දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

109

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ. නවසීලන්තයේ බැරට් සොහොයුරන් තිදෙනාම ක්‍රීඩා කළේ එක් ජාත්‍යන්තර කණ්ඩායමක ය. 

එහෙත් සැමෝවාහි තුයිලඟි සොහොයුරන් ක්‍රීඩා කරන්නේ දෙරටක ය. එනම් සැමෝවා සහ එංගලන්තය වෙනුවෙන්ය. 1988 සිට 2001 දක්වා ටොංගානු රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කළ ෆෙආඕ වුනිපෝලාගේ පුතානෝලා දෙදෙනා වන මාකෝ වුනිපෝලා සහ බිලී වුනිපෝලා ක්‍රීඩා කරන්නේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙනි. මේ දෙදෙනා දකුණු අර්ධ ගෝලයේ සිට උතුරු අර්ධ ගෝලයට ගියේ කෙසේ ?

ෆෙ’ආඕ වුනිපෝලා

ඔවුන්ගේ පියා, ෆෙආඕ වුනිපෝලා, රග්බි උන්මාදයෙන් පෙළෙන ටොංගා රාජ්‍යයේ හිටපු රග්බි නායකයෙකි. 1995 සහ 1999 රග්බි ලෝක කුසලාන තරගාවලි වලදී ටොංගා කණ්ඩායම නියෝජනය කළ ඔහු 1999 දී වේල්සය බලා ගොස් සිය පුතුන් දෙදෙනාව හදා වඩා ගත්තේ එහි දී ය. රග්බි ක්‍රීඩකයෙකු වශයෙන් ලොව වටා කණ්ඩායම්වලට සංචාරය කළ ඔහුට තම දරුවන් සමඟින් ටොංගා රාජ්‍යයට වඩා ජීවන තත්වයෙන් උසස් රටක් වෙත සංක්‍රමණය වීමේ සිහිනය මෙන්ම අවස්ථාව ද එක ලෙස තිබුණි. 

ෆෙආඕ වුනිපෝලාගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් මාකෝ වුනිපෝලා උපන්නේ නවසීලන්තයේ දී ය. ඔහුගේ බාල සොහොයුරා, බිලී වුනිපෝලා උපන්නේ ඕස්ට්‍රේලියාවේ දී ය. මේ දෙදෙනාම කැටුව 1999 වසරේ දී වේල්සයේ පොන්ටිපූල් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ෆෙආඕ ගිය පසු මේ සිද්ධි දාමයේම වාසිය සැලසෙන්නේ එංගලන්තයට ය.

ඕනෑම රග්බි කණ්ඩායමක් තම කණ්ඩායමට ටොංගා, සැමෝවා, ෆීජි ආදී පොලිනීසියානු ජන කොට්ඨාසවලට අයත් ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. රණකාමී ජන කොට්ඨාසයකින් පැවත එන ඔවුන්ගේ විශිෂ්ට රග්බි හැකියාවන් ඊට හේතුවයි. ඔවුන් තුළ ඇති රග්බි උන්මාදය කෙතරම් ද කියතොත්, රග්බි ක්‍රීඩා නොකරන ටොංගානු තරුණයෙකුට සමාජය තුළ එතරම් පිළිගැනීමක් නැත. පාසල් මට්ටමේ දී හෝ රග්බි ක්‍රීඩා නොකළ ටොංගානු තරුණයෙකු සොයා ගැනීම එතරම් පහසු නැත.

ඔවුන් රග්බි පිටියට රැගෙන එන්නේ විශේෂ දස්කම් ය. උදාහරණයක් ලෙස සුදු ජාතික අඩි 6ක් උස කිලෝ ග්‍රෑම් 100ක් බර මිනිසෙකුට ධාවනය කළ හැකි සහ එහා මෙහා චලනය විය හැකි වේගයත්, එම උස සහ බරම සහිත අප පෙර කියූ පොලිනීසියානු මිනිසෙකුට ධාවනය කළ හැකි වේගයත් පුදුමාකාර අයුරින් වෙනස් ය. එමෙන්ම ඔවුන්ගේ දෙපා සමබරතාව අතිශයින්ම ඉහළ ය. ඕනෑම තාක්ෂණික වශයෙන් ප්‍රබල සහ ශාරීරික වශයෙන් විශාල ක්‍රීඩකයන් හමුවේ ටොංගානු ඉදිරිපෙළ ක්‍රීඩකයන් දක්වන දස්කම් ඔබ දැක ඇති. මේ සියල්ලටත් වඩා, ඕනෑම මොහොතක යුධ ශිල්ප දැක්වීමට පොලිනීසියානුවන්ට ඇති මානසික සූදානම ඔවුන්ව අනෙකුත් රග්බි ක්‍රීඩකයන් අතරින් මඳක් ඔසවා තබයි. මෙය නූතන රග්බි ක්‍රීඩාව තුළ පර්යේෂණය කොට තහවුරු කරන ලද සත්‍යයකි.

