පුටින්ගේ සුව නොවන “ක්‍රීඩා උණ”

464
media.golfdigest.com

ක්‍රීඩාශීලිත්වය රාජ්‍ය පාලනයට කෙතරම් වැදගත් ද? ක්‍රීඩාවෙන් ඔබේ ජීවිතයට බොහෝ දේ එකතු කරයි. තාර්කික චින්තනය, උපක්‍රමශීලීභාවය, ශාරීරික යෝග්‍යතාවය, ජය-පරාජය ඉවසීම සහ පසුපස සිට ඉදිරියට එන වීර්යය ඉන් කිහිපයකි. දේශපාලකයන් රාජ්‍ය පාලනයේ දක්ෂ විය යුතු අතර ලෝක බලවතුන් ගොඩනැගෙන්නේ ඉහත කරුණු පෙරදැරිව ය. වත්මන් ලෝක බලවතෙකු වන රුසියාවේ ජනාධිපතිවරයාට නම් ක්‍රීඩාව ආගන්තුක නැත.

මේ ගතවන්නේ ඔහුගේ සිව්වැනි ජනාධිපති ධූර කාලයයි maritimefirstnewspaper.com

ව්ලැඩිමීර් ව්ලැඩිමිරොවිච් පුටින්, රුසියානු ජනාධිපතිවරයායි. ඔහු රුසියානු රහස් ඔත්තු සේවයේ (KGB) හිටපු ලුතිනන් කර්නල් වරයෙකි. ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ නීතිවේදියෙකි. මේ වන විට ලොව ප්‍රබලම රාජ්‍යයන්ගෙන් එකක රාජ්‍ය නායකයෙකි. උපක්‍රමශීලී සහ ශක්තිමත් නායකයෙකු වන පුටින්ගේ ක්‍රීඩා දිවිය අප්‍රකට නමුත් සුවිශේෂී ය.

ජූඩෝ

පුටින් වයස අවුරුදු 11 දී ජූඩෝ පුහුණුව ලැබීම ඇරඹුවේය. ඇනටෝලි රැක්ලින් නම් පුහුණුකරුවා ඔහුගේ පුහුණුකරු ය. Russia Beyond වෙබ් අඩවියට අනුව රැක්ලින් සිය අනාගත ජනාධිපතිජූඩෝ සිසුවා ගැන සිහිකර ඇත්තේ මෙලෙස ය.

ඔහු පුහුණුව ආරම්භ කරද්දී ඔහුට කිසිම දක්ෂතාවයක් තිබුණේ නැහැ වගේම ඔහු අනෙක් සිසුවන්ගෙන් විශේෂ වී පෙනුණේ නැහැ. ඒත් කාලයත් එක්ක, ඔහු කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්නුවා. ජූඩෝ බිම මත දී ඔහු අවසන් තත්පරය දක්වාම සටන් කරන දිවියෙක් වගේ.”

පුටින්, ජූඩෝ තරගයක් අතරතුර –  amazonaws.com

කරාටේ

වයස අවුරුදු 21 දී පුටින් ලෙනින්ග්‍රාඩ් හි ජූඩෝ ශූරයා විය. එමෙන්ම ජූඩෝ විශාරදනිලයට ද උසස් විය. 1999 දී Learning Judo with Vladimir Putin නම් ග්‍රන්ථය එළිදැක්විණි. පුටින් විසින් ප්‍රගුණ කර ඇති එකම ආත්මාරක්ෂක සටන් කලාව ජූඩෝ නොවේ. ඔහු කරාටේ ක්‍රීඩාව ද හදාරා ඇත. ලෙහෙසියෙන් කිවහොත්, වත්මන් රුසියානු ජනාධිපතිවරයා කරාටේ 8 වැනි ශ්‍රේණියේ කළු පටි හිමිකරුවෙකි.

හිම කඳු මත ලිස්සා යෑම

පුටින්ගේ ක්‍රීඩා උණ ඉන් සංසිඳුණේ නැත. ඔහු හිම කඳු මත ලිස්සා යෑමේ ක්‍රීඩාව (Mountain Skiing) පුහුණු විය. ලියොනිඩ් ට්‍යාගචෙව් නම් පුහුණුකරුවාව තම පෞද්ගලික පුහුණුකරුවා බවට පත්කරගත් පුටින්ගේ වේගය ඉහළ මට්ටමක ඇතැයි කියැවේ.

අපි පුහුණුවුනේ රාත්‍රියේ විදුලි ආලෝක යටතේයි. අපි සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේ දී පටන් අරගෙන පාන්දර 1.00 – 2.00 වෙනකම් පුහුණු වෙනවා.” ට්‍යාගචෙව් කියයි. පුටින් තම රාජකාරිය පැහැර හරිමින් ක්‍රීඩා කළේ නැත. රාජකාරි ඇතැයි කියා ක්‍රීඩාව අත්හැරියේ ද නැත. රාජ්‍ය නායකයාට රාත්‍රිය කෙටියැයි කියා වේලාසනින් නින්දට ගියේ ද නැත. මේ එසේ මෙසේ රාජ්‍ය නායකයෙකු නොව, ශ්‍රී ලංකාව මෙන් දෙසිය ගුණයකට වඩා විශාල රටක් පාලනය කරන ව්ලැඩිමීර් පුටින් ය.

මෝටර් රථ ධාවනය

පුටින්, රුසියානු රාජ්‍ය ලාංඡනය සහිත හෙල්මටයක් පැළඳ ෆෝමියුලා 1 රථයක – speedvegas.com

එයින් ද ඔහුගේ ක්‍රීඩා උණ සංසිඳුණේ නැත. කෙසේ වෙතත් ඔහු තම ජනාධිපති ලිමොසින් රියේ පසුපස අසුනක ගමන් කළ ද, අවස්ථාව ලැබෙන සෑම විටකම මෝටර් රථ ධාවනයට ප්‍රිය කරයි. 2010 දී ලාඩා කලීනා මෝටර් රථයක, දින හතරක් පුරා කිලෝ මීටර් 2000ක දුරක් ඔහු විසින් ධාවනය කළේය. 2010 වසරේ දී ම ඔහු විසින් ෆෝමියුලා 1 රථයක් ධාවනය කළ අතර එය පැයට කිලෝ මීටර් 240ක වේගයෙන් ධාවනය කළ බව පැවසේ.

අයිස් හොකී

2011 ජනවාරියේ දී ඔහු විසින් පැවසූ පරිදි ඔහු අයිස් හොකී ක්‍රීඩාව පුහුණු වීමට කැමැත්තෙන් සිට ඇත. එය යථාර්ථයක් බවට පත්වන්නේ ලෝක ශූර රුසියානු අයිස් හොකී ක්‍රීඩක ඇලෙක්සි කසටොනොව් ඔහුගේ පුහුණුකරු වීමත් සමඟයි. ඒ සඳහා ද පුටින් රාත්‍රි කාලය වෙන්කරවා ගත්තේය. ඉතා අපහසු පුහුණුවක් ලෙස සැලකෙන අයිස් තට්ටුව මත ලිස්සා යෑම පුහුණු වීමට ඔහුට ගතවූයේ මාස දෙකකි.

මං අවුරුදු 12 ළමයෙකුට කතා කළා. ඔහු අවුරුදු 9ක් පුහුණු වෙලා තියෙනවා. මම මාස දෙකක් පුහුණු වුනා. පුටුවක් අල්ලා ගෙන තමයි මම ලිස්සා යෑම පුහුණු වුනේ. කලින් මම කරලා තිබුණේ නැහැ. මට ලිස්සන සපත්තු උඩ හිටගෙන ඉන්නවත් පුළුවන් වුනේ නැහැ.” පුටින්, Russia Beyond වෙත ප්‍රකාශ කොට තිබුණි.

කරන්ට් නැද්ද? ලංකාවේ එහෙමය, ජපානේ මෙහෙමය

කිමිදුම්

කිමිදුම් ක්‍රීඩාව ද එතරම් පහසු ක්‍රීඩාවක් නොවේ. අපහසු ක්‍රීඩා තෝරාගෙන පුහුණු වීම පුටින්ගේ පුරුද්දකි. ඔහුගේ රට වැසියන් හට දෙන පණිවුඩයකි. එනම් රුසියානුවාගේ රූපය මෙයයි යන්නයි. නායකයාගේ අණට යමින් රුසියානුවන් පුටින් යන නම තුළ විශ්වාසය තබා ඇත්තේ එබැවිනි. රුසියානු ජාතිය ශක්තිමත් මනසක් සහ ශරීරයක්  බව කියැවෙන්නේ ද එබැවිනි.

2011 වසරේ දී ඔහු කිමිදෙන රුසියානු නගරය හෙවත් Russian Atlantis නම් දිය යට පවතින ඉපැරණි නගරය නැරඹීමට කිමිදුණේය. ඔහු විසින් කළ දෙවැනි කිමිදුම එය යැයි පැවසේ. ඔහුගේ මානසික ශක්තිය ඇත්තේ එවැනි තැනක ය.

එම වසර අවසානයේ දී ම පුටින් දකුණු රුසියාවේ තිබෙන Volga Underwater world නම් ස්ථානය නැරඹීමට කිමිදුණේ ය. පසුව වරින් වර ඔහු විසින් කිමිදුම් සිදු කළ අවස්ථාවන් ගැන සඳහන් වේ.

කඳු නැගීම

කඳු නැගීම ද තරුණ වැඩිහිටි කා අතරත් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවකි. 2018 අගෝස්තු මාසයේ දී ටුවා නම් නගරයෙහි සංචාරය කළේය. ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු සමඟින් එහි දින කිහිපයක් ගත කළ පුටින් කඳු නැගීමට ද අවස්ථාව වෙන්කර ගත්තේය. ඊට බෝට්ටු වලින් සහ හෙලිකොප්ටර් වලින් ගමන් කළ අවස්ථා කිහිපයක් ද එක්විය.

පුටින්, කඳු මුදුනක – rbth.com

වර්තමානය

2019-05-10 වැනිදා පුටින් අයිස් හොකී තරගයකට සහභාගී විය. එහි දී ගෝල 14-07ක් ලෙස පුටින් ඇතුළු කණ්ඩායම ජය ගත් අතර ඉන් ගෝල 8ක්ම පුටින්ට අයත් වීම කැපී පෙනිණි. ඔබට විශ්වාස කළ හැකි නම්, පුටින් මේ වන විට සිටින්නේ 66 වැනි වියෙහි ය.   

ඉරිසියාවට වඩා විශාල රුසියාව

‘ඔවුන් සිරියාවන්ත නැත. මූණිච්චාවට සිනාසෙන්නේ ……….

මේ ඔහු ක්‍රීඩාවට සම්බන්ධ වූ සහ ක්‍රීඩාමය අත්දැකීම් ලබාගත් අවස්ථාවන් කිහිපයකි. ඊට අමතරව ඔහු විසින් දිනපතා උදෑසන පැය දෙකක පමණ කාලයක් පිහිනීමේ යෙදෙන අතර පෞද්ගලිකව සිතීමට කාලය වෙන්කර ගන්නේ ඒ කාලයයි. ඉන් පසුව ඔහු බර එසවීමේ සහ ශරීර ශක්තිය වර්ධනය කරගැනීමේ ව්‍යායාම වල නිරත වෙයි. එය ප්‍රබල රටක නායකයෙකු ලෙස තම ප්‍රතිරූපය සහ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඔහු විසින් අනුගමනය කෙරෙන නොනවතින ක්‍රියා පිළිවෙළකි. මේ සියල්ල සිදු කෙරෙන අතර රුසියානු ආර්ථික සහ යුධ බලය නොනැවතී ඉදිරියට යයි. ඒ, සෞඛ්‍යදායී ශරීරය සහ මනස විසින් රටේ අනාගතයට සෞඛ්‍යදායී තීරණ ගෙන එන බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<