නැවත උපන් ආදරය

1802
©cricket.com.au

ඔහු වසරකට පසු ටෙස්ට් පිටියට පිවිසෙන විට එංගලන්ත ප්‍රේක්ෂකයන් වැලි කඩදාසි වනමින් ඔහුට උසුළු විසුළු කළේය. ඊට විරුද්ධව ඔහුට කිසිවක් කිව නොහැකිය. ඔහු අත තිබුණේ පෙර වැරදි සහ ක්‍රිකට් පිත්ත පමණි.

2018 එක් තරගයක දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ස්ටීවන් ස්මිත් හට වසරක තරග තහනමක් හිමිවුණු පසු ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ හැඬූ කඳුලිනි. ස්මිත් අත වරදක් තිබුනත් ඒ මොහොත ඕනෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුව සංවේදී කළ මොහොතක් විය. “මට සමාවෙන්න” යැයි කියමින් හඬාවැටුණු ස්මිත්ව අස්වැසූ ඔහුගේ පියා ද සහභාගී වූ ඒ මාධ්‍ය සාකච්ඡාව ක්‍රිකට් ඉතිහාසයට එක්වූ සංවේදී මොහොතකි.

©indianexpress.com – ඒ මොහොත ඕනෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුව සංවේදී කළ මොහොතක් විය.

සිද්ධිය සිදු වන විට ස්මිත් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා ය. අප දැක තිබෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායකයන්ගේ නම් කිහිපයක් සිහි කළහොත්, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, රිකී පොන්ටින් යනු ආදර්ශ කිහිපයකි. ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයන් වනාහි ප්‍රතිවාදී වේගපන්දු යවන්නන් යවන පන්දු මුහුණුවල, අත්වල, ශරීරවල වැදී ලේ ගලද්දී පවා ඇසට ඇස යොමුකොට ඔවුන්ට ඇනුම් පද කියන තරමේ චණ්ඩ සහ අයෝමය සිතැති පරපුරකි. එවන් නායක පරපුරින් පැවත ආ කෙනෙකු එලෙස ප්‍රසිද්ධියේ හඬා වැටීම 2018ට පෙර කිසිදු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින් දැක තිබුණේ නැත. තරග තහනමක් හිමි වූ ඒ මොහොත ස්ටීවන් ස්මිත් නම් වූ ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයාව කෙතරම් පොළොවට සමතලා කළේ ද යන්න එම මාධ්‍ය සාකච්ඡාව පුරාම ගැබ්වී තිබුණි.

ක්‍රිකට් ප්‍රේමය පැත්තෙන් ද එය සංවේදී ය. ස්මිත් යනු, කණ්ඩායමට කැඳවූ නිසා පමණක් ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙකු නොවේ. මුලින්ම පන්දු  යවන්නෙකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වූ ස්මිත්, පසුව සම්පූර්ණයෙන්ම පිතිකරුවෙකු වූ අතර තරග තහනම හිමි වන විට ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය ලකුණු 60කටත් ඉහළින් තිබුණි. මේ යුගයේ ඉහළම ටෙස්ට් ලකුණු සාමාන්‍යය වූයේ එයයි. විකාර රූපී පිතිකරණ විලාශයක් සහිතව ඔහු විසින් ලකුණු රැස්කරන ආකාරය නරඹන්නට ප්‍රිය විය. එමෙන්ම ඔහු පිටියේ විශිෂ්ට පන්දු රකින්නෙකි. ක්‍රිකට් ක්‍රීඩාව විඳින්නෙකු නොවේ නම්, ක්‍රීඩකයෙකුට එලෙස පන්දු රකින්නට නොහැකිය. ඉදින් ක්‍රිකට් රස විඳින එවැනි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් වසරක් උදුරාගැනීම නිකරුණේ සිදු වූයේ නම් එය අපරාධයකි.

ඔහු විශිෂ්ට පන්දු රකින්නෙකි.

එහෙත් ඔහු වරදක් කළේය. ඊට දඬුවම් ලැබිය යුතුව තිබුණි. සංවේදීභාවය කෙසේ වෙතත් නීතිය සියල්ලන්ටම එකසේ ක්‍රියාත්මක වීම සිදු විය යුතුමය. වසරක් ගත විය. ඔහු 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් විය. එහෙත් කිසිවෙකු ඔහුට විශේෂ සැලකිල්ලක් හෝ නොසැලකිල්ලක් දැක්වූයේ නැත. එක්දින ක්‍රිකට් මේ සිද්ධියෙහි ලා වැදගත්ම නැත. ඔහුව ක්‍රිකට් පිටියෙන් නෙරපූයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක දී සිදු වූ වරදක් නිසාවෙනි. 

වසරක දීර්ඝ නැවතුමකින් පසු ස්මිත්ගේ පළමු ටෙස්ට් පුනරාගමනය සිදු වන්නේ ඉතිහාසයේ සම්භාවනීයම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර දීයි. ඒ 2019 අළු බඳුන ක්‍රිකට් තරගාවලියයි. 2019 අගෝස්තු පළමුවැනිදා, වසරකට පසුව ඔහු පිටියට පිවිසෙන විට ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ දෑ වෙනස් වී තිබුණි. එංගලන්තය එක්දින ලෝක කුසලානයක් ජයගෙන තිබුණි. ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයක් සඳහා ලෝක ක්‍රිකට් ප්‍රජාව සූදානම්ව තිබුණි. ටෙස්ට් නිල ජර්සිවලට අංක ඇතුළත්ව තිබුණි. ටිම් පේන්, ඕස්ට්‍රේලියානු නායකත්වය හොබවමින් තිබුණි. ජස්ටින් ලැන්ගර් ඕස්ට්‍රේලියානු පුහුණුකරු වී තිබුණි. එහෙත් එක් දෙයක් නොවෙනස් විය. ඒ ස්මිත් හට ලැබුණු උසුළු විසුළු ය.

ක්‍රීඩා පිටිය උසුළු විසුළු වලින් ගහන විය.

අළු බඳුන තරගවලියේ පළමු දිනයේ දී ම “එංගලන්ත බාමි-ආමි” ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණේ වැලි කඩදාසි අතැතිවය. 2018 පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනාම එම තරගයට ක්‍රීඩා කිරීම ඊට හේතුවයි. ඊට අමතරව ස්මිත් හඬන ආකාරයේ මුහුණු පැලඳ සිටි ප්‍රේක්ෂකයන් ද පිටිය වටා සිටියේය. ‘අළු බඳුනේ මානසික සංග්‍රාමය’ පළමු මිනිත්තුවේ සිටම ක්‍රියාකාරී විය.

ඇතැම් විට එම පීඩනය අනෙක් වරදකරුවන් දෙදෙනා වූ ඩේවිඩ් වෝනර් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට දැනෙන්නට ඇත. ඔවුන් දෙදෙනා ඇතුළුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 112 දී දැවී තිබුණි. එහෙත් ස්ටීවන් ස්මිත් හට බේරාගන්නට ගනුදෙනුවක් තිබුණි. ඔහු දැවී යාම ප්‍රතික්ෂේප කළේය. දුරකථන අංකයක් මෙන් වූ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කණපිට පෙරලූ ස්මිත්, ට්‍රාවිස් හෙඩ් සමඟින් එක්වී ලකුණු 64ක සබඳතාවයකුත්, පීටර් සිඩ්ල් සමඟින් එක්වී ලකුණු 88ක සබඳතාවයකුත් පිහිටුවීය. නවවැනි කඩුල්ල ලෙස සිඩ්ල් දැවී යන විට ලකුණු තත්වය 210කි. 

එතැන් සිට වැලි කඩදාසි ගෙන ආ ප්‍රේක්ෂකයන්ට ඒවා තමන්ගේ කැමති තැනක උලාගන්නට සිදුවන අයුරින් ස්මිත් එංගලන්ත පන්දු යවන්නන් ඉලක්ක කොට ප්‍රති ප්‍රහාරයක් දියත් කළේය. දසවැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු 74ක සබඳතාවයක් ගොඩනගනු වස් ඔහු පන්දු 54ක් තුළ ලකුණු 59ක් රැස්කළේය. ස්මිත් දැවී ගියේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 284 දක්වාම ගෙන ගොස් ය. ස්ටීවන් ස්මිත්, වසරකට පසු පුනරාගමනයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 144කි.

ඔහු “ස්ටීවන් ස්මිත්” ය.

උසුළු විසුළු ඉන් නැවතිණි. එතෙක් උසුළු විසුළු කරමින් සිටි සියලු දෙනාටම නැරඹිය හැකි පන්නයේ ශ්‍රේෂ්ඨ ඉනිමක් ස්ටීවන් ස්මිත් විසින් ක්‍රීඩා කෙරිණි. එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඩේවිඩ් වෝනර් විසින් සිදු කළ ආකාරයෙන්ම ඔහු ද ගොඩනැගෙමින් සිටියි.

“මම දැන් ඉන්න තැන සිටීම ගැන මම කෘතඥ වෙනවා. මම ආදරය කරන දෙය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීම ගැන.” අළුබඳුන තරගාවලියේ පළමු දිනයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ස්මිත් කීවේය.

Video – පන්දු සීම්කරණයේ සුවිශේෂී සලකුණ – Glenn McGrath

ග්ලෙන් මැක්ග්‍රා නම් ශ්‍රේෂ්ඨ වේගපන්දු යවන්නාව ………

“මට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරලා මිනිසුන්ට ආඩම්බරයක් ගේන්න ඕන.” ඔහු තවදුරටත් කීවේය.

පන්දුව පළුදු කිරීමේ වැලි කඩදාසි කුමන්ත්‍රණය කළ තුන්කට්ටුව විසින් ඕස්ට්‍රේලියානුවන්ගේ ටෙස්ට් ක්‍රිකට් ආඩම්බරය බිඳ දැමූ බව සැබෑය. එහෙත් මේ ඔවුන් විසින් ඒ බිඳ දැමූ ආඩම්බරය යළි ගොඩනගන යුගයයි. උසුළු විසුළු දැන් නැවතිය යුතුම ය. මේ අප නරඹමින් සිටින්නේ යුගයේ පෙරගමන්කාර පිතිකරුවෙකුගේ දස්කම් ය. අප ඔහුව රසවිඳිය යුතුය. මන්ද කියතොත්, මේ ලියැවෙන්නේ අප අනාගතයේ දී රස කර ලියන – කියන ක්‍රිකට් ඉතිහාසය වන බැවිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<