ආවරණ මගහැරීමේ කලාකරුවා – මැක්සිම් මිහයිලොව්

139

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම ලකුණු රැස් කරන්නා ඔහුය. මීටර් 2කට වැඩි උසක් පමණක් නොව උසට සරිලන විශාල ශරීර ප්‍රමාණයක් ද හිමි ඔහුගේ පහරවල් ගොඩ ගැනීම නම් එතරම් පහසු කාර්යයක් නොවේ.  

උස පහරේ අකුණු සැරය – වොලස්

ලොව දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයන් අතර ඉදිරියෙන්ම………

පන්දුව තමා වෙත පැමිණෙන ආකාරය හොඳින් දර්ශනය වන අවස්ථාවල දී පවා ඔහු එල්ල කරන පහරවල් ගොඩ ගැනීමට බොහෝ ක්‍රීඩකයන් අසමත් වන්නේ එම පහරවල් තුළ රැඳී ඇති ජවය හේතුවෙනි. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ සිව් වැන්න වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය.

මැක්සිම් මිහයිලොව් (Maksim Mikhaylov)

මිහයිලොව් ප්‍රතිවාදී ආවරණ මගහැරීමෙහි අතිදක්ෂයෙකි. බොහෝ විට ඔහු එල්ල කරන පහරවල් ප්‍රතිවාදී ආවරණ යොමුවී ඇති දිශාවට හාත්පසින්ම වෙනස් දිශාවකට ඇදී යන්නේ ප්‍රතිවාදී පන්දු ආවරණය කරන ක්‍රීඩකයන් පමණක් නොව පන්දු ගොඩ ගන්නා ක්‍රීඩකයන් ද මවිතයට පත් කරවමිනි. මිහයිලොව්ගේ ක්‍රීඩා සමාජය වන සෙනිට් කසාන් කණ්ඩායමේ පුහුණුකරු ඇලෙක්නෝ විසින් වරෙක ඔහුව “රත් වූ පිහිය” (The Hot Knife) ලෙසින් හැඳින්වූයේ රත් වූ පිහියක් බටර් හරහා යවනවා මෙන් “ඔහු තම පහරවල් ආවරණවලට නොදැනෙන්නට ඒවා අතරින් ඇදී යන්නට සලස්වනවා (Like a hot knife through butter) යනුවෙන් සඳහන් කරමිනි.

නම – මැක්සිම් මිහයිලොව් (Maksim Mikhaylov)

අන්වර්ථ නාමය – මිහයිලොව්  (Maksim), රත් වූ පිහිය (The Hot Knife)

උපත – 1988/03/19

උස – 2.02 m (අඩි 6 අඟල් 8)

බර – 103 kg

ක්‍රීඩා කරන ස්ථානය – ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite Hitter)

කමිස අංකය – අංක 17 / 18

ප්‍රහාරක උස – 360 cm (142 in)

ආවරණ උස -340 cm (134 in)

නියෝජනය කළ රට – රුසියාව

වෙනත් කණ්ඩායම් –

Yaroslavich Yaroslavl – Russia (2003-2010), Zenit Kazan – Russia (2010 – To Date)

ඔහුගේ විශේෂත්වය

මිහයිලොව්ගේ විශේෂත්වය වන්නේ ආවරණවල ස්පර්ශ නොවී ප්‍රතිවාදී පිටිය තුළ පතිත වන්නට පහර එල්ල කිරීමට ඇති හැකියාවයි. පන්දු ඔසවන්නා විසින් ප්‍රතිවාදී ආවරණ අසලටම ඔසවා දෙන පන්දු, ආවරණවල යන්තමින් හෝ ස්පර්ශ නොවන සේ ප්‍රතිවාදී පිටියේ කිසිවෙකුත් නොමැති ස්ථානයකට යොමු කිරීමට මිහයිලොව්  සතුව ඇත්තේ සහජ දක්ෂතාවයකි. ඔහුගේ ඇතැම් පහරවල් අංශක 90 ද ඉක්මවා යන පරිදි හරවා එල්ල කරන ඒවා වන නමුත් එම පහරවල් වල ඇති ජව සම්පන්න බව නම් කිසිදු අඩුවක් නොමැත.

