අපරාජිත ධර්මරාජවරුන් පරාජය කරමින් ශූරතාවය වෙස්ලි ක්‍රීඩකයින්ට

750

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් දස-සාමාජික රග්බි තරගාවලිය ඊයේ (05) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ එහි අවසන් මහා තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 07-12ක් ලෙස පරාජයට පත්කළ කොළඹ වෙස්ලි විද්‍යාලය විසින් තරගාවලියේ ශූරතාවය දිනා ගනිමිනි.

පාසල් අටක් දස සාමාජික රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දස සාමාජික රග්බි තරගාවලිය..

තරගාවලියේ පලඟ, බඳුන සහ පළිහ ශූරතා දිනා ගන්නට පිළිවෙළින් කොළඹ ඉසිපතන විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වූ අතර තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළ ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම ශූරතා කුසලානය සඳහා වන තරගයෙන් ඉවත්ව යාම මෙහි සුවිශේෂී කරුණක් විය.

තරගාවලිය ආරම්භයේ සිට ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ වෙස්ලි විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය ඔවුන් ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව අවසන් මහා තරගයේ පළමු අර්ධයේ සිය අණසක පතුරුවා ගත් වෙස්ලි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සහ එක් ප්‍රවර්තනයක් හරහා ලකුණු 12ක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එම උත්සාහක දිනුම් දෙකේම ආරම්භය ඔවුන්ට ලැබුණු දඬුවම් පහර දෙකක් හරහා සිදු වූ අතර ඒ අනුව දිස්වූයේ ඔවුන් දිනය ආරම්භයේ ඉසිපතන විද්‍යාලය හමුවේ වාර්තා කර ගත් අන්දමේ දැවැන්ත ජයග්‍රහණයක් මෙම තරගයේ දී ද වාර්තා කර ගනු ඇති බවයි.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 12 – 00 ධර්මරාජ විද්‍යාලය   

ධර්මරාජ ක්‍රීඩකයින් සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දී ද පළමු අර්ධයේ පසුපසින් සිටියත් දෙවන අර්ධයේ දී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් වූ අතර ඒ අනුව දෙවන අර්ධයේ දී තරගයට අවතීර්ණ වූ ඔවුන් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩුකර ගනිමිනි.

ජ’පුර සහ වයඹ සිසුහු කොළඹ රග්බි පිටිය පෙරළයි

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි…

තරගය අවසන් වන්නට පෙර ධර්මරාජ ක්‍රීඩකයින් හට උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට ඉතා පහසු අවස්ථාවක් ලැබුණත් එහි දී පන්දුව ලබාගත් ධර්මරාජ ක්‍රීඩකයා තනිව පන්දුව රැගෙන යාමට තීරණය කරනු ලැබූ අතර ඔහුව වළකාලන්නට වෙස්ලි විද්‍යාලයේ නායකයා සමත් වීමත් සමඟ ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහී ගියේය. ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ ජයග්‍රහණය හිමිකරගත් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: වෙස්ලි විද්‍යාලය 12 (2T 1C) – 07 (1T 1C) ධර්මරාජ විද්‍යාලය   

දිනය ආරම්භයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී වෙස්ලි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කර ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය. එහි දී රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි අතිරේක කාලයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගත් රාජකීය විද්‍යාලයේ ‘fly-half’ ක්‍රීඩකයා සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙන්නට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ ඉදිරියෙන් රැඳුනත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 10-12ක් ලෙස අවසානයේ තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වූ අතර ඉතිරි අර්ධ අවසන් පූර්ව තරග දෙකේ දී වෙස්ලි විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය පිළිවෙළින් ඉසිපතන විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ පහසුවෙන් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

අනතුරුව අවසන් පූර්ව වටයේ දී වෙස්ලි විද්‍යාලය උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගනිමින් එක් උත්සාහක දිනුමක් පමණක් වාර්තා කර ගත් රාජකීය විද්‍යාලය පරාජයට පත්කරන්නට සමත් වූ අතර එහි දී වෙස්ලි ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළත් දෙවන අර්ධයේ දී ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල විය. කෙසේ නමුත් කණ්ඩායම් දෙක අතර පැවති ලකුණු පරතරය ආරක්ෂා කරගන්නට සමත් වූ ඔවුන් රාජකීය ක්‍රීඩකයින් පරාජයට පත්කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ලකුණු 12-00ක පරතරයක් රඳවා ගන්නට සමත් වුවත් දෙවන අර්ධයේ දී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ ධර්මරාජ ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමිනි.

ශූරතා කුසලාන අර්ධ අවසන් පූර්ව වටය   

  • QF 1 – ත්‍රිත්ව විද්‍යාලය 00-05 රාජකීය විද්‍යාලය
  • QF 2 – ඉසිපතන විද්‍යාලය 00-19 වෙස්ලි විද්‍යාලය
  • QF 3 – සාන්ත පීතර විද්‍යාලය 10-12 සාන්ත ජෝසප් විද්‍යාලය
  • QF 4 – ධර්මරාජ විද්‍යාලය 33-00 සාන්ත අන්තෝනි විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්වූ කණ්ඩායම් පසුව පලඟ ශූරතාවය සඳහා වන අවසන් පූර්ව තරග වටයට යොමු වූ අතර එහි දී ඉසිපතන විද්‍යාලය විසින් ලකුණු 10-05ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයත්, සාන්ත පීතර විද්‍යාලය විසින් තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දී ලකුණු 19-19ක් ලෙස තරගය සම තත්වයේ පවතිද්දී අතිරේක කාලයේ දී වාර්තා කර ගත් උත්සාහක දිනුමක් හරහා සාන්ත අන්තෝනි විද්‍යාලයත් පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. අවසන් තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය ලකුණු 21-00ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ ඉසිපතන ක්‍රීඩකයින් තරගාවලියේ පලඟ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පලඟ ශූරතා අවසන් තරගය

  • ඉසිපතන විද්‍යාලය 21-00 සාන්ත පීතර විද්‍යාලය

පලඟ ශූරතා අවසන් පූර්ව වටය

  • ඉසිපතන විද්‍යාලය 10-05 ත්‍රිත්ව විද්‍යාලය
  • සාන්ත පීතර විද්‍යාලය 26-19 සාන්ත අන්තෝනි විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, විද්‍යා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය පහසුවෙන් බඳුන ශූරතාවය සඳහා වන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර එහි දී විද්‍යා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය පිළිවෙළින් කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූහ.

බඳුන ශූරතා අර්ධ අවසන් පූර්ව වටය

ඩී. එස්. සේනානායක විද්‍යාලය 12 5 ලුම්බිණි විද්‍යාලය
සුමංගල විද්‍යාලය 5 26 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
මහානාම විද්‍යාලය 7 14 විද්‍යා විද්‍යාලය
සහිරා විද්‍යාලය 10 12 කිංග්ස්වුඩ් විද්‍යාලය

බඳුන ශූරතා අවසන් පූර්ව වටය

කිංග්ස්වුඩ් විද්‍යාලය 0 47 විද්‍යා විද්‍යාලය
ඩී. එස්. සේනානායක විද්‍යාලය 29 0 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

අවසන් මහා තරගය ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් පරාජයට පත්කරමින් ජයග්‍රහණය කළ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ බඳුන ශූරතාවය දිනා  ගැනීමට සමත් විය.

බඳුන ශූරතා අවසන් තරගය

ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 12 විද්‍යා විද්‍යාලය

පළිහ ශූරතා තරග අංශයේ ප්‍රතිඵල පහත පරිදිය

පළිහ ශූරතා අර්ධ අවසන් පූර්ව වටය

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 31 0 කේරි විද්‍යාලය
ආනන්ද විද්‍යාලය 07 10 නාලන්ද විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 32 0 සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
මලියදේව විද්‍යාලය 12 19 ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය

පළිහ ශූරතා අවසන් පූර්ව වටය

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 5 0 නාලන්ද විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 5 0 ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය

පළිහ ශූරතා අවසන් තරගය

විද්‍යාර්ථ විද්‍යාලය 12 5 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<