රසල්ගේ ප්‍රහාර හමුවේ නොසැලුණු බංග්ලාදේශයට ශූරතාවය

370

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි – විස්ස ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19කින් ජය ගත් බංග්ලාදේශය තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අද (6) සමත් විය.

කොදෙව්වෝ හමුවේ බංග්ලාදේශයට තියුණු ජයක්

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්..

ඇමරිකාවේ ෆ්ලොරිඩා හීදී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබා ගන්නා ලදි. බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ලිට්න් ඩාස් හා තමීම් ඉක්බාල් පන්දු 28ක් තුල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 21ක් ලබා සිටි ඉක්බාල් දැවී යාමත් සමඟම පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ එම සබඳතාවය අවසන් විය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දකුණතින් හසුරුවන ලිට්න් ඩාස් පන්දු 32ක් තුල ක්‍රියාත්මක කළ වේගවත් පිතිකරණය නිසාවෙන් කොදෙව් පන්දු යවන්නන්ට දැඩි බලපෑමක් එල්ල විය.

ඩාස් 4 පහර 6ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 61ක් ලබාගෙන සිටිය දී කෙස්රික් විලියම්ස් එවූ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඊට අමතරව නායක ශකිබ් අල් හසන් හා මහමදුල්ලා පිළිවෙළින් ලකුණු 24ක් හා ලකුණු 32*ක් ලබාගත් අතර තරගය අවසානය දක්වා නොදැවී පන්දුවට පහර දුන් මහමදුල්ලා 4 පහර 4ක් හා එක් හයේ පහර සමඟ එම ලබාගත් ලකුණු ප්‍රමාණය රැස්කර ගත්තේය. 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 38*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැගූ අරිෆුල් හක් හා මහමදුල්ලා සිය කණ්ඩායම ලකුණු 184ක් දක්වා රැගෙන යන ලදි.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන කීමෝ පෝල් හා කාලෝස් බ්‍රාත්වෙයිට් බංග්ලාදේශ කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

වර්ෂාවට මැදි වූ තරගයේ දී කොදෙව්වන්ගෙන් හයේ වැස්සක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති…

ලකුණු 185ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 32ක් තුල දැවී ගිය නිසා තරගයේ පළමු පන්දුවාර කිහිපය තුල දී ම තරගයේ වැඩි වාසිය සියතට ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

එසේ තිබිය දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ දිනේෂ් රාම්ඩීන් හා රොව්මාන් පවෙල් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයට අවතීර්ණ කළේය. එහි දී පන්දු 20ක් තුල පවෙල් ලකුණු 23ක් ලබා ගත්තේ 4 පහර දෙකකින් සිය ඉනිම අලංකාරවත් කරගෙනයි.

ලකුණු 21ක් ලබාගත් රාම්ඩීන්ගේ දැවී යාමත් සමඟම පිටියට පැමිණි දකුණතින් පිතිකරණයේ නිරත වන ඇන්ඩෘ රසල් ඔහු මුහුණ දුන් පළමු පන්දු කිහිපය තුල  එල්ල කළ දැවැන්ත 6 පහර කිහිපය නිසා බංග්ලාදේශ කණ්ඩායම තරගය හා තරගාවලිය පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවල යම් කුකුසක් මතුවිය.

නමුත් මස්ටෆයිසර් රහමාන් සිය උපක්‍රමශිලිත්වය යොදාගෙන එවූ වේගය අඩාල කළ ෆුල්ටොස් පන්දුවකට වැරෙන් පහරක් එල්ල කිරීමට පෙලඹුණු රසල් සිය ඉනිමට නැවතීමේ තිත තබා ගත්තේ සිය අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ය. එක් 4 පහරක් හා යෝධ 6 පහර 6ක් සමඟින් වර්ණවත් වූ රසල්ගේ ඉනිමට ලකුණු 47ක් අන්තර්ගත වූ අතර ඒ සඳහා  ඔහුට වැය වූයේ පන්දු 21ක් පමණයි. ඔහුගේ දැවී යාමත් සමඟම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබා දීමට තරග තීරකයින් කටයුතු කරන ලදි. පන්දු යැවීමේ දී මස්ටෆයිසර් රහමාන්  ලකුණු 31කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමක් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට එරෙහිව විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කර  ඇත්තේ 2011 වසරේ දී වන අතර මේ ලබාගත් තරගාවලි ජයග්‍රහණයත් සමඟම වසර 7ක ඉපැරණි ඉතිහාසය අලුත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.

බංග්ලාදේශය – 184/5 (20): ලිට්න් ඩාස් 61, මහමදුල්ලා 32,  කීමෝ පෝල් 2/26, කාලෝස් බ්‍රාත්වෙයිට් 2/32.

බටහිර ඉන්දීය කොදෙව් – 135/7 (17.1): ඇන්ඩෘ රසල් 47, රොව්මාන් පවෙල් 23, මස්ටෆයිසර් රහමාන් 3/31.

තරගයේ වීරයා – ලිට්න් ඩාස් (බංග්ලාදේශය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<