ලකුණු 15000 සීමාව පසු කරන්නට කෝලි වේගවත් වේ

429

ඉන්දීය කණ්ඩායමේ වත්මන් නායක ප්‍රවේගකාරී පිතිකරු විරාත් කෝලි ඊයේ (06) දිනයේ දී ඔහුගේ ක්‍රීඩා දිවියේ 50 වැනි විස්සයි විස්ස තරගයට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළේය. එහි දී රැස් කර ගත් විශිෂ්ට ලකුණු 82ත් සමඟම ඔහු තම ක්‍රීඩා දිවියේ ලකුණු 15000 සීමාව පසු කිරීමට සමත් විය. ඔහු මෙම ලකුණු 15000 සීමාව ඉක්මවූයේ තරග 304කින් වන අතර එහි දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50ක් වීම ද විශේෂිත කරුණකි.

කෝලිගේ ප්‍රහාරය විස්සයි විස්ස සිහිනයත් බොඳ කරයි

කෙසේ වෙතත් අද අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ඩිල්ශාන් මුණවීර පිටියට පැමිණි මොහොතේ සිටම දැඩි ප්‍රහාරයක් දියත් …

කෝලි ලකුණු 15000 සීමාව පසු කළ ලොව 33 වන ක්‍රීඩකයා වන අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50ක් ව තබා ගනිමින් එම සීමාව පසු කළ ලොව එකම ක්‍රීඩකයා වීමේ ගෞරවය ද තමන් සතු කර ගැනීමට විරාත් කෝලි සමත් විය.

ඊයේ දිනයේ දී ඔහු ලබා ගත් 17 වන විස්සයි විස්ස අර්ධ ශතකයත් සමඟ නවතම වාර්තාවලට අනුව විස්සයි විස්ස තරගවල දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමි වන්නේ ද කෝලිට ය. ඔහු තෙවැනි වන්නේ ලකුණු 2140ක් ලබාගෙන ඇති බ්රෙන්ඩ්ම් මැකලම්ට හා ලකුණු 1889ක් රැස් කරගෙන සිටින තිලකරත්න ඩිල්ශාන්ට ය.

තවද ඉන්දියානු නායක විරාත් කෝලි තම 50 වන විස්සයි විස්ස තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් ලොව සිව්වන ක්‍රීඩකයා වීමේ වාසනාව ද ඊයේ දිනයේ දී ලබා ගත්තේය. එය ලබා ගත් අනෙක් ක්‍රීඩකයන් වන්නේ ඉයන් මෝගන්, තිලකරත්න ඩිල්ශාන් හා සහීඩ් අෆ්රිඩිය.

පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තම එක්දින දිවියේ 30 වන එක්දින ශතකය ලබාගත් කෝලි මේ වන විට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකි පොන්ටින්ව පසු කරමින් ලොව වැඩිම එක්දින ශතක රැස් කර ගත් දෙවන ක්‍රීඩකයා බවට පත්ව ඇත. ඔහු දෙවන වන්නෙ ඔහුගේම මව් රටේ තරග 375ක දී ශතක 49ක් රැස් කරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර්ටය. කෙසේ වෙතත් ඔහුගේ එම වාර්තාව විරාත් කෝලි පසු කරනු ඇතැයි විචාරකයන් පවසන්නේ කෝලි තම ශතක 30 ලබා ගෙන තිබෙන්නෙ තරග 195කින් වීම නිසාවෙනි.

වාර්තා පොත් අළුත් කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විරාත් කෝලි  ලොව විස්සයි විස්ස පිතිකරුවන්ගෙන් ප්‍රමුඛත්වය දරන අතර අනාගතයේ දී තවත් වාර්තා ඔහුගේ නම ඉදිරියේ ලියැවේ යැයි ක්‍රිකට් විචාරකයන් පවසයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට