තරග 2-1ක් ලෙස ශූරතාවය බංග්ලාදේශයට

214

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (14) සමත් විය.

>>ශායි හෝප්ගෙන් බංගලියන්ට එරෙහිව වික්‍රමාන්විත ඉනිමක්

සිලේට් හිදී පැවති මේ තරගය සඳහා කණ්ඩායම් දෙකම අවතීර්ණ වූයේ පළමු එක්දින තරග දෙක 1-1ක් ලෙස ජයගෙන නිසා මේ තරගය ජය ගැනීම දෙපිලටම ඉතාමත් වැදගත් විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පිටියට සපැමිණි කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් රැස්කර ගත්තේය.

ඒ ඉනිමේ ලබා ගත් ලකුණුවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් කොදෙව් කඩුලු රකින ආරම්භක පිතිකරු වන ශායි හොප් 4 පහර 9ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 108*ක් කොදෙව් ඉනිමට එකතු කරන ලදි. මේ ශතකය සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත්  සිව්වැනි ශතකය හා ලකුණු 108* ලබා ගැනීමට පන්දු 131ක් වැය විය.

ඔහු කොදෙව් ඉනිමේ ආරම්භයේ සිටම අවසානය දක්වා තණතීරුව මත රැඳෙමින් ක්‍රීඩා කළ අතර මාලන් සැමුවල්ස් ලබා ගත් ලකුණු 19 හැරෙන්නට අනෙකුත් ක්‍රීඩකයින් සියලු දෙනාම ලකුණු 12 සීමාව අභිබවා ලකුණු රැස්කරගන්නට සමත් නොවූයේ බංග්ලාදේශ දඟපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසයි. එහි දී දකුණතින් දඟපන්දු යවන මෙහෙදි හසන් ලකුණු 24කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වන ලදි.

ලකුණු 199ක පහසු ඉලක්කයක් හඹා යාමට දෙවනුව පිටියට පැමිණි බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් පන්දුවාර 38කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ තරග 2-1ක් ලෙස තරගාවලිය ද ජයගෙනයි.

>>පෙරළිකාර ජයග්‍රහණයක පහස ඉසිපතනයට

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලය වූ තමීම් ඉක්බාල් හා ලිට්න් දාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූ අතර ලකුණු 23ක් ලබා සිටි ලිට්න් දාස් කිරන් පවෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යන ලදි.

ඉන්පසුව පිටියේ එක්කාසු වූ වමතින් පිත්ත හසුරුවන තමීම් ඉක්බාල් හා සෞම්‍ය සර්කාර් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක්දින තරගාවලියේ ශූරතා සිහිනය සිහිනයක්ම බවට පත් කළේ පන්දුවාර 25ක් පමණ වැය කරමිනි. ඒ තුල තරගයේ හා තරගාවලියේම ඉරණම විසඳා දැමීමට ඔවුන් දෙදෙනාට හැකියාව ලැබුණි.

ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළ සෞම්‍ය සර්කාර් 4 පහර 5ක් හා 6 පහර 5ක් එල්ල කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් පසුව පවෙල්ගේම පන්දුවක් හමුවේ බංග්ලාදේශ දෙවන කඩුල්ල ලෙස දැවී යන ලදි.

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිටම පිතිකරණයේ නිරත වූ ඉක්බාල් 4 පහර 9ක් එල්ල කරමින් නොදැවී ලකුණු 81*ක් ලබා ගත්තේ පන්දු 104ක් පමණක් වැය කරමිනි. ඔහු විසින් අද දිනයේ දී සපුරා ගත්තේ ඔහුගේ දිවියේ ලබා ගත් 44 වන එක්දින ශතකයයි. ඊට අමතරව කඩුලු රකින ක්‍රීඩක මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 16*ක්  කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා දෙන ලදි. පන්දු යැවීමේ දී කිරන් පවෙල් ලකුණු 38කට කඩුලු දෙකක් දවාලන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් – 198/9 (50): ශායි හොප් 108, මෙහෙදි හසන් 4/24.

බංග්ලාදේශය – 202/2 (38.3): තමීම් ඉක්බාල් 81*, සෞම්‍ය සර්කාර් 80, කිරන් පවෙල් 2/38

තරයේ වීරයා – මෙහෙදි හසන් (බංග්ලාදේශය)

තරගාවලියේ වීරයා – ශායි හොප් (බටහිර ඉන්දීය කොදෙව්)

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වැනිදා සිලෙට් හිදී පැවැත්වේ. එහි තරග තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<