එසේම ප්‍රතිවාදීන් විසින් ද්විත්ව හා ත්‍රිත්ව ආවරණ යොමු කරන අවස්ථාවල දී එම ආවරණවලින් උසින් අඩු හෝ ප්‍රමාද වී යොමුවන ආවරණය තෝරාගෙන එම ස්ථානයෙන් පහර දීමට ද මිහයිලොව්ට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. විශේෂයෙන්ම 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ රුසියාවත් බ්‍රසීලයත් අතර රන් පදක්කම වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේ දී මිහයිලොව්ගේ මෙම හැකියාව වඩාත් කැපී පෙනෙන අයුරින් දැකගන්නට ප්‍රේක්ෂකයන් හට අවස්ථාව හිමි විය.

එහි දී ප්‍රතිවාදී පිටත ප්‍රහාරක දාන්තේ සහ ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක මුරිලෝ දෙදෙනා එක්ව මිහයිලොව්ගේ පහර වළක්වන්නට උත්සාහ කළ බොහෝ අවස්ථාවල දී වඩා හොඳ ආවරණයක් යොමු කළ මුරිලෝගේ ආවරණ මගහරවා දාන්තේගේ ආවරණය අසලින් ඇදී යන ලෙස පහර දෙන්නට ඔහු වග බලාගත්තේ ය.

එම උපක්‍රමය ඉතා සාර්ථක වූ අතර තරගය අවසානයේ මුරිලෝ විසින් සාර්ථක ආවරණ 2ක් යොමු කරන අතරේ දාන්තේ හට එකදු සාර්ථක ආවරණයක් හෝ යොමු කිරීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. එසේම එහි දී  දක්ෂතම ප්‍රහාරකයා සම්මානය මෙන්ම දක්ෂතම ලකුණු රැස් කරන්නා යන සම්මාන ද්විත්වය ද මිහයිලොව් හට හිමිවුනි.

එසේම වෙනත් ප්‍රහාරකයන් මෙන් සෑම අවස්ථාවක දී ම දැඩි ප්‍රහාර එල්ල කිරීම මඟින්ම ලකුණු රැස් කිරිම මිහයිලොව්ගේ ක්‍රීඩා රටාව නොවේ. ඔහු පහර දෙන්නට සැරසෙන විට ප්‍රතිවාදීන් හොඳ ආවරණයක් යෙදුවහොත්, ආවරණය වෙත පහර දෙනවා වෙනුවට ටිප් කිරීමක් මඟින් (පහ දැමීම) පන්දුව ස්ථානගත කර ලකුණු රැස් කිරීමට මිහයිලොව්  දක්ෂයෙකි. මේ නිසාම ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි 6ක දී ම ඔහු දක්ෂතම ලකුණු රැස් කරන්නා ය සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් වී ඇත.

කුඩා කළ දිවිය

1988 වසරේ මාර්තු මස 19 වැනි දින රුසියාවේ, (එවකට සෝවියට් සමූහාණ්ඩුව) ලෙනින්ග්‍රාඩ් නගරයේ උපත ලද මිහයිලොව් වොලිබෝල් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ 1996 වසරේ දී එනම් ඔහුට වයස අවුරුදු 8 පමණ වන අවධියේ දී ය. උපතින්ම හිමිව තිබූ උසත්, ශරීර ශක්තියත්, රුසියානුවන්ට උරුම වූ සටන්කාමී සිතුවිලිත් නිසා කුඩා කළ පටන්ම ආක්‍රමණශීලී ප්‍රහාරකයෙකු ලෙසින් නම් දරන්නට මිහයිලොව්ට හැකියාව ලැබුණි.

මුල් අවධියේ දී පිටත ප්‍රහාරකයෙකු ලෙස ක්‍රීඩා කළත්, දැල අසල ඔසවා දෙන පන්දුවලට ආවරණ මගහරවා පහර එල්ල කිරීමට ඇති හැකියාව නිසාම පසුව ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයෙකු වශයෙන් ක්‍රීඩාවේ නිරතවන්නට ඔහු තීරණය කළේය.

පුද්ගලික දිවිය

31 හැවිරිදි වියේ පසුවන මිහයිලොව් විවාහ වී සිටින්නේ රුසියානු ජාතික කාන්තාවක් වන ඇනස්ටේශියා සමඟින්ය. 2015 වසරේ ජූලි මස 15 වැනිදා ඔවුන් දෙදෙනාට දාව පිරිමි දරුවෙකු උපත ලැබූ අතර ඔහු නමින් නිකිතා ය.

වෘත්තීය දිවිය

මිහයිලොව්  15 හැවිරිදි විය වන විට තම වෘත්තීය දිවියේ ආරම්භය සටහන් කරමින් 2003 වසරේ දී රුසියාවේ යරොස්ලාවිච් යරොස්ලාව් ක්‍රීඩා සමාජය හා එක්වන්නට තීරණය කළේය. පසුව 2005 වසරේ දී රුසියානු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිවූ අතර එම වසරේ දී ඇල්ජීරියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතාවය දිනා ගැනීමට රුසියානු කණ්ඩායම සමත් විය.

