට සමත් විය. එමෙන්ම ඔහු මීටර 200 LC ළය ආර ඉසව්ව මිනිත්තු 2:41.47ක කාලයක් වාර්තා කර ගනිමින් අවසන් කරමින් ඔහුගේ අනෙක් රන් පදක්කම දිනා ගන්නා ලදි.

ඒ අනුව දින 2ක් පුරා පැවති ඉතා උණුසුම් තරග කිහිපයකින් අනතුරුව 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය අවසන් වූයේ නව තරගාවලි වාර්තා 17ක් බිහිවෙමිනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට