“වෙස්ලි විද්‍යාලයේ තදයන්ට” තහනමක්

6549

2017 සිංගර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය තුළ දී වෙස්ලි විද්‍යාලයත් ත්‍රිත්ව විද්‍යාලයත් අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසු, වෙස්ලි විද්‍යාලයේ එක් ක්‍රීඩකයෙකුට වසරක තරග තහනමකුත් තවත් කිහිප දෙනෙකුට තරග කිහිපයක තහනමකුත් පනවා ඇතැයි වාර්තා වේ.

පාසල් ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්

මේ වන විට ක්‍රියාත්මක වන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ. පාසල් රග්බි තරග වාරය ආරම්භයේ දීම වෙස්ලි-ත්‍රිත්ව විද්‍යාල දෙක අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසුව රග්බි ක්‍රීඩාවට ඇතිවූ….

ගැටුම්කාරී සිද්ධිය ආරම්භ වූයේ උත්සාහක දිනුමක් වාර්තා කළ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෙකුට වෙස්ලි ක්‍රීඩකයෙකු විසින් උරහිසින් කළ තල්ලු කිරීමකින් අනතුරුවය. පසුව ක්‍රීඩකයන්ගේ ගැටුම ප්‍රේක්ෂකයන්ගේ ගැටුමක් දක්වා දුරදිග ගියේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ විනය කමිටුව ඊයේ (28) රැස්වූ අතර එහි දී එක් වෙස්ලි විදුහල් ක්‍රීඩකයෙකුට මේ තරග වාරය (2017) තහනම් කිරීමටත්, ගැටුමට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයන්ට සහ අතිරේක ක්‍රීඩකයන්ට තරග දෙක හෝ තුන බැගින් වන තරග තහනමක් පැනවීමටත් ඔවුන් තීරණය කරන ලදි.

නරඹන්නන් වෙත පෙන්වන ලද වැරදි ඉරියව් හේතුවෙන් වෙස්ලි විද්‍යාලයීය අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග තුන බැගින් වන තහනමකුත්, ගැටුමට ඇතුලත් වූ තවත් ක්‍රීඩකයන් හතර දෙනෙකුට තරග දෙක බැගින් වන තහනමකුත් පැනවීමට තීරණය වී තිබේ.

උක්ත තීරණය ගෙන ඇත්තේ තරගාවලි අධ්‍යක්ෂ ඒ.පී. ජයසූරිය (විද්‍යා විද්‍යාලයීය විදුහල්පති), සාන්ත ජෝන් විද්‍යාලයීය රග්බි භාර ආචාර්ය එච්.ජේ.කේ. විජේරාම, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයීය විදුහල්පති එම්.බී. අත්තනායක සහ කළුතර විද්‍යාලයීය විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකිනි.

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නිසාම් ජමල්ඩීන් මහතාගෙන් ThePapare.com සිදුකළ විමසීමක දී ඔහු කියා සිටියේ පරීක්ෂණයට අදාළ ලිඛිත වාර්තාවක් තම සංගමය විසින් ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මීට යොදා ගෙන ඇති නීති රෙගුලාසීන් වනුයේ මෙයයි.

රෙගුලාසි පද්ධතියේ 17.1 අනුව ලෝක රග්බි විනය සහ නීති කඩ කිරීම් වලට අදාළ වගන්තියේ “G” කොටසේ මෙසේ සඳහන් වේ.

භයානක අයුරින් ක්‍රීඩකයෙකුගේ ගැටීම හෝ ක්‍රීඩකයෙකු බිම හෙළීම, උරහිසින් ගැටීම නිසා අවම මට්ටමේ දඬුවමක් වශයෙන් සති දෙකක තරග තහනමකුත්, උපරිම වශයෙන් සති 52ක තරග තහනමකුත් යන වශයෙන් දඬුවම් නියම කළ හැක.

කෙසේ වෙතත් විනය කමිටුව මඟින් වසරක තරග තහනමක් පැනවීම සඳහා යොදා ගත් නිමානයන් කෙසේ දැයි හඳුනා ගන්නට අපහසුව ඇත්තේ මෙය පාසල් රග්බි තරගාවලිය වීම නිසාය.

තරග සංවිධායකයන් සම්බන්ධ කර ගැනීමට ThePapare.com අප දැඩි උත්සාහයක් ගත් නමුත්, දැකිය හැකි වූයේ මාධ්‍ය ඉදිරියේ ඔවුන් මුනිවත රකිනු පමණි.

පවතින තත්වය අනුව වෙස්ලි විද්‍යාලයට මීළඟ තරග කිහිපය ක්‍රීඩා කරන්නට සිදුවන්නේ තමන්ගේ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රහිතව දුබලයන් ලෙසිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<