redbull.com – ජොනා ලෝමු

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ජොනා ලෝමු, මලකායි ෆෙකිටෝවා, ඔෆා ටුඅන්ගෆාසි, ෂැනන් ෆ්‍රිස්ල් වැනි ක්‍රීඩකයන් ද, වේල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ටෝබි ෆලෙටාඕ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රීඩා කළ ටනිඑලා ටුපොවු, ජපාන කණ්ඩායමේ අමනකි මාෆි ද ඒ ඒ කණ්ඩායම් වලට එක්කර ගන්නා ලද්දේ මේ සුවිශේෂී හැකියාවන් නිසාය.

එංගලන්තය ද මේ ගැන විපරමින් පසුවූ අවධියක මාකෝ වුනිපෝලා සහ බිලී වුනිපෝලා එංගලන්ත යොවුන් මට්ටමේ රග්බි ක්‍රීඩා කරමින් සිටියේ ඔවුන්ට ටොංගා ජාතිකයන්ට තිබෙන රග්බි උන්මාදය තිබූ නිසාවෙනි.

මගේ තාත්තගේ පවුලේ හැමෝම රග්බි ගහලා තියෙනවා. ඔහුගේ සහෝදරයෝ ටොංගා කණ්ඩායමට සෙල්ලම් කරා. ඔහුගේ තාත්තා, මගේ සීයා, සීයගේ තාත්තා… මේ හැමෝම ටොංගා වලට සෙල්ලම් කරා.” වත්මන් එංගලන්ත ප්‍රොප් ක්‍රීඩක, වැඩිමහල් සොයුරු මාකෝ කියයි.

TheSun – මාකෝ වුනිපෝලා

ඔවුන් එංගලන්තයට පැමිණි පසුද ෆෙආඕ තම දරුවන් රග්බි ක්‍රීඩා කිරීම ගැන එතරම් සතුටු වූයේ නැත. මුහුදින් වට වූ සංස්කෘතික රාජ්‍යයක උපන් ඔහු තම දරුවන් කෙරෙහි සැකසුවේ ද පියෙකු විසින් දැක්විය යුතු වූ ආකාරයේම පිටතින් දැඩි, ඇතුළතින් ආදරණීය වැඩපිළිවෙළකි. එබැවින් ඔහු විටෙක සෑහෙන දරදඬු විය.

මම කියන්නේ නෑ එයා නීතිකාරයෙක් කියලා. ඒත් එයා අපිව හොඳ තැනක තියන අදහසින් දැඩිව හිටපු කෙනෙක්. අපිට දැන් තමයි ඒක තේරෙන්නේ. දැන් ඒ ගැන විහිලු කරන්නත් පුළුවන්. ඒත් ඒ කාලේ ඒක ඒක එච්චර විනෝදාත්මක වුනේ නෑ.” වත්මන් එංගලන්ත අංක 8 ක්‍රීඩක බිලී වුනිපෝලා තම පියා ගැන මතකය අවධි කරන්නේ එසේ ය.

එක තරගයක් මෝඩ විදිහට ක්‍රීඩා කරලා ගෙදර එන ගමන් මමයි අයියයි කාර් එකේ පිටිපස්සේ ඉඳගෙන හොදිත් එක්ක චිප්ස් කකා, හිනාවෙවී විහිලු කර කර හිටියේ. ඕකට තාත්තට තරහ ගියා. ඔහු කාර් එක නවත්තලා අපට ගෙදර දුවන්න කිව්වා. වේගයෙන් නොවුනත් අපි දුව දුව ඉද්දී මගේ සහෝදරයා (මාකෝ) ඇඬුවා. එයා සාමාන්‍යයෙන් ශක්තිමත් සහ තරහ යන කෙනෙක්. ඒත් මම එයත් එක්ක ඉඳලා දිනපු එකම දේ තමයි අඬපු නැති එක. මම තාත්තට බයේ දිව්වත් ඇඬුවේ නෑ.” බිලී විනෝදයෙන් පවසන්නේ ඔහු කියූ පරිදිම එය එකල විනෝදයක් නොවූ බව අපට සිහිකරමිනි.

thenational.ae – බිලී වුනිපෝලා

අපි උදේ නැගිටින කොට තාත්තා වැඩට යන ගමන් හරි පුහුණුවීම් වලට යන ගමන් හරි ඉඳලා කිව්වොත් ඉස්කෝලෙන් පස්සේ හවස අපි ට්‍රේනින් යමුකියලා, ඉස්කෝලේ ගිය වෙලාවේ ඉඳන් මම ඉන්නේ බයෙන්. ඒක හැමවෙලේම මගේ ඔලුව පිටිපස්සේ තියෙනවා. ඉතින් ඒක ඒතරම් ලස්සන වුනේ නෑ. ගෙදර ඇවිත් මම හිතනවා එයාට අමතක වෙලා ඇති කියලා. ඒත් නෑ, අපේ ගෙදර තිබුණේ කඳු මැද බ්ලොක් එකක. ඉතින් මම ඒක වටේ නැගලා ආයේ බහිනවා. කැමති වුනත් නැති වුනත්.” මාකෝ එසේ කියයි. පියාගේ ප්‍රේමය එවැන්නකි. බැලු බැල්මට නොපෙනෙන්නකි. එහෙත් ඔහු සියල්ල කරන්නේ දිගු කාලීන දැක්මක් ඇතිවය. එය නොතේරීම යෞවන මදයෙන් මත්වූ කාලයේ දී නොතේරෙන්නකි.

එක ළඟ වයසේ ඉන්න සහෝදරයෝ දෙන්නෙක් නිසා අපි දෙන්නා හරි එකතුයි. ඒවගේම අපි ගොඩක් රණ්ඩු වෙලා තියෙනවා. මං හිතන්නේ අපේ අම්මට වැඩියෙන්ම කරදරයක් වුනේ ඒක තමයි. වැඩියෙන්ම බැනුම් ඇහුවේ අම්මගෙන් තමයි. එයත් එක්ක ගොඩක් වාද කරලා තියෙනවා. අපි වයසින් වැඩෙන කොට එයාට හිතෙන්න ඇති අපරාදේ නිකන් කෑගහන්නේ කියලා.” මාකෝ සිය මව ද සිහි කිරීමට අමතක නොකළේය. සංස්කෘතික වශයෙන් පෝෂණය වූ ජන කොට්ඨාසයක දෙමාපියන් දරුවන්ට දැක්විය යුතු ආකාරයේම ආදරයක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ඔවුනට ලැබුණි. ඊට ප්‍රතිවිරුද්ධ ආකල්ප ඔවුන් දෙදෙනාගෙන් දෙමාපියන් වෙත එල්ල වී ඇත. කුඩා කාලයේ දී දරුවන්ගේ දැනීම බාල බැවින් එය සාමාන්‍ය ය. එහෙත් අද ඔවුන් ඒ දෙමාපියන්ව සිහිකරන්නේ ගෞරවයෙනි.

“(සිනාසෙමින්) මල්ලියි මමයි රණ්ඩු වෙද්දී සමහර වෙලාවට අම්මගේ සද්දේ ඇහෙද්දී අපි නවත්තන වෙලාවලුත් තිබුණා. කාලේ ගතවෙද්දී අපිට තේරුණා අපි කරන්න ඕන දේවල්. අද අපි මෙතෙන්ට එන්න ඒවා ගොඩක් උදව් වුනා.” මාකෝ තවදුරටත් බාල දරුවෙකු නොව, දැන් ඔහු 28 හැවිරිදි ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයෙකි.

2012 දී මාකෝ වුනිපෝලා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් රග්බි වරම් දිනා ගත්තේය. ඉන් වසරකට පසුව ඔහුගේ සොයුරු බිලී ටෙස්ට් රග්බි වරම් දිනා ගත්තේය. ටොංගා රාජ්‍යයෙන් පැවත එන රග්බි පරපුරක් එංගලන්තය තුළ පැලපදියම් කිරීමට ද ඔවුන් සමත් විය. තවදුරටත් වුනිපෝලා නාමය ටොංගා රාජ්‍යයට පමණක් අයත් එකක් නොවේ.

අද ඔවුන් පැමිණ ඇති තැන ගැන කිවහොත් ඔවුන් දෙදෙනා එංගලන්ත රග්බි කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් දෙදෙනෙකි. එමෙන්ම තීරණාත්මක ක්‍රීඩකයන් දෙදෙනෙකි. ස්ක්‍රම් අවස්ථාවෙහි ප්‍රබලයන් දෙදෙනෙකි. 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් යුගලයකි. මේ සියල්ලටම වඩා සිය පියාණන්ගේ නාමය පැවති මට්ටමටත් වඩා හොඳින් ඔප මට්ටම් කළ ආඩම්බර පුතුන් දෙදෙනෙකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<