“ටෙන්ඩුල්කාර්, ද්‍රාවිඩ්ගේ තරම් දෙයක් කෝලිගේ නැහැ” – මොහොමඩ් යූසෆ්

2947
Virat Kohli isn't in the same league of Tendulkar and Dravid

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුදෙව් ජාතික යූසෆ් යොහානා ක්‍රිකට්ලෝලීන්ට මතක ඇති. අද ඔහු මොහොමඩ් යූසෆ් නම් හිටපු පාකිස්තානු පිතිකරුවායි. නම කෙසේ වෙනස් වුවද, සතුරාගේ (ඉන්දියාව) ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන විමසුම් ඇස නම් ඔහුගෙන් ඉවත ගොස් නැහැ.

පසුගියදා ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලිගේ පිතිකරණය ගැන යූසෆ් සිය අදහස් පළකළේ ජියෝ සුපර් චැනල් ඔස්සේයි.

“ඔහු ඉතා හොඳ පිතිකරුවෙක් වගේම මං ඔහු ක්‍රීඩා කරනවා බලන්නත් කැමතියි. ඒත් මං හිතන්නේ නැහැ ඔහු ටෙන්ඩුල්කාර්, ද්‍රාවිඩ් හෝ ලක්ෂ්මන්ගේ තලයේ ඉන්නවා කියලා.”

වත්මන් ක්‍රිකට් ලොව සිටින විශ්වාසවන්තම පිතිකරුවෙකු ලෙසයි විරාත් කෝලිව සැලකෙන්නේ. එහෙත් යූසෆ් පවසන්නේ තමන් ක්‍රීඩා කළ යුගයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන් වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ආත්මීය හෝ තරගකාරී නොමැති බවයි.

“අද ක්‍රිකට්වල තියෙන ගුණාත්මක බව සහ අපේ කාලේ තිබුණු ගුණාත්මක බව අතර ලොකු වෙනසක් තිබෙනවා. සමහරු මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. ඒත් මං හිතන්නෙ නෑ අපේ කාලෙ හිටපු පිතිකරුවෝ හෝ පන්දු යවන්නන් වගේ ගුණාත්මක ක්‍රීඩකයෝ දැන් ඉන්නවා කියලා.”

යූසෆ් පැවසුවා.

මෙසේ පවසන මොහොමඩ් යූසෆ්ට ඒ සඳහා අයිතියක්ද ඇත්තේ ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 90ක් ක්‍රීඩා කළ සුවිශේෂී පිතිකරුවෙකු වීම නිසයි. එහිදී ශතක 24ක් සහ අර්ධ ශතක 33ක් වාර්තා කරන්නටද ඔහු සමත් වුනා.

“බලන්න ඕස්ට්‍රේලියාව දිහා. ඔවුන්ට ෂේන් වෝන් සහ ග්ලෙන් මැක්ග්‍රාත් වගේ පන්දු යවන්නන් නැහැ. ශ්‍රී ලංකාවටත් ඒ කාලේ මුරලිදරන් හිටියා. බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ දකුණු අප්‍රිකාවටත් ශක්තිමත් පන්දු යවන අංශයක් තිබුණා.”

යූසෆ් සිය