ඉන් අනතුරුව 2007 වසරේ දී වයස අවුරුදු 21න් පහළ රුසියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතා තරගාවලියට එක්වූ මිහයිලොව්  එහි දී රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී මිහයිලොව් හට දක්ෂතම පන්දු පිරිනමන්නා සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි විය. ඉන් අනතුරුව වයස අවුරුදු 19න් පහළ හා 21න් පහළ කණ්ඩායම්වල දැක්වූ දක්ෂතා හේතුවෙන් 2008 වසරේ දී ඔහුට රුසියානු ජ්‍යේෂ්ඨ ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය හිමි විය.

ඒ අනුව 2008 වසරේ FIVB ලෝක වොලිබෝල් ලීග් තරගාවලියට සහභාගී වූ රුසියානු කණ්ඩායමේ සාමාජිකත්වය දැරීමට මිහයිලොව් සමත් වූ අතර එහි දී ඔවුන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වූහ. පසුව 2008 වසරේ දී ම ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් රුසියාව නියෝජනය කරමින් සහභාගී වූ මිහයිලොව් එහි දී අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කළේය.

අවසන් පූර්ව තරගයේ දී තරග වට 3-2ක් ලෙස ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හමුවේ පරාජයට වූ රුසියානු කණ්ඩායම ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී ඉතාලි කණ්ඩායම වට 3-0ක් ලෙස පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙය මිහයිලොව්ගේ පළමු ඔලිම්පික් පදක්කමයි.

අනතුරුව 2009 වසරේ ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ දී ලෝකඩ පදක්කමත්, 2010 වසරේ FIVB ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ දී රිදී පදක්කමත්, 2011 FIVB ලෝක වොලිබෝල් ලීග් තරගාවලියේ දී රන් පදක්කමත් ජයග්‍රහණය කරන්නට මිහයිලොව්ගේ සහභාගීත්වයෙන් යුතු රුසියානු කණ්ඩායම සමත් විය.

එහි දී 2010 වසරේ FIVB ලෝක වොලිබෝල් ලීග් තරගාවලිය තුළ දී දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම ලකුණු රැස් කරන්නා යන සම්මාන ද්විත්වය හිමි කර ගැනීමටත් මිහයිලොව් සමත් වූ අතර එම දස්කම් නිසාම රුසියාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයක් වන සෙනිට් කසාන් ක්‍රීඩා සමාජයෙන් ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා කරන ලෙස ආරාධනයක් ඔහු වෙත පිරිනැමුණේ ය. එම ආරාධනය පිළිගත් මිහයිලොව්  2010 වසරේ දී සෙනිට් කසාන් ක්‍රීඩා සමාජය සමඟින් එක්විය.

(සෙනිට් කසාන් කණ්ඩායම සමඟින් මේ වන විට ඔහු 2017 වසරේ ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය සහ 2015 හා 2016 වසරවල එහි අනුශූරතාවයත්, චැම්පියන්ස් කුසලාන රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් ද, රුසියානු ජාතික ශූරතාවයන් 16ක් ද ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.)

2011 වසරේ රුසියානු ජාතික කණ්ඩායම සමඟින් FIVB ලෝක වොලිබෝල් ලීග් තරගාවලියට සහභාගී වූ මිහයිලොව් එහි දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ෂතම පන්දු ආවරණය කරන්නා සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් විය.

ඉන්පසුව 2011 වසරේම පැවති FIVB ලෝක කුසලානයේ දී ද රන් පදක්කම දිනා ගැනීමට ඔහුගේ සාමාජිකත්වයෙන් යුත් රුසියානු කණ්ඩායම සමත් වූ අතර එම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ මිහයිලොව්  විසිනි.

මෙසේ ජයග්‍රහණ රැල්ලක් සමඟින් බොහෝ බලාපොරොත්තු සහිතව 2012 වසරේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ රුසියානු කණ්ඩායම එහි දී අවසන් මහා තරගයේ දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී එම ජයග්‍රහණය වෙනුවෙන් මිහයිලොව්ගෙන් ලැබුණු දායකත්වය ඉතා විශාලය. ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන්ම තරගාවලියේ දක්ෂතම ලකුණු රැස් කරන්නා සහ දක්ෂතම ප්‍රහාරකයා යන සම්මාන ද්විත්වයම මිහයිලොව්ට හිමිවූ අතර ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනය වන ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමේ වාසනාව ඔහුට හිමි විය.

