කොදෙව් පිතිපෙළ නැවත කඩා වැටෙයි; එංගලන්තයට පූර්ණ තරගාවලි ජය!

124

අද හිමිදිරි පාන්දර ඇරඹුණු එංගලන්ත – කොදෙව් තෙවැනි විස්සයි විස්ස තරගය නිමාවට පත්වූයේ සිය මව් රටේ දී ම කොදෙව්වන්ගේ සුද හෝදා (White Wash) දමමිනි. ඒ වෝනර් පාක් හිදී අද පැවති තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් ලබාගත් එංගලන්තය තරග 3-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලිය ජය ගත් නිසයි. ජාත්‍යන්තර තරග 11ක් ඇතුළත් වුනු මෙම දීර්ඝ සංචාරයේ අවසන් දිනය ද අදයි.

ස්ටීර්ලින්, බැල්බර්නි ඇෆ්ගනිස්ථාන කුසලාන සිහිනය බොඳකරයි

පෝල් ස්ටීර්ලින් සහ ඇන්ඩි බැල්බර්නිගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායම සහ…

පසුගිය තරගයේ දී විශ්මයජනක ලෙස ලකුණු 45කට දැවී ගිය කොදෙව් පිළ අද කාසියේ වාසිය ජය ගැනීමෙන් පසු නැවතත් මුලින් පිත්ත අතට ගනු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත. නමුත් ඊට එරෙහිව ගිය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රබල එංගලන්ත පන්දු බල ඇණියට එරෙහිව පිතිකරණයේ යෙදීමට අවශ්‍ය බව කියා සිටියේය. සියතින් ගෙල සිඳ ගැනීමක් බඳු වූ මෙම තීරණය නිසා අවසානයේ නැවතත් ලකුණු 71ක් තුල දී කොදෙව් ඉනිම අවසන් විය. මේ වන විට කොදෙව් තණතිලි පිළිබඳ හොඳ දැනුමක් ඇති එංගලන්ත පිළ ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 13ක් පමණි.

තරගයේ යැවූ මුල්ම පන්දුවේ දී ශායි හෝප් දැවී ගියේ ලකුණු ගිණුම ආරම්භ වීමටත් පෙරයි. සුපිරි වමත් පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගය සඳහා ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ ජෝන් කැම්බෙල් ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. මෙය කොදෙව් ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වීමෙන්ම කොදෙව්වන්ගේ අසරණ වීම කොතෙක් දැයි සිතා ගත හැකි වනු ඇත. කැම්බෙල්ට අමතරව ජේසන් හෝල්ඩර් සහ නිකලස් පූරන්  ලකුණු 11 බැගින් රැස් කළහ.

ජාත්‍යන්තර පිටියට පැමිණි විගස ඉතාමත් ඕනෑකමින් ලකුණු රැස් කරන්නෙකු ලෙස අවධානයක් දිනාගත් ශිම්රන් හෙට්මයර් රැස් කළේ ලකුණු 8ක් පමණි. කොදෙව් බලාපොරොත්තු සුනුවිසුනු කර දැමූ ඩේවිඩ් විලී ප්‍රතිවාදීන්ගේ මුල් කඩුලු 4ම බිඳ දැමීමට සමත් විය. ඉන් අනතුරුව මාක් වුඩ් සහ අඩිල් රශීඩ් පසුපෙළ පිතිකරුවන් අසරණ කර දැමූහ. අද පන්දුවාර 3ක් ක්‍රියාත්මක කළ මාක් වුඩ් කඩුලු 3ක් බිඳ දැමුවේ ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. මේ වන විට එංගලන්තය යනු ලෝක ක්‍රිකට් පිටියේ අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමක් නිසා ඔවුන් දක්වන මෙම දස්කම් ගැන පුදුම විය යුතු නැත.

ක්‍රීඩාව යුද්ධයක් කරගැනීම නිසා ඉන්දියාවට දඬුවම් හිමි වේවි ද?

වර්තමානය වන විට ගිනි පුලිඟු මතුවෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදයට ඉන්ධන දැමීම සඳහා…

ලකුණු 72ක පහසු ඉලක්කයක් හඹාගිය එංගලන්තය ජය කණුව පසු කිරීම වෙනුවෙන් වැය කළේ පන්දුවාර 10යි පන්දු 3ක් පමණි. ඒ අතරතුරේ දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට කඩුලු අහිමි විය. නමුත් ඔවුන් දෙදෙනා ද දැවී ගියේ තම වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් අනතුරුවයි. කඩුලු රකින ආරම්භක පිතිකරු ජොනී බේස්ටෝ අද ලකුණු 37ක් ලබා ගත්තේ පන්දු 31කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඇලෙක්ස් හේල්ස් ලකුණු 20යි. ඔවුන් දෙදෙනා දැවී යන විට එංගලන්තයට අවශ්‍ය වූ ලකුණු 12 පහසුවෙන් ලබා ගැනීමට ඔයින් මෝගන් සහ ජෝ රූට් කටයුතු කළහ.

ඒ අනුව තරග 3-0ක විශිෂ්ට ජයක් හිමිකර ගත් එංගලන්තය ශූරතා කුසලානය සඳහා නිරායාසයෙන්ම සුදුසුකම් ලැබූහ. අවසන් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ සුපිරි පන්දු යැවීමක නිරත වුනු ඩේවිඩ් විලීටයි. විස්සයි විස්ස තරග සඳහාම විශේෂඥ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ජෝර්ඩන් තරගාවලියේ වීරයා බවට පත්විය. සමස්තයක් වශයෙන් ගත් කළ එංගලන්තය මෙම සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වුවද සීමිත පන්දුවාර තරගවල දී දැක්වූ දක්ෂතා නිසා ඔවුන් 2019 ලෝක කුසලානයට ආසන්නයෙන්ම සිටින කණ්ඩායමක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

බටහිර ඉන්දීය කොදෙව් – සියල්ලන්ම දැවී ලකුණු 71 (පන්දුවාර 13)

ජේසන් හෝල්ඩර් 11, ජෝන් කැම්බෙල් 11, නිකලස් පූරන් 11, ඔබෙඩ් මැකෝයි 10, ශිම්රන් හෙට්මයර් 8, ෆැබියන් ඇලන් 7, ඩේවිඩ් විලී 4/7, මාර්ක් වුඩ් 3/9, අඩිල් රශීඩ් 2/18.

එංගලන්තය – කඩුලු 2ක් දැවී ලකුණු 72 (පන්දුවාර 10.3)

ජොනී බෙස්ටෝ 37, ඇලෙක්ස් හේල්ස් 20, ඔයින් මෝගන් 10*, ජෝ රූට් 4*, දේවේන්ද්ර බිෂූ 1/11, ජේසන් හෝල්ඩර් 1/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<