මැතිව්ස් දරණ මතය ධනාත්මක ද?

1453

ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අනුව මෙවර එංගලන්තයේ දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට “ජයග්‍රහණය දිනා ගැනීමට අඩු සම්භාවිතාවක් ඇති කණ්ඩායමක්” යන ලේබලය හිමි වන බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහළට

ඊයේ (24) නවසීලන්ත කණ්ඩායමට එදිරිව ඩබ්ලින් නුවර දී පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟින්…

2002 වර්ෂයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අසල්වැසි ඉන්දියාව සමඟින් සම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව පැවති තරගාවලි 4න්ම ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ එක් වතාවක් පමණි. ඒ 2013දී එංගලන්තය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වුණු තරගාවලියට සහභාගි වෙමිනි.

මෙවර ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අයත් වන B කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව කුසලානය දිනා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ බොහෝ දෙනා අතර ඇත්තේ අඩු තක්සේරුවක් වුවද, ආත්ම විශ්වාසයකින් යුතුව තරග වැදුනහොත් ශූරයින්ගේ කුසලානය දෝත දැරීමට අවස්ථාවක් ලැබිය හැකි බව මැතිව්ස් කියා සිටියි.

ඔහු පවසන ආකාරයට, “තරගාවලියට එක්වී සිටින හැම කණ්ඩායමක්ම දක්ෂයි, මං හිතන විදිහට පහුගිය මාස කිහිපය තුල දී සෑම අංශයකින්ම අපගේ කඩා වැටීමක් දැක ගන්නට ලැබුණා, අවංකවම කිව්වොත් අපිට කිසිම අවස්ථාවක් හිමි වුනේ නෑ. කොහොම වුනත් අපි “ජයග්‍රහණයට අඩු සම්භාවිතාවක් ඇති කණ්ඩායමක්” ලෙස හෝ තරගාවලියට එක්වීම ගැන සතුටු වෙනවා. අපිට විශ්වාසයක් තිබෙනවා. මේ වෙද්දී අපි තරගාවලියට ඉතාමත් හොඳින් සූදානම් වී අවසන්.”

“ශ්‍රී ලංකාවේ දී සහ එංගලන්තයේ දී ගෙවුනු අවසාන දින කිහිපය ඇත්තටම ඉතාමත්ම හොඳයි. අද (26) පුහුණු තරගයට (ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන) සහභාගි වෙලා ඒකෙන් වැඩි යමක් ලබා ගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. හැම කණ්ඩායමක්ම එක වගේම දක්ෂ නිසා එදා දිනයේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමි වේවි. ඒ එංගලන්තය, ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් විය හැකියි. කිසිම කණ්ඩායමක් අවතක්සේරු කිරීමට නොහැකි, හැමදෙනාටම හොඳ අවස්ථාවක් ඇති මෙම තරගාවලිය අනිවාර්යයෙන්ම ඉතාමත් ආකර්ෂණීය වේවි.”

තවමත් වයස 29ක් වුවත්, වර්තමාන කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයෙකු වන මැතිව්ස් 2014 වර්ෂයේ දී එංගලන්තය 3-2ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය. වෙනදාට වඩා වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව පිළිබඳ මැතිව්ස් සෑහෙන විශ්වාසයක් තබා සිටියි. ඒ කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයින් තම අත්දැකීම්වලින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙනි.

“අපි මූලික දේවල් නිවැරදිව පිළිපැදීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක්. අපි එංගලන්තයේ දී හොඳින් ක්‍රීඩා කරලා තිබෙනවා, විශේෂයෙන්ම 2014දි. ඉතින් අපි නැවතත් උත්සාහ කරන්නෙ ඒ අයුරින් දක්ෂතා අතරට පැමිණීමටයි. කණ්ඩායම බොහෝ දුරට නවක ක්‍රීඩකයින් සහිත, අත්දැකීම් අතින් අඩු කණ්ඩායමක් වුවත් ඒ අතරින් කිහිප දෙනෙක්ම මීට පෙර එංගලන්තයේ දි ක්‍රීඩා කර තිබෙනවා. ඉන් ඕනෑම අයෙක් ඕනෑම අවස්ථාවක දී ක්‍රියාත්මක විය හැකියි. දක්ෂතා සහ කුසලතා රැසකගෙන් සමන්විත කණ්ඩායම එය අවශ්‍ය මොහොතේ දී පෙන්නුම් කිරීමයි වැදගත්ම දේ.”

2015 වර්ෂයෙන් අනතුරුව මුල්වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සඳහා නම් කර ඇති ලසිත් මාලිංග මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක සාධකය බවට පත්වීමට ඉඩ ඇත. මේ වන විට කිසිදු බාධාවකින් තොරව විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන මාලිංග මෙම එක්දින තරගාවලියට එක්වන්නේ සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් යුතුව වන බව ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි. ඒ අනුව 33 හැවිරිදි මාලිංග එක්දින තරග රටාවේ දී ද ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ.

මැතිව්ස් පවසන අන්දමට, “මාලිංගගේ සෞඛ්‍ය තත්වය ඉතාමත් හොඳයි. අපි ඔහුව තරගවලට යොදා ගැනීමට මඟ බලමින් සිටිනවා. මීට දින කිහිපයකට පෙර අපත් සමඟ එකතු වුනු ඔහු තුල තරගාවලිය ගැන ඇත්තේ ලොකු උනන්දුවක්. පසුගිය කාලයේ දී එක්දින තරගවලට සහභාගි වීමට නොහැකි වුවත් ඔහු අයි.පී.එල්. තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් හොඳ රිද්මයක සිටියා. මේ වන විට ඔහු වැඩිදුරටත් පුහුණු වීම් වල යෙදෙමින් සිටිනවා. ඔහුගේත්, අපගේත් මානසික මට්ටම ඉහළ තැනකයි තිබෙන්නේ. අපි හැමෝම දන්නවා ඔහු තරග දිනවන්නෙක් බව, ගෙවුණු වසර රැසක දී ම ඔහු ඒ බව ක්‍රියාවෙන්ම පෙන්නුම් කළා. ඔහු තනිවම තරගයක් අපේ පැත්තට හරවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ නිසයි අපි ඔහු ගැන ඉහළ බලාපොරොත්තුවක් තබා තිබෙන්නේ.”

උපමහාද්වීපික සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් දෙපළ වන ඉන්දු – පකිස්තාන සටනට තරග දෙකකට පෙරාතුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ප්‍රථම තරගයට මුහුණ දීමට සිදුව ඇත්තේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. දින කිහිපයකට පෙර ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූව ද ඉන් දින දෙකක් ගෙවී යද්දී පහසුවෙන් ස්කොට්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයේ කාලගුණ තත්ත්වයන්ට හුරු වී ඇති බව මැතිව්ස්ගේ අදහසයි.

“එය පුහුණු තරගයක් පමණයි. ඒ නිසා අපි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගැන්වූවා. එම තරගයේ දී ගත හැකි හොඳම තීරණය මුලින් පන්දු යැවීම වූවත් මට අවශ්‍ය වූයේ අපේ පිතිකරුවන්ට නැවුම් තණතිල්ලක මෙම කාලගුණ තත්වයන් යටතේ මුලින් පන්දුවට පහර දීමට අවස්ථාවක් ලබා දීමටයි. තරග ප්‍රතිඵලයෙන් අපිට ප්‍රශ්නයක් වුනේ නෑ. ස්කොට්ලන්තය අසරණ වුනු දෙවැනි තරගයේ දී පවා අපට අවශ්‍ය වූයේ පිටියට ගොස් එම දේශගුණ තත්වයන්ට හුරු වීමටයි. මෙම තණතිලිවල හැසිරීම අවබෝධ කර ගැනීම, පන්දුවේ වේගවත් හැසිරීමට මුහුණ දීම මෙන්ම පිටිය මැද යම් කාලයක් ගත කිරීමයි අපේ බලාපොරොත්තුව වුනේ.” මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට