උස පහරේ අකුණු සැරය – වොලස්

වොලිබෝල් පුරාවෘත අංක 3

202

ලොව දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඔහුය. එසේම ඔහුගේ ආවරණයන් හමුවේ පහර එල්ල කර ගැනීමට නොහැකිව අසරණ වූ ප්‍රහාරකයන් ගණන මෙතෙකැයි කියා කිව නොහැක. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ තුන්වැන්න වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය.

වොලිබෝල් රජු – ඉවාන්

ලොව ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ඔහුයි……….

වොලස් ලියනාඩෝ ද සෞසා (Wallace Leandro de Souza)

ප්‍රතිවාදී කණ්ඩායම්වල පිටත ප්‍රහාරකයන් හා ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයන් සමඟ උරෙන් උර ගැටෙමින් ඔවුන්ගේ ප්‍රහාර තම සුවිසල් දෑතින් ආවරණවලට හසුකර ගන්නා වොලස්  සැණින් තම ආරක්ෂක ක්‍රීඩා රටාව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් බවට පත්කරගන්නේ සිය ප්‍රතිවාදීන් පුදුමයට පත් කරවමින්. මේ නිසාම විචාරකයන් වොලස් ව හඳුන්වන්නේ බ්‍රසීල වොලිබෝල් කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය ලෙසයි.

  • නම – වොලස් ලියනාඩෝ ද සෞසා (Wallace Leandro de Souza)
  • අන්වර්ථ නාමයවොලස් (Wallace), සිරස් පැනීමේ රාක්ෂයා (Monster of the Vertical Jump)
  • උපත – 1987/06/26
  • උස – 2.00 m (අඩි 6 අඟල් 7)
  • බර – 87 kg
  • ක්‍රීඩා කරන ස්ථානය – ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක (Opposite Hitter)
  • ප්‍රහාරක උස – 365 cm (144 in)
  • ආවරණ උස -348 cm (137 in)
  • නියෝජනය කළ රට – බ්‍රසීලය

වෙනත් කණ්ඩායම් – 

E.C. Banespa- Brazil (2006-2008), Araçatuba- Brazil (2008-2009), Sada Cruzeiro – Brazil (2009-2016), Funvic Taubaté – Brazil (2016-2018), SESC-RJ – Brazil (2018-To Date

ඔහුගේ විශේෂත්වය

වොලස් අනෙකුත් ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය කරන සියලු ගුණාංග ඔහු සතු වීම නිසායි. ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයෙක් සතු විය යුතු අනිවාර්ය අංගයක් වන උස වොලස් සතු වනවා. ඒ ඔහු උසින් මීටර 2ක් පමණ වන නිසායි. 

එසේම ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයෙක් සතු විය යුතු තවත් සුවිශේෂී ගුණාංගයක් වන හොඳ ආවරණයක් තිබීම යන කාරණාව ද වොලස් සම්පූර්ණ කරන්නේ ලොව හොඳම පන්දු ප්‍රහාර ආවරණය කරන ක්‍රීඩකයන් අතරට තමාගේ නමත් එක් කර ගනිමින්. සෙන්ටි මීරට 348ක් උස ඔහුගේ ආවරණයෙන් ගැලවීම ප්‍රතිවාදීන්ට එතරම් ලෙහෙසි කාර්යයක් නම් නොවේ.

ඒ හැරුණු කොට වේගවත් බව හා අවශ්‍ය වූ විට පන්දු සැකසීමට හැකි වීම යන ගුණාංග ද වොලස් සතු වෙනවා. මේ නිසා විචාරකයන් වොලස්ව හඳුන්වන්නේ ලොව එදා මෙදාතුර පහල වූ විශිෂ්ටතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයෙකු වශයෙන්. 

වොලස්ගේ තවත් විශේෂත්වයක් වන්නේ කෙසේ හෝ ලකුණක් ලබා ගැනීමට ඇති හැකියාවයි. වේගවත් පහර මඟින් පමණක් නොව ප්‍රතිවාදීන් නොමැති ස්ථාන බලා පන්දුව යොමු කිරීම මඟිනුත් ලකුණු රැස් කිරීමට වොලස් දක්ෂයෙක්.

2013 වසර වන තෙක් වොලස්ගේ ක්‍රීඩා රටාව තරමක් ඒකාකාරී එකක් වූ අතර ඔහුගේ සැබෑ දස්කම් පිටතට පැමිණියේ 2013 වසරෙන් පසුව බව නොරහසක්. එසේම වොලස් පසුපස කලාපයේ සිට එල්ල කරන පහරවල් වල සාර්ථකත්වය ද ඉතා ඉහළ වන අතර මෙයට හේතුව වන්නේ ඔහුගේ ඉහළ ඉපිලීමයි. වොලස්ගේ ඉපිලීම ඉතා ඉහළ නිසාවෙන්ම ඔහුට “සිරස් පැනීමේ රාක්ෂයා” (Monster of the Vertical Jump) යන අන්වර්ථ නාමය ද පටබැඳී ඇත.

එසේම වොලස්ගේ ක්‍රීඩා රටාව අධ්‍යයනය කිරීමේ දී ඔහු රැස්කරන ලකුණුවලින් වැඩි ප්‍රමාණයක් සීමා රේඛාවන් ආසන්නයට, එනම් පිටියේ කෙළවරට එල්ල කරමින් ලබා ගන්නා බව පෙනී යයි. 

එසේම පිටියේ ඉදිරිපස කලාපයේ සිටින පන්දු සකසන්නා හෝ වෙනත් ක්‍රීඩකයෙකු විසින් සකසා දෙන පන්දුවලට වඩා පසුපස කලාපයේ සිට ඔසවා දෙන පන්දුවලට පහර එල්ල කිරීම මඟින් ලකුණු රැස් කිරීමට ඇති හැකියාව ඔහුගේ සුවිශේෂීත්වයක් වශයෙන් සඳහන් කළ හැක. වොලස්ගේ ක්‍රීඩා දිවියේ මෑත සමයේ මෙය වැඩි වශයෙන් දක්නට ලැබුණි.

වොලස්ගේ ප්‍රහාර බොහෝවිට එල්ල වන්නේ දැලේ කෙලවරෙන් වීම නිසා දැලේ එක් කෙලවරක සිට පන්දුව ප්‍රතිවාදී පිටියේ කෙලවරකට යොමු කිරීමට උත්සාහ කිරීම වඩා ඵලදායී ය. එවිට පන්දුව ප්‍රතිවාදී ආවරණවල දැවටුනත් එය පිටියෙන් ඉවතට විසිවී යාමේ වැඩි ඉඩකඩක් පවතී. ඒ නිසාම වොලස් මෙම උපක්‍රමය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි

කුඩා කළ දිවිය

වොලස් උපත ලැබූයේ 1987 වසරේ ජුනි මස 26 වැනිදා බ්‍රසීලයේ සන් පවුලෝ හිදී ය. පුංචි වොලස් වඩාත් ප්‍රිය කළ ක්‍රීඩාව වූයේ පාපන්දු ක්‍රීඩාවයි. කුඩා අවධියේ දී වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වීමට හැකියාවක් නොලද ඔහු සැබෑ ලෙසම වොලිබෝල් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දැක්වූයේ 2004 වසරේ දී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 17 කි.

පුද්ගලික දිවිය

වොලස් විවාහ වී සිටින්නේ මරියානා ද සෞසා සමඟින් ය. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. පසුගිය ඔක්තෝබර් 31 දින ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවන දරුවා බිහි කිරීමට සමත් වූවාය. ඒ වෙනුවෙන් වොලස් තම ගිණුමේ සටහනක් තැබූවේ මෙලෙසින් ය.

31/10/2019 – කුමරිය ලෝකයට පැමිණියේ අපට විශාල ප්‍රේමයක් ගෙන ඒම සඳහා ය. සාදරයෙන් පිළිගනිමු මියා (දියණියගේ නම ).. තාත්තාත්, අම්මාත්, අයියාත් ඔයාට ගොඩක් ආදරෙයි !!

වෘත්තීය දිවිය

2007 වසරේ දී වොලස් බ්‍රසීල වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සමඟින් තම පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඒ වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවය දිනා ගැනීමත් සමඟින්ය. එම දස්කමත් සමඟින් ඔහුට බ්‍රසීල සුපිරි ලීගයේ එස්පොර්ටෙ බනෙස්පා ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කිරීමටත්, ඉන්පසුව සාදා කෘසෙයිරෝ කණ්ඩායම නියෝජනය කිරීමටත් අවස්ථාව හිමි විය.

සාදා කෘසෙයිරෝ කණ්ඩායම සමඟින් ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට වොලස් සමත් වූ අතර එම ජයග්‍රහණ අතරට බ්‍රසීල සුපිරි ලීග ශූරතා 4ක්, ක්‍රීඩා සමාජ ලෝක ශූරතා 2ක් හා දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ ශූරතා 3ක් ඇතුළත්ය. බ්‍රසීල සුපිරි ලීගයේ සුපිරි දස්කම් දැක්වීමෙන් පසුව බ්‍රසීල ජාතික ඇතුළත් වීමේ වරම ඔහුට හිමිවීමත් සමඟ වොලස්ගේ ක්‍රීඩා දිවිය නව දිශානතියකට යොමු විය.

බ්‍රසීල ජාතික කණ්ඩායම සමඟින් 2011 වසරේ පෑන් ඇමරිකානු තරගාවලි ශූරතාව ජයග්‍රහණ කිරීම ඔහුගේ පළමු  ජාතික කණ්ඩායම් ජයග්‍රහණයයි. එම වසරේම දකුණු ඇමරිකානු ශූරතාවය දිනා ගැනීමටත් බ්‍රසීල කණ්ඩායම සමත් වූ අතර එම තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් පිදුම් ලැබීමට වොලස් සමත් විය.

ඉන් අනතුරුව 2012 වසරේ ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ද වොලස් හට හිමි විය. එහි දී අවසන් මහා තරගයේ දී රුසියාව හමුවේ පරාජයට පත් වන්නට බ්‍රසීලයට සිදුවීම නිසා රිදී පදක්කමකින් සෑහීමකට පත් වන්නට වොලස්ට සිදු විය. ඉන් අනතුරුව එම වසරේම පැවති FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතා තරඟාවලියේ දී හොඳම පිරිනමන්නාට හිමි සම්මානය දිනා ගැනීමට ද වොලස් සමත් විය.

පසුව 2013 වසරේ දී පිළිවෙළින් ලෝක ලීග අනුශූරතාවයත්, දකුණු ඇමරිකානු ශූරතාවයත්, FIVB ලෝක ග්‍රෑන්ඩ් ශූරයන්ගේ කුසලානයත් දිනා ගැනීමට වොලස්ගේ සාමාජිකත්වයෙන් යුතු බ්‍රසීල කණ්ඩායම සමත් විය. එම FIVB ලෝක ග්‍රෑන්ඩ් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සම්මානයත්, FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනා ගැනීමට වොලස් සමත් වුනේ ලොව පුරා ප්‍රේක්ෂකයන් ගේ හා විචාරකයන් ගේ අවධානය තමා වෙත යොමු කරවා ගනිමිනි.

2014 වසරේ දී පිළිවෙලින් FIVB ලෝක ලීග තරගාවලියේ සහ FIVB ලෝක ශූරතා තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් විය. එම තරගාවලි දෙකෙහි දී ම එතරම් දස්කම් දැක්වීමට වොලස් සමත් වූයේ නැත. වොලස් විසින් ලබා ගත් ඉහළ ජනප්‍රියතාවය හේතුවෙන් ඔහුගේ ක්‍රීඩා රටාවන් ප්‍රතිවාදීන් හොඳින් අධ්‍යයනය කොට තිබීම මෙයට හේතු විය.

කෙසේ නමුත් ඉන්පසුබට නොවූ වොලස් එම වසරේ දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ ශූරතාවලියට පිවිසුනේ තම තරග රටාව වෙනස්ම තලයකට ඔසවා ගනිමිනි. එම තරගාවලිය පුරාවටම ප්‍රේක්ෂකයන් හා විචාරකයන් හට අමතක නොවෙන සිහිවටන රැසක් ලබා දුන් වොලස් තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් විය.

ඉන් නොනැවතුන ඔහු 2014 වසරේ FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සම්මානය දිනා ගැනීමට ද සමත් වූයේ එම වසර මුල දී තමා විවේචනය කළ විචාරකයන් සියලු දෙනා නිහඬ කරවමිනි.

2015 වසර නිහඬව ගත කළ වොලස් තම ක්‍රීඩා දිවියේ අමතක නොවෙන වසර ලෙසින් හඳුන්වන්නේ 2016 වසරයි. නමුත් 2016 වසරේ ආරම්භය එතරම් යහපත් නොවුනේ FIVB ලෝක ලීග් තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට බ්‍රසීලයට සිදුවීම නිසායි. කෙසේ නමුත් එම තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සම්මානය හිමිවුනේ වොලස් හටයි.

අනතුරුව සිය උපන් බිම වන බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ හි පැවති 2016 ඔලිම්පික් තරගාවලිය වොලස් හට ඉතා සුවිශේෂී එකක් වූ අතර එහි දී වොලස් දැක්වූ දස්කම් බ්‍රසීලය රන් පදක්කම වෙත ඔසවා තැබීමට සමත් විය. අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉතාලි කණ්ඩායම සමඟින් උණුසුම් සටනක් දියත් කළ වොලස් ප්‍රතිවාදී ඉතාලි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ඉවාන් සයිට්සෙව් සමඟ කරට කර සටනක නිරත විය. 

ඉවාන්ගේ ජවසම්පන්න පහරවල් කිහිපයක්ම තම ආවරණවලට නතු කරගන්නට වොලස් සමත් වූ අතර වොලස්ගේ ප්‍රහාර හමුවේ ඉවාන් ප්‍රමුඛ ඉතාලි ක්‍රීඩකයන්ට සිදු වූයේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමටය. ප්‍රතිවාදී ආවරණ මඟ හරවමින් එල්ල කළ පහරවල් හේතුවෙන් තරගාවලියේ දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සම්මානය වොලස් දිනා ගැනීමට සමත් වූයේ ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනය වන ඔලිම්පික් රන් පදක්කම ද එම රාත්‍රියේ දී තමා සතු කර ගනිමිනි.

ඉන්පසුව 2017 වසරේ FIVB ලෝක ලීග ශූරතාවයේ අනුශූරතාවය දිනා ගැනීමට වොලස්ගේ සාමාජිකත්වයෙන් යුතු බ්‍රසීල කණ්ඩායම සමත් විය. අනතුරුව එම වසරේ දී ම දකුණු ඇමරිකානු ශූරතාවයත්, FIVB ලෝක ග්‍රෑන්ඩ් ශූරයන්ගේ කුසලානයත් දිනා ගැනීමට බ්‍රසීලය සමත් වූ අතර එම තරගාවලි දෙකෙහිම දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා සම්මානය දිනා ගැනීමට වොලස් සමත් විය.

පසුව 2018 වසරේ දී බ්‍රසීල කණ්ඩායම FIVB ලෝක ශූරතා තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර මෙම ජයග්‍රහණයට අමතරව 2017/2018 වසරේ බ්‍රසීල සුපිරි ලීග් තරගාවලියේ දක්ෂතම ලකුණු රැස් කරන්නා සම්මානය වොලස් හට හිමි විය.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

ඔලිම්පික් ක්‍රීඩා උළෙල 

  • 2012 ලන්ඩන් – රිදී පදක්කම / 2016 රියෝ ඩි ජෙනයිරෝ රන් පදක්කම 

ලෝක ශූරතා

  • 2014 පෝලන්තය – රිදී පදක්කම / 2018 ඉතාලිය – රිදී පදක්කම

ලෝක කුසලාන

  • 2011 ජපානය – ලෝකඩ පදක්කම

ලෝක ග්‍රෑන්ඩ් චැම්පියන්ස් කුසලානය

  • 2013 ජපානය – රන් පදක්කම / 2017 ජපානය – රන් පදක්කම

ලෝක වොලිබෝල් ලීග් ශූරතාවය

  • 2013 මා ඩෙල් ප්ලාටා – රිදී පදක්කම / 2014 ෆ්ලෝරන්ස් – රිදී පදක්කම / 2016 ක්‍රැකෝව් – රිදී පදක්කම / 2017 කුරිටිබා – රිදී පදක්කම

පෑන් ඇමරිකානු ක්‍රීඩා

  • 2011 ග්වඩලජාරා – රන් පදක්කම

දකුණු ඇමරිකානු ශූරතා

  • 2011 කුයිආබා – රන් පදක්කම / 2013 කැබෝ ෆ්‍රියෝ – රන් පදක්කම / 2017 සැන්ටියාගෝ – රන් පදක්කම

තනි ජයග්‍රහණ

  • 2009–10 බ්‍රසීල සුපිරි ලීගය දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2011–12 බ්‍රසීල සුපිරි ලීගය දක්ෂතම ප්‍රහාරකයා
  • 2011 පෑන් ඇමරිකානු ක්‍රීඩා දක්ෂතම ප්‍රහාරකයා
  • 2012 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලිය දක්ෂතම පන්දු පිරිනමන්නා
  • 2013 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලිය වටිනාම ක්‍රීඩකයා
  • 2013 FIVB ලෝක ග්‍රෑන්ඩ් ශූරයන්ගේ කුසලානය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2014 දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ ශූරතාවය වටිනාම ක්‍රීඩකයා
  • 2014 දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජ ශූරතාවය   දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2014 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලිය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016 FIVB ලෝක ලීග තරගාවලිය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016 ඔලිම්පික් උළෙල දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016–17 බ්‍රසීල සුපිරි ලීගය දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2017 FIVB ලෝක ලීග තරගාවලිය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2017 දකුණු ඇමරිකානු ශූරතාවය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2017–18 බ්‍රසීල සුපිරි ලීගය දක්ෂතම ලකුණු රැස් කරන්නා
  • 2019 හර්බර්ට් ජර්සි වැග්නර් අනුස්මරණය – දක්ෂතම පන්දු පිරිනමන්නා

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<