වොලිබෝලය ඉහළටම යැවීමට විශ්ලේෂකයන් අවශ්‍ය කොට තිබේ!

747

ආසියානු පිරිමි අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය අවසන් වුවද ජාතික ක්‍රීඩාවේ බලාපොරොත්තු අවසන් වී නැත. මංගල තරගාවලියේ දී ම ඉරාකයට ශූරතාවයත්, සවුදි අරාබියට අනුශූරතාවත් හිමි විය. තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවුව ද, ඒ පළමු ශූරයන් දෙදෙනාම සතුවූ සම්පතක් රහිතව ය. “විශ්ලේෂක” (Analyst) නම් ඒ සම්පතයි.

ක්‍රීඩාව වෘත්තීමය සහ මූල්‍යමය අතින් ඉහළ යන විට සෑම කණ්ඩායමක්ම පාහේ ජය ගත හැකි උපක්‍රම යොදා ගනියි. පාපන්දු, රග්බි, ක්‍රිකට්, වොලිබෝල් ආදී ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර “විශ්ලේෂකයා” යනු සම්පතක් වන්නේ එබැවිනි. වත්මන් ජාත්‍යන්තර ක්‍රීඩා තලය තුළ දස්කම් වලින් පමණක්ම ජයග්‍රහණ ලැබීම පහසු කටයුත්තක් නොවේ. ප්‍රතිවාදියාගේ වැරදි සහ අඩුපාඩු ගැන විශ්ලේෂණාත්මක අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය ය. ක්‍රීඩකයන්ට ඒ පිළිබඳව මතුපිටින් අවබෝධයක් ඇතත් විශ්ලේෂණය කිරීම සඳහා කාලය ගතකිරීම (වීඩියෝ දර්ශන එක්කාසු කිරීම, විශේෂ සිද්ධීන් මතකයේ තබා ගැනීම, ක්‍රීඩකයන්ගේ රටාවන් නිර්ණය කිරීම) අපහසුය. පුහුණුකරුගේ කාර්යය වන්නේ ක්‍රීඩකයන් පුහුණුකිරීම සහ උපක්‍රම සම්පාදනය කිරීමය. එහෙත් මේ දෙපලටම අවශ්‍ය වීඩියෝ, ලකුණු දත්ත සහ සාක්ෂිමය දත්ත සපයන්නා “විශ්ලේෂක” ය.

පසුගිය දා අවසන් වූ ආසියානු පිරිමි අභියෝගතා කුසලාන වොලිබෝල් තරග මාලාව මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති විශාලතම ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියයි. ආසියානු මට්ටමේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 9 සිට 16 දක්වා කණ්ඩායම් මීට සභාගී විය. දැනට ශ්‍රී ලංකාව ආසියාවේ 13 වැනි ස්ථානය හෙබවූවත් තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාව තෙවැනි තැනට පත්විය. ඒ විශ්ලේෂකයෙකු පමණක් නොව ශාරීරික අභ්‍යාසකයෙකු සහ සම්භාහකයෙකු ද පවා රහිතවයි. එහි දී ඉරාකය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං, මැලේසියාව වැනි රටවල් පිටියට බසින විට සහ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට බසින විට අප දුටු වෙනස්කම් අතරින් ප්‍රධාන එකක් වූයේ අපේ ජාතික කණ්ඩායමට විශ්ලේෂකයෙකු නොමැති වීමයි. මෙහි දී හොංකොං සහ මැලේසියාව ආදී ශ්‍රී ලංකාවට පසුපසින් සිටින කණ්ඩායම්වල පවා විශ්ලේෂකයන් සිටියේය. එහෙත් ශ්‍රී ලාංකිකයන් සතු දස්කම් නිසා ඔවුන් මේ තරගාවලියේ දී 3-0ක් වශයෙන් එම තරග ද ජය ගත්තේය.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ සර්බියානු පුහුණුකරු ඩෙහාන් වුලිසෙවිච් විසින් මේ අවශ්‍යතාවය ගැන කිහිප අවස්ථාවක දී ම සඳහන් කරන ලදි. මූල්‍යමය අතින් ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කෙතරම් ශක්තිමත්දැයි අප නොදන්නාමුත්, විශ්ලේෂකයෙකු යනු අවශ්‍යතාවයක් බව හඳුනා ගැනීම පවා අත්‍යාවශ්‍යව පවතියි.

1991 සහ 2008 යන වසරවල දී සිදු කළ පරීක්ෂණයක දී තහවුරු වූ පරිදි පුහුණුකරුවන්ට මතකයේ පවතින්නේ තරගයක සිදු වූ තීරණාත්මක අවස්ථාවන් වලින් 50%ක් පමණ ය. එමෙන්ම තරග වටයක සිදුවන කෙටි ඒකල සිදුවීම් සාමාන්‍යයක් වශයෙන් 250ක් පමණ ඇත. එවන් තරග වට 3ක සිදුවීම් මතකයේ තබා ගැනීම පුහුණුකරුවෙකුට පහසු නැත. විශ්ලේෂකයාගේ කාර්යභාරය කරළියට පැමිණෙන මොහොත එයයි.

බැලූ බැල්මට කිසිවක් විශ්ලේෂණය කළ නොහැක. ඊට දත්ත අවශ්‍ය ය. ලන්ඩන් විශ්ව විද්‍යාල වොලිබෝල් කණ්ඩායමේ විශ්ලේෂක හයි බින් ලයි පවසන අන්දමට ඔහු ද “බැලූ බැල්මට” විශ්ලේෂණය කරන බොහෝ දේ අසත්‍ය බව ඔහුටම ඔප්පු වී ඇත. එබැවින් දත්ත එක්කාසු කිරීම සහ නිසි අයුරින් ගබඩා කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදු විය යුතු බව ඔහු පවසයි.

ලෝකයේ තත්වය එසේ තිබිය දී අප රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම සතුව සිටින්නේ ප්‍රධාන පුහුණුකරුවෙකු සහ සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු පමණි. ප්‍රධාන පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච් පවසන අන්දමට,

ශ්‍රී ලංකා ප්‍රධාන වොලිබෝල් පුහුණුකරු, ඩෙජාන් වුලිසෙවිච්

“අපට විශ්ලේෂකයෙක් නැහැ. ඉන්නෙ මම විතරයි. පුහුණුකරුත් මම, දත්ත එකතු කරන්නෙත් මම, උපක්‍රම හදන්නෙත් මම. මේ රටේ ජාතික ක්‍රීඩාව නමට විතරයි. වොලිබෝල් ජාත්‍යන්තර මට්ටමට යන්න නම් අපට ඒ පහසුකම් ඕන. ක්‍රිකට් දිහා හැමෝම බලාගෙන ඉන්නවා. නමුත් මේ ක්‍රීඩකයන් දක්ෂයි. ඔවුන්ට ලෝකයට යන්න පුළුවන්. ඔවුන්ට දක්ෂකම් තිබෙනවා. ඒත් මේ ක්‍රීඩාවට අරමුදල් එන්නෙ නෑ.”

මෙරට තත්වය එසේ තිබිය දී සවුදි අරාබි වොලිබෝල් කණ්ඩායම (2017 ලෝක ශ්‍රේණිගත කිරීමේ 58) සැප්තැම්බර් 17 වැනිදා පිටියට බසින්නේ පුහුණුකරු, සහාය පුහුණුකරු, විශ්ලේෂක සහ සම්භාහක, ශාරීරික අභ්‍යාසක ඇතුළු කණ්ඩායමක් ද සමඟිනි. ක්‍රීඩකයන් පිටිය මැද ක්‍රීඩා කරද්දී ඉන් පිටත බොහෝ දේවල් සිදු වනු අපි දුටිමු. විශ්ලේෂකයා කුඩා කැමරා දෙකක් ස්ථානගත කොට වීඩියෝ දර්ශන ලබා ගනියි. පුහුණුකරු ඉන් නිදහස් ය. ඔහුට තරගය නරඹමින් අවශ්‍ය උපදෙස් ලබා දීමේ ඉඩකඩ තිබේ. එක් තරග වටයක් අවසන් වන විට විශ්ලේෂක තමන්ගේ විශ්ලේෂණාත්මක දත්ත වාර්තාව පුහුණුකරු වෙත සපයයි. එය අනුව ප්‍රධාන පුහුණුකරු අවශ්‍ය උපක්‍රම සම්පාදනය කරයි. මෙය යුරෝපියානු ආයතන පද්ධතියක් මෙන් ශක්තිමත් ය, ක්‍රියාශීලී ය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට එවන් පහසුකම් තිබුණේ නැත.

සවුදි අරාබියානු වොලිබෝල් කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය

එහෙත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල (2017) සවුදි අරාබියානු කණ්ඩායම 58 වැනි ස්ථානය හොබවද්දී ශ්‍රී ලංකාව 78 වැනි ස්ථානය හොබවයි. උක්ත ශ්‍රේණිගත කිරීම් සිදුවන කාලයේ දී ශ්‍රී ලංකාවට විදෙස් පුහුණුකරුවෙකු නොසිටියේය. එහෙත් එකල පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ දස්කම් මතම පමණක් ලොව පළමු කණ්ඩායම් 80 අතර ශ්‍රී ලංකාව රැඳුනේය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ද ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩකයන් තිදෙනෙක් රහිතව (දීප්ති රොමේෂ්, වසන්ත ලක්මාල්, ලසිඳු මෙත්මල්) ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සවුදි ක්‍රීඩකයන් ලැබුවේ එතරම් පහසු ජයක් නොවේ.

“මේ රට දිවයිනක්. ඒ නිසා ඉපිලීම සහ වේගය ඔවුන්ට උපතින්ම තියෙනවා. අවශ්‍ය වෙන්නේ පහසුකම් පමණයි.”

එය දත්තවලින්ම ඔප්පු කළ හැකිය. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි ස්ථානයේ සිටින චීනය හමු විය. පළමු වටය 20-15ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව දෙවන වටය 25-20ක් ලෙස ජය ගත්තේය. ඒ පළමු වටය දෙස විමර්ශනාත්මකව බලා සිටි ශ්‍රී ලංකා පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච්ගේ උපක්‍රම අනුවය. එහෙත් එතැන් සිට චීන වොලිබෝල් විශ්ලේෂකයා තම කාර්යය ඉටු කළ අතර පුහුණුකරුගේ සහ විශ්ලේෂකයාගේ කාර්යය ද්විත්වයම පිටිය මැද සිදු කිරීමේ අපහසුව නිසා වුලිසෙවිච් මහතා අසරණ වන්නට ඇත.

23න් පහළ යෞවනයන් ආසියාවේ 10 වූයේ කෙසේ ද?

ඉරානයේ ආඩබිල් නුවර දී පැවති “දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය” සඳහා…

එම තරගාවලියේ දී ම තායිලන්තයට එරෙහි තරගයේ පළමු වටය ශ්‍රී ලංකාව පහසුවෙන්ම ජය ගත්තේ 25-13ක් ලෙසයි. ඒ වටය තායිලන්තය විසින් ශ්‍රී ලාංකිකයන්ව විශ්ලේෂණය කිරීමට යොදා ගන්නා ලද්දේය. දෙවන වටයේ සිට ප්‍රබල ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ තායිලන්ත ක්‍රීඩකයන් මීළඟ වට 3ම ජය ගෙන තරගය ද ජය ගත්තේය. ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ දී ද එසේම ය. ශ්‍රී ලංකාව පළමු, දෙවන වටයන් පහසුවෙන් ජය ගත්තත් තෙවැනි සහ සිව්වැනි වට වන විට ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා කණ්ඩායම විශ්ලේෂණය කොටගෙන අවසාන ය. විශ්ලේෂකත්වයේ වැදගත්කම ගැන මීටත් වඩා පැහැදිලි කිරීම අනවශ්‍ය ය.

ඩෙජාන් වුලිසෙවිච් මහතා සතුව එසේ පැවසීමට අයිතියක් ඇත. ඔහුගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියානු ක්‍රීඩා සමාජ මට්ටමේ හත්වැනි ස්ථානයත්, ආසියානු දෙවන කාණ්ඩයේ (පිරිමි අභියෝගතා කුසලාන) තෙවැනි ස්ථානයත් දිනා ගෙන තිබේ. එබැවින් ඔහුගේ ඉල්ලීම සාධාරණ ය. ශ්‍රී ලංකාව “ජපන් වොලිබෝල් රටාවෙන්” මිදී, “පවර් වොලිබෝල්” දෙසට හිස හරවා ඇති බව පෙනේ. දැන් දැන්ම ඔහුට අවශ්‍ය පහසුකම් සැපයුවහොත් ශ්‍රී ලංකාවට තවත් ඉදිරියට යෑමේ බලාපොරොත්තුවක් තබා ගත හැක.

විශේෂයෙන්ම ලොව ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදය තුළ වොලිබෝල් විශ්ලේෂකයන් හට පවතින රැකියා අවස්ථා ප්‍රමාණය දුටුවහොත් ඔබ පුදුම වේවි. ජපානය වැනි රටවල් වල විශ්ලේෂක පාඨමාලා පවා පැවැත්වෙන අතර ඔවුන්ගේ තරග රටාවම රඳා පවතින්නේ ඒ මත ය. ඔවුන් ලොව පළමු කණ්ඩායම් 12 අතරට පැමිණ ඇත්තේ එබැවින් මිස ශරීර ශක්තිය හෝ උස නිසාම පමණක් නොවේ.

කොටින්ම කිවහොත් යුද්ධයකින් බිමටම සමතලා වූ ඉරාකයේ පවා වොලිබෝල් විශ්ලේෂකයන්ට ඉඩකඩ ඇත. ආසියානු අභියෝගතා කුසලාන තරගාවලිය ජය ගත් ඔවුන්ගේ විශ්ලේෂකයා ද තරගාවලියේ මුල සිටම තමන්ට අයත් නොවන තරග පවා වීඩියෝගත කරමින් දත්ත ලබාගනු දැක ගත හැකි විය. එහි ප්‍රතිඵල ඔවුන්ට අද ලැබී ඇත. මීළඟ වසරේ ආසියානු තරගාවලියේ දී ඔවුන් ක්‍රීඩා කරන්නේ ආසියාවේ පළමු කණ්ඩායම් 10 ඇතුළතයි. වසර 100කට අධික ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට එවැනි සැලසුමක් තිබේ ද?

බංගලාදේශ වොලිබෝල් පුහුණු කාර්යමණ්ඩලය

ක්‍රිකට් ක්‍රීඩාවේ වසර කිහිපයකට පෙර දී ශ්‍රී ලංකාවට පසුපසින් සිට, මේ වන විට ශ්‍රී ලංකාවට එලව එලවා පහර දෙන බංගලාදේශයේ වොලිබෝල් ක්‍රීඩාව තවමත් ඇත්තේ අපට පිටුපසිනි. එහෙත් ඔවුන්ගේ කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය ඇත්තේ මෙරටට ඉදිරියෙනි. ඔවුන්ගේ කණ්ඩායම කෙතරම් හොඳ එකක් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම්වලින් පමණක් ඔවුන්ට එරෙහි තරගය 3-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය. එය හැමදාම කරන්නට බැරි එකක් බව අප තේරුම් ගත යුතුය. 2000 වසරට පෙර තායිලන්තය ද සිටියේ වොලිබෝලයෙන් මෙරටට පිටුපසිනි. එහෙත් දැන් ඔවුන්ව පරාජය කිරීම අපහසු කටයුත්තක් වී ඇත. අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් කළ හැකි වෙනස එයයි.

එලෙසින්ම ශාරීරික අභ්‍යාසක (Trainer) සහ සම්භාහකගේ (Masseuse) අඩුපාඩුව වසා ගැනීමට ආරක්ෂක සේවාවල සම්භාහකයන් යොදා ගැනුනත් එය සදාකල් කරනවාට වඩා නිල සම්භාහකවරයෙකු ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට ලබා දීම ගැන ද අවධානය යොමු කළ හැකි නම් වටියි. දින තුනක්, හතරක් එක දිගට ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන්ට පහසු නැත. එම තරගවලින් පසු දිගැදුම් (Stretching) පමණක් හෝ ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම (Warm down) පමණක් සිදු කරනවා වෙනුවට ක්‍රීඩකයන්ගේ මාංශ පේශී සම්භාහනය කොට ප්‍රතිකාර (Recovery) කළ යුතුය. අඩුම තරමින් අයිස් ස්නානයක් (Ice bath) හෝ ලබා දිය හැකි නම් එය ද වටියි. එසේ කළ හැකි නම් ශ්‍රී ලංකාවේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය තවත් වසර කිහිපයකින් ඉදිරියට යනු ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයන් පුහුණුකරුට සවන් දෙමින්…

ආසියානු අභියෝගතා කුසලාන තරගාවලිය අවසන් ය. එහෙත් වසර 100ක කාලයක් පුරාවට මෙරට පැවත, අද ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකෙන වොලිබෝල් ක්‍රීඩාවෙන් සාග් ක්‍රීඩා උළෙලේ දී ඉන්දියාව එකදිගට පරාජය කිරීමේ පිපාසයවත් තවම සංසිඳී නැත. 90 දශකයෙන් පසු තවමත් ඉන්දියානු කණ්ඩායමක් පරාජය කරන්නට ශ්‍රී ලංකාවට නොහැකිව ඇත්තේ ඉහත සඳහන් තාක්ෂණික අඩු ලුහුඬුකම් සපුරා නොගත් හේතුවෙනි. දස්කම් අතින් මෙරට ක්‍රීඩකයන් උපන් හපනුන්ය. එහෙත් ප්‍රතිවාදීන් තාක්ෂණිකව ඉදිරියට එන විට අපේ දස්කම් පසුබසින බව අප පිළිගත යුතුය. එබැවින් වොලිබෝල් විශ්ලේෂකගේ අඩුව අප ඉක්මණින් සපුරාගත යුතුය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<