කුසල් ජනිත්ට දුන් වැරදි වාර්තාවට කෝටි තුන හමාරක වන්දියක්

569
Kusal & Thilanga

අසත්‍ය තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් කුසල් ජනිත්ට පනවා තිබූ තරග තහනම වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) එකග වී තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අනාවරණ කළේ පසුගියදා අවසන් වූ ජගත් ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී මෙම තිරණයට එලඹි බවයි.

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත්ගෙන් ලබාගත් අහඹු මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක සංඝටකයක් අඩංගු බව පවසමින් පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුට තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා ලදි.

එමනිසා ලෝක කුසලාන T-20 තරගාවලිය ඇතුළු තරග රැසක් කුසලට අහිමි වෙද්දී ඔහුගේ පුරප්පාඩුව ශ්‍රී ලංකා කණ්ඩායමටද විශාල පාඩුවක් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර නීතිඥ සමාගමක සහය ඇතිව සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසු කුසල්ගේ නිර්දෝෂී භාවය තහවුරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට පනවා තිබූ තහනම ඉවත් කළේ කටාර් රාජ්‍ය යේ පිහිටි තහනම් උත්තේජක පරීක්ෂණය සිදුකළ රසායනාගාරයේ වාර්තාව දෝස සහගත බව පවසමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම කුසල් ජනිත්ට පෞද්ගලිකව ද දැරිමට සිදුවූ නීතිඥ සහ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු වන රුපියල් කෝටි තුනහමාරකට (රු 35,000,000) ආසන්න මුදලක් නැවත ලබාදීමට පසුගියදා අවසන් වූ ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී එකඟතාව පළ වී තිබෙනවා.

අදාළ තහනම් උත්තේජක පරික්ෂණය සිදුකළ රසායනාගාරය ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ (WADA) පිළිගත් එකක් බැවින් එම ආයතනයෙන් මෙම මුදල ක්‍රිකට් කවුන්සිලය හරහා ශ්‍රී ලංකාවට ලැබිමට නියමිතයි.

ඊට අමතරව කුසල් ජනිත්ගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබා ගැනිමට ද කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසා සිටියේය.

මේ අතර, කුසල්ගේ තහනම් උත්තේජක පරීක්ෂණය සිදුකළ කටාර් රාජ්‍යයේ පිහිටි රසායනාගාරය ඉදිරියේදී කිසිදු පරීක්ෂණයක්  සඳහා යොදා නොගන්නට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය (WADA) තීරණය කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවට?

මැලේසියාවේ පිහිටි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය ශ්‍රී ලංකාවට ගෙන එන්නට විධායක කමිටුවේ ඒකමතික අනුමැතිය හිමිවූ බව මේ මාධ්‍ය සාකච්ඡාවේ දී තිලංග සුමතිපාල මහතා පැවසීය. ලිහිල් බදු ප්‍රතිපත්ති හේතුවෙන් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයුම් කටයුතු සිදුකෙරුණේ මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල් වලදීයි. නමුත් මුදල් අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡා 3කින් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙරට සිදුකරන කටයුතු වෙනුවෙන් බදු සහනයක් ලබා ගැනීමට හැකිවූ බවත සුමතිපාල මහතා වැඩිදුරටත් පවසන ලදි.

විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු මෙම තීරණයට, අගෝස්තු මස 21 වැනිදා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීමේ අනුමැතියද ලැබුණු පසු අවම වශයෙන් වසර 10ක කාලයක් සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට හැකි වනු ඇත.

දඹුල්ල ක්‍රීඩාංගනයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීම

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන්කර ඇති බව තිලංග සුමතිපාල මහතා අද පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියා. ඒ සඳහා නව විදුලි බුබුළු සවි කිරීම සහ නවීකරණ කටයුතු සඳහා ටෙන්ඩරය හිමි කරගෙන තිබෙන්නේ ඩිමෝ (dimo) ආයතනයයි.

සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ අගෝස්තු 21 වැනිදා වනවිට මෙම නවීකරණ කටයුතු අවසන් කළ යුතු බවයි. මේ මස අගදී මෙරට සංචාරයකට එක්වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 3වන එක්දින ක්‍රිකට් තරගය අගෝස්තු 28 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

කාණ්ඩ දෙකක් යටතේ ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට විරෝධය

ජගත් ක්‍රිකට් කවුන්සිලය ඉදිරිපත් කළ, කාණ්ඩ 2ක් යටතේ ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමේ යෝජනාවට (two-tier Test structure) විරෝධය පළකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී අනාවරණ කළා. මේ යෝජිත ක්‍රමය අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 1 සිට 7 දක්වා කණ්ඩායම් පළමු කාණ්ඩය යටතේද, 8 සිට 10 දක්වා කණ්ඩායම් 3 සහ තවත් කණ්ඩායම් 2ක් දෙවන කාණ්ඩය යටතේ ද වසර 2ක කාලයක් පුරා තරග වැදීමට නියමිතයි.

එම කාලය තුළ අදාළ කාණ්ඩ වලට අදාළ කණ්ඩායම් පමණක් තරග වදින අතර වසර 2 අවසානයේ පළමු කාණ්ඩයේ පහලම කණ්ඩායම දෙවන කාණ්ඩයටත්, දෙවන කාණ්ඩයේ ඉහලම කණ්ඩායම පළමු කාණ්ඩයටත් හුවමාරු වීම හෝ, අදාළ කණ්ඩායම් දෙක අතර තරගයකින් පළමු කාණ්ඩයට සුදුස්සන් තේරීම නව යෝජනාවේ සඳහන් ක්‍රමවේදය වේ

කෙසේ වෙතත් මෙම ක්‍රමයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අගතියක් මිස යහපතක් නොවන බැවින් ඊට විරුද්ධ වන බවත්, ඒ වෙනුවට දිනකට පන්දුවාර 100ක් බැගින් වූ දින හතරේ දිවා රාත්‍රී ටෙස්ට් තරග ප්‍රවර්ධනයට අවධානය යොමු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය බවයි සුමතිපාල මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ජගත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 7 වන ස්ථානයේ පසුවනවා.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට