කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

1993
We want Kusal Mendis to play for another ten years

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සාධාරණීකරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තරුව ලෙස සැලකුණු 22 හැවිරිදි කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ක්‍රීඩාලෝලීන්ගේ ද විරෝධතාවය එල්ල විය. මෙම වසරේ මුල භාගයේ දී ද මෙන්ඩිස් මේ ආකාරයට ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා ඔහුව සංචිතයෙන් ඉවත් නොකර ඔහු හට තවදුරටත් අවස්ථාව ලබා දීමට කටයුතු කළේය.

කුසල් මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මහේලගේ විරෝධය

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට්…

කෙසේ නමුත් තේරීම් කමිටුවේ සභාපති ලැබ්රෝයි, මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින්, ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් අද (06) ප්‍රකාශ කර සිටියේ;

“අපිට ඔහුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න හරි, ඉන්දියාවට ඔහුව අරන් ගිහින් ක්‍රීඩා නොකර නිකං තියන්න හරි ඕන වුනේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඔහුට දේශීය තලය තුළ ක්‍රීඩා කරන්න ඉඩ ලබා දීලා, ඔහු ක්‍රීඩා කරන ආකාරය හදා ගන්න දීලා, නැවතත් ඔහුගේ විශ්වාසය ගොඩනංවගන්න අවස්ථාවක් දෙන්න.”

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ;

“ඔහු ගොඩක් විශ්වාසය තුළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔහුගේ විශ්වාසය මත. ඔහුට ඉහළ දක්‍ෂතා දක්වන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. ඔහු තව ඉනිම් දෙකක් ක්‍රීඩා කරලා, එහි දී අඩු ලකුණු ලබාගෙන, එවිට ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා ඔහුගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමන අවස්ථාවක් හදන්න අපිට ඕනේ නැහැ. ඔහුට තවමත් වයස ඉතිරි වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ඉදිරියේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වෙනවා දකින්න. තවත් අවුරුදු 10කට ඔහු ක්‍රීඩා කිරීම අපිට අවශ්‍යයි.”

එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා කෞෂාල් සිල්වා පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැනි ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම අතිශය වැදගත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීම පුදුමය දනවන කරුණක් විය. පසුගිය මාසයේ දී පාකිස්තාන කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 4 තුළ ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වුවත්, නික් පොතාස් මහතා ඔහුව සාධාරණීකරණය කිරීම නිසා බොහෝ දෙනා අනුමාන කළේ ඔහුව ඉන්දියානු සංචාරය සඳහා ද ඇතුළත් කෙරෙනු ඇති බවයි.   

“අපි හිතන්නෙත් නික් හිතන විදිහටම තමයි. කොහොම වුනත් අවසානයේ දී වැදගත් ක්‍රීඩකයෙක් ලකුණු අතරට එන එක. චරිතය, ආකල්ප, කණ්ඩායම් හැඟීම; මේ හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. නමුත් අපි පිතිකරණයේ දී ඔහුගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා.”

ලැබ්රෝයි පැහැදිලි කර සිටියේය.

ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරග…

ඒ අනුව කෞෂාල්ව ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය හිස්වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ලැබ්රෝයි ප්‍රකාශ කර සිටියේ සදීර සමරවික්‍රම එම හිඩැස පුරවනු ඇති බවයි.

“සදීර අනාගතයේ දී ශ්‍රී ලංකාවට ගොඩක් වැදගත් වෙන ක්‍රීඩකයෙක්. ඔහුව කණ්ඩායමට රැගෙන එන්න හොඳම අවස්ථාව තමයි මේක. මේක තමයි ලෝකේ අංක එකේ ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමේ අභියෝගය බාර ගන්න ඔහුගේ අවස්ථාව. පන්දු යවන්නන් යොමු කරන දුර්වල පන්දුවලට හොඳින් පහර දීලා, පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. ඔහු ක්‍රීඩා කරන ආකාරය ගැන අපි ලොකු පැහැදීමකින් සිටින්නේ.”

එමෙන්ම කණ්ඩායමේ අංක 03 ස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“අංක 3 ස්ථානය සඳහා ඇතුළත් කෙරෙන්නේ ලහිරු තිරිමාන්න හෝ ධනංජය ද සිල්වා. ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ධනංජය ලකුණු අතරට පැමිණීම හොඳ දෙයක්. ඔහුව අනාගතයේ දී ආරම්භක පිතිකරු හෝ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා සලකා බැලෙයි. අපිව ඔහුව මැදපෙළ ක්‍රීඩා කරවීමේ අවශ්‍යතාවයක් නැහැ.”

මීට පෙර පැවති ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය අතරතුර අතේ ආබාධයකට ලක්වූ මැදපෙළ පිතිකරු අසේල ගුණරත්න මේ වන විට එම ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා ඇතත් ඔහුව ද මෙම සංචාරය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කර නැත.

“අසේල මේ වන විට සුවය ලබලා සිටින්නේ. කෙසේ නමුත් ඔහු මාස තුන හමාරක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරලා නැහැ. අපි ලෝකේ හොඳම කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන කොට අපිට අවශ්‍යයි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය උපරිම දක්‍ෂතා අතර සිටීම. සියලු දේවල් හොඳින් වුනොත්, ඔහු එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරයි.”

ලැබ්රෝයි ප්‍රකාශ කළේය.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ දී පැවති පාකිස්තානයට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී දැඩි උණුසුම මධ්‍යයේ වුවද ඉතා හොඳින් පන්දු යැවූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද ඉන්දීය සංචාරය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් කර නැත. මේ පිළිබඳව අදහස් දක්වමින් ලැබ්රෝයි පවසා සිටියේ;

“අපි නුවන් ප්‍රදීප් ගැන සහ ඔහු පසුගිය මාස 18ක කාලයේ දී ක්‍රීඩා කළ තරග පිළිබඳව අධ්‍යයනයක් කළා. අපිට හිතුණ විදිහට ඔහුට මේ විදිහට ඔහුට වැඩි වැඩ කොටසක් දරා ගන්න අමාරුයි. ඔහු ක්‍රීඩා කරන සෑම අවස්ථාවක දීම ඔහු ඔහුගේ උපරිමය ලබා දෙනවා. නමුත් ඔහුගේ ශරීරයට දරා ගන්න පුළුවන් එක ටෙස්ට් තරගයක් පමණයි. ඊට පසුව ඔහුට දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා. ඒ නිසා අපි ඔහුට පීඩනයක් ලබා නොදෙන්න තීරණය කළා. ඒ අනුව ඔහුව ජනවාරි මාසයේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා ද සලකා බැලෙන්නේ නැහැ. මේ කාලය තුළ අපි ඔහුව සලකා බලන්නේ එක්දින තරග සඳහා පමණයි.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <