ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් තම නිදහස් අදහස් දැක්වීමට කිසිසේත්ම පසුබට නොවන්නෙකි. පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචනයට ලක්කිරීමෙන් පසුව මාලිංග යම් මාධ්‍යයක් හමුවේ අදහස් දැක්වීමක් කොට තිබිණි.

ශූරයින්ගේ කණ්ඩායම නිකුත් වේ

පසුගිය 18 වැනි දා එංගලන්තයේ ලන්ඩන් නුවන් කෙනින්ටන් ඕවල් පිටියේ දී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ..

පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උණුසුම් ලෙස අදහස් පළකළ දයාසිරි ජයසේකර මහතා කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිසිපරිදි ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ පන්දු රැකීම පහත් මට්ටමකට වැටී ඇති බවයි. මෙහිදී මාතෘකා වූයේ පසුගිය ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පැවති පාකිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් උඩපන්දු ගිලිහීමයි.  

“අපට ක්‍රීඩකයන් වටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් නිසා. අපි ලෝක කුසලාන 5කට ඇවිත් තියෙන්නේ ඒ නිසා. තමන්ගෙ ජනප්‍රියතාව නිසා ක්‍රීඩකයන් පහත් කරලා කියන ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.” මාලිංග කීවේය.

“ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිළව් බෙනේ ඉන්නවා කියලා.මොකද, ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොනවද කියලා. ගිරවට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා ගිරවා දන්නවා බෙනේදී මොකද වෙන්නේ කියලා. ඒකට රිළව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගිහාම වැරදි වෙන්න පුළුවන්. මම දන්නේ නෑ කවුද ඒ කතා කිව්වේ කියන එක. මං ඒවා අහන්න ගියේ නැහැ.”

ක්‍රීඩකයන්ගේ කැපවීම ගැන තමන් සෑම විටම විශ්වාස කරන බව පැවසූ මාලිංග මෙසේද පැවසීය.

“අව්වේ පැය 5, 6 එක දිගට ඉඳලා අපි එක බෝලයක් දාන්න ඒවගේ බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. එළියේ ඉඳලා ලොකු දේවල් කියන්න පුළුවන්. පැය තුනහමාරක් ගහන මැච් එකක තීරණයක් ගන්න තියෙන්නෙ තත්පරේක වගේ කාලයක්. ඒ ගන්න තීරණය වරදින්න පුළුවන්, හරියන්න පුළුවන්. ඒවගේ ලොකු කතා කියන්න කලින් තමන්ට යුතුකම් තියෙනවා, ඒවා ඉෂ්ට කරන්න.”

එමෙන්ම අප සියලු දෙනාම දන්නා පරිදි තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට කර ඇති සේවය පිළිබඳවද ඔහු සිහිපත් කළේය.

“තමන් කරපු දෙයක් ඇඟිල්ල දික්කරලා පෙන්නන්න පුළුවන් තරමට එනවනම් මං සතුටුයි. කවුරු හෝ වේවා මං මේදේ කළා මේ ක්‍රීඩාව වෙනුවෙන් කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා අපි ක්‍රිකට් රැකගන්න නම් ක්‍රීඩකයන් රැකගන්න ඕනේ.”

එය අපි සියලු දෙනාම පිළිගනිමු. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තරම් ඉහළට නැංවීමට ක්‍රීඩකයන් කළ කැපවීම අනිවාර්යයෙන්ම පැසසිය යුතුය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ කෙලින්ම ප්‍රශ්න කිරීමේදී ඔහු කියාසිටියේ මෙවැන්නකි.

“මං බැලුවෙ නම් නැහැ ඇමතිතුමා මොනවද කිව්වෙ කියලා. මේ ක්‍රීඩකයන් හැමදෙනාම හොඳින් දක්ෂතා දක්වලා, තේරීම් කමිටුවක් මඟින්, ක්‍රීඩා අමාත්‍යතුමාගේ අත්සනින් තමයි කණ්ඩායමට එකතුවෙන්නේ. අවසාන අනුමැතිය හම්බෙන්නේ ක්‍රීඩා ඇමතිතුමාගෙන්. එහෙම දෙයක් කියලා තිබුනා නම් ඒකට අවසාන අත්සන ගහන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. එහෙම ගහපු අත්සනකට මෙහෙම කියනව නම් ඒක මුළු රටේම මිනිස්සු ඉස්සරහ විහිළුවක් වේවි.”

ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ විමසීමේදී මාලිංග පැවසුවේ,

“ක්‍රීඩකයන්ට හැකියාව තියෙනවා පුහුණුකරුත් එක්ක කතා කරලා ඒ දේවල් තමන්ට අවශ්‍ය පරිදි කරගන්න. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. කවුරුත් කෑගහපු පලියට මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙන්නේ නැහැ. මේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය මත. දිනපුවහම හැමෝම ෆිට්. පැරදුනහම කවුරුත් ෆිට් නෑ. එහෙම වෙන්න බෑ. තමන්ගේ පිටට වරදක් පැටවෙයි කියන බයට ඒක අනිත් කෙනාව අපහසුතාවයට පත්කිරීමයි ඒ බලාපොරොත්තුව.” යනුවෙනි.

“මේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ක්‍රීඩකයන්ට දක්ෂතා දක්වන්න අවශ්‍ය නම් ඔවුන් ශාරීරික යෝග්‍යතාවය පවත්වගන්නවා අනිවාර්යයෙන්ම. ඒකට කවුරුත් පිටින් කියන දේවල් මේකට ගොඩක් බලපාන්නේ නෑ. මං හිතන්නේ නැහැ කිසිම ක්‍රීඩකයෙකුට ඒ වගේ අපහසුතාවයක් ඇති කියලා.”

“බුද්ධිය කියන දේ වටිනවා වචනෙට වඩා. ඒ.බී. ඩි විලියර්ස් වගේ නෙමෙයි අම්ලා. අම්ලා ලෝකේ අංක එකේ පිතිකරු වුණේ නැද්ද?”

මාලිංග වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

යුධ හමුදා පුහුණුවකට සූදානම් දැයි විමසීමේදී ඔහු කියාසිටියේ යුද්ධය නිමාවී ඇති බැවින් දැන් එවැන්නක් අවශ්‍ය නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය වන්නේ කෙසේද? ක්‍රිකට්ලෝලී අපි සියලුදෙනාම බලාසිටිමු.

දර්ශන අනුග්‍රහය – හිරු මාධ්‍ය ජාලය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<