ක්‍රිස් ගේල් පසුකර යමින් රෝහිත් ශර්මාගෙන් තවත් ලෝක වාර්තාවක්!

1310
IND VS WI 2nd T20
©AP Photo

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ දෙවැනි විස්සයි විස්ස තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම ඊයේ (04) කොදෙව්වන්ට එරෙහිව තවත් තරගාවලි ජයග්‍රහණයක් තහවුරු කර ගත්හ. ඒ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි. 

මෙම තරගය අතරතුරේ දී සුපිරි ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල ලොව වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ පිතිකරු ලෙස වාර්තාවක් ද පිහිටුවීය. ඒ ප්‍රතිවාදී කොදෙව් පිළේම සුපිරි තරුවක් වන ක්‍රිස් ගේල් අභිබවා යමින් හයේ පහර 107ක් එල්ල කරමිනි.

නවකයෙකුගේ වේගය ඉන්දියාවට ජය ගෙනදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ……..

තරග ආරම්භයේ දී ෆ්ලොරිඩා ප්‍රාන්තයට ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින්ම උචිත පැහැබර කාලගුණ තත්ත්වයක් පැවති අතර තරගය නැරඹීම සඳහා ද ඉතාමත් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වී සිටිනු දැක ගන්නට ලැබුණි. ඒ අතුරින් බහුතරය එක්සත් ජනපදයේ සේවය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ඉන්දියානුවන් විය. ඔවුන්ගේ ජය ඝෝෂා හඬ මධ්‍යයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් විරාත් කෝලි තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි. ඒ පසුගිය දිනයේ මුලින් පන්දු යවා මෙම ක්‍රීඩාංගණයේ දී ම ඔවුන් තරගයක් ජයගෙන තිබූ වටපිටාවකයි.

ඒ අනුව ඉනිම ඇරඹූ රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ඉන්දියාවට වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දෙමින් තරගයේ පාලනය තමන් වෙතට නතුකර ගත්හ. එහි දී තම විස්සයි විස්ස දිවියේ 17 වැනි අර්ධ ශතකය ලෙසින් ලකුණු 67ක් වාර්තා කර ගත් රෝහිත් ශර්මා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කරමිනි. ශිකර් ධවාන් පන්දු 16කින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියේ කීමෝ පෝල් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

මෙම තරග සංචාරයේ තවමත් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වුවද කවදත් තම වගකීම් කොටස ඉටු කරන නායක කෝලි ඊයේ පන්දු 23කින් ලකුණු 28ක් ලබා ගත්තේ එක් හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමිනි. නමුත් ඉන්දීය පිළේ සැලසුම්වලට බාධා එල්ල වූයේ කණ්ඩායමේ යොවුන් පිතිකරුවන් දෙදෙනා වන රිශාබ් පන්ට් සහ මනිශ් පාණ්ඩේ තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යාම නිසයි. 

නමුත් පසුපෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කෘනාල් පාණ්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩේජා තමන්ට ඉතිරිව තිබූ සුළු පන්දු සංඛ්‍යාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් ඉන්දීය ඉනිම ලකුණු 167ක් දක්වා ඉහළ දැමූහ.

එහි දී කීමෝ පෝල් ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ මෙම පිතිකරුවන් දෙදෙනා ඔහුගෙන් ලකුණු 20ක්ම උදුරා ගැනීම තරගයේ තීරණාත්මක සංධිස්ථානයක් විය. පන්දු 13කට පමණක් මුහුණ දුන් කෘනාල් පාණ්ඩ්‍යා ලකුණු 20ක් නොදැවී ලබා ගනිද්දී අනෙක් අන්තයේ සිටි රවීන්ද්‍ර ජඩේජා තමන් වෙත ලැබුණු පන්දු 4 දී ලකුණු 9ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ශෙල්ඩන් කෝට්‍රල් සහ ඔශේන් තෝමස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය

සති දෙකක් ඇතුළත හොඳම පුහුණුකරුවෙකු ලංකාවට? ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ ……..

ඒ අනුව තරගාවලි පරාජයකින් බේරීමට නම් ලකුණු 168ක් හඹා යාමට සිදු වූ කොදෙව් පිළ ඉනිම ඇරඹුවේ පෙරළිකාර වෙනසක් ද සමඟිනි. ඒ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙයින්ව කොදෙව් ඉනිම ආරම්භ කිරීම සඳහා යොදා ගනිමිනි. විස්සයි විස්ස ලීග් තරගාවලි වලදී නරෙයින් මෙලෙස ඉනිම ආරම්භ කිරීම සුලබ දසුනක් වුවද ඔහු කොදෙව් පිළේ ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලැබුවේ ප්‍රථම වතාවටයි. කෙසේ වෙතත් පළමු පන්දුවේ සිටම වොෂින්ටන් සුන්දර්ගේ දඟපන්දු යැවීම හමුවේ නිරුත්තර වූ ඔහු ලකුණු 4කට දැවී ගියේය.

අතිශයින්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින එවින් ලෙවිස් මෙම තරගාවලියේ පිට පිටම දෙවැනි වරටත් ලකුණු නොලබාම දැවී ගියේ බුවනේශ්වර් කුමාර් පන්දු යවමින් රැක ගත් අතිවිශිෂ්ට උඩපන්දුවක් නිසාවෙනි. ඉන් අනතුරුව නිකලස් පූරන් සහ රෝමන් පවෙල් අතරේ ලකුණු 76ක සබඳතාවයක් වර්ධනය වූයේ නැවතත් කොදෙව් පිළ තරගයට අවතීර්ණ කරමිනි. නමුත් 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කෘනාල් පාණ්ඩ්‍යා ඊට තිත තැබුවේ එම පිතිකරුවන් දෙදෙනාවම දවා ගනිමිනි. අවස්ථාවට නොගැලපෙන මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් ලකුණු 19ක් ලබා ගැනීමට පන්දු 34ක් වැය කළේය.

කෙසේ නමුත් අනෙක් අන්තයේ සිටි රෝමන් පවෙල් පන්දු 34කින් ලකුණු 54ක් ලබා ගනිමින් කොදෙව් පිළට ජයග්‍රහණයක් ලබා දීමට දැඩි වෙහෙසක් දැරුවේය. ඔහුගේ ඉනිම නිවැරදිව කල් මැන එල්ල කළ ඉතාමත්ම දැකුම්කළු හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 3කින් වර්ණවත් විය. ඉන් අනතුරුව කිරන් පොලාර්ඩ් සහ ශිම්රන් හෙට්මයර් පිටියට පිවිසී වැඩි වේලාවක් ගත වන්නට පෙර ඉතාමත් පැහැබරව තිබූ අහස්කුස කළු පැහැයට හරවමින් වර්ෂාව ආරම්භ විය. ඒ වන විට ලකුණු 98කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ කොදෙව් පිළ සිටියේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව අවශ්‍ය කරන ඉලක්කයට වඩා ලකුණු 22ක් පසුපසිනි.

දෙවැනි කොටසේ පළමු ශතකය වෙල්ලාලගෙන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ……..

එබැවින් නැවත තරගය ආරම්භ කිරීමට ඉඩක් නොලැබුණු නිසා තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටයි. ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය ද තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට ඔවුන්ට හැකි විය. පන්දු යැවීමේ දී කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 2ක් බිඳ හෙලද්දී වොෂින්ටන් සුන්දර් සහ බුවනේශ්වර් කුමාර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

විස්සයි විස්ස තරගාවලියේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගය බටහිර ඉන්දීය කොදෙව්වට අයත් දූපතක් වන ගයානා හිදී හෙට (06) පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි දී කොදෙව්වන්ට ඇති දැවැන්තම අභියෝගය වන්නේ තරග දෙකක් පුරාවට අසාර්ථක වූ පිතිකරණ අංශය යළි පණ ගන්වා ගැනීමයි.

ඉන්දියාව – කඩුලු 5ක් දැවී ලකුණු 167 (පන්දුවාර 20): රෝහිත් ශර්මා 67, විරාත් කෝලි 28, ශිකර් ධවාන් 23, කෘනාල් පාණ්ඩ්‍යා 20*, රවීන්ද්‍ර ජඩේජා 9*, ශෙල්ඩන් කෝට්‍රල් 2/25, ඔශේන් තෝමස් 2/27, කීමෝ පෝල් 1/46.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 4ක් දැවී ලකුණු 98 (පන්දුවාර 15.3): රෝමන් පවෙල් 54, නිකලස් පූරන් 19, කිරන් පොලාර්ඩ් 8*, ශිම්රන් හෙට්මයර් 6*, කෘනාල් පාණ්ඩ්‍යා 2/23, බුවනේශ්වර් කුමාර් 1/7, වොෂින්ටන් සුන්දර් 1/12.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<