ඉන් අනතුරුව 2013 වසරේ දී ද  FIVB ලෝක වොලිබෝල් ලීග තරගාවලියේ දී රන් පදක්කමත් ජයග්‍රහණය කරන්නට මිහයිලොව්ගේ සහභාගීත්වයෙන් යුතු රුසියානු කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව 2013 සහ 2017 යන වසරවල දී CEV යුරෝපා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාවයන් ජයග්‍රහණය කරන්නට ද ඔවුන් සමත් වූ අතර 2017 වසරේ දී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට මිහයිලොව්  සමත් විය.

2018 වසරේ දී පළමු වරට සංවිධානය කෙරුනු FIVB ජාතීන් අතර ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද රුසියානු කණ්ඩායම සමත් වූ අතර එම තරගාවලියේ දී ද තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ මිහයිලොව් විසිනි. වයස අවුරුදු 30 සම්පූර්ණ කරන විට මිහයිලොව්ගේ ජාතික කණ්ඩායම් දක්ෂතාවය දැක්වුනේ ඔලිම්පික් රන් පදක්කමක්, FIVB ලෝක ලීග් ශූරතා 2ක්, FIVB ලෝක කුසලානයක්, CEV යුරෝපා ශූරතා 2ක්, FIVB ජාතීන් අතර ලෝක ශූරතාවයක්, FIVB ලෝක ලීග් අනුශූරතාවයක්, FIVB ලෝක ලීග් තෙවන ස්ථාන දෙකක් වශයෙනි.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

ඔලිම්පික් ක්‍රීඩා උළෙල

2008 බීජිං නුවර – ලෝකඩ පදක්කම / 2012 ලන්ඩන් – රන් පදක්කම

ලෝක කුසලාන

2011 ජපානය – රන් පදක්කම

ලෝක වොලිබෝල් ලීග් ශූරතාවය

2008 රියෝ ඩි ජෙනෙයිරෝ – ලෝකඩ පදක්කම / 2009 සර්බියාව – ලෝකඩ පදක්කම / 2010 ආර්ජන්ටිනාව – රිදී පදක්කම / 2011 පෝලන්තය – රන් පදක්කම / 2013 ආර්ජන්ටිනාව – රන් පදක්කම

CEV යුරෝපා ශූරතා

2013 පෝලන්තය – රන් පදක්කම / 2017 පෝලන්තය – රන් පදක්කම

FIVB ජාතීන් අතර ලෝක ශූරතා

2018 ප්‍රංශය – රන් පදක්කම

තනි ජයග්‍රහණ

  • 2007 FIVB 21න් පහළ ලෝක ශූරතාවය – දක්ෂතම පිරිනමන්නා
  • 2010 FIVB ලෝක ලීගය – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2010 FIVB ලෝක ලීගය – දක්ෂතම ප්‍රහාරකයා
  • 2010 FIVB ලෝක ශූරතාවය – දක්ෂතම ප්‍රහාරකයා
  • 2011 CEV චැම්පියන්ස් ලීගය – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2011 FIVB ලෝක ලීගය – දක්ෂතම පන්දු ආවරණය කරන්නා
  • 2011 FIVB ලෝක ලීගය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2011 CEV යුරෝපා ශූරතාවය – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2011 CEV යුරෝපා ශූරතාවය – දක්ෂතම ප්‍රහාරකයා
  • 2011 FIVB ලෝක කුසලානය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2011 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2012 CEV ශූරයන්ගේ ලීගය – දක්ෂතම පිරිනමන්නා
  • 2012 CEV ශූරයන්ගේ ලීගය – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල – දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල – දක්ෂතම ප්‍රහාරකයා
  • 2012 මිත්‍රත්වයේ සම්මානය (රුසියානු රජය විසින්)
  • 2014 CEV ශූරයන්ගේ ලීගය – දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2015 CEV ශූරයන්ගේ ලීගය – දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016 CEV ශූරයන්ගේ ලීගය – දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016 පිරිමි යුරොපීය තේරීම් තරගාවලිය – දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2017 CEV ශූරයන්ගේ ලීගය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2017 රුසියානු ශූරතාවය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2017 හර්බර්ට් ජර්සි වැග්නර් අනුස්මරණය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2017 CEV ශූරයන්ගේ ලීගය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2018 CEV ශූරයන්ගේ ලීගය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා
  • 2018 FIVB ජාතීන් අතර ලීගය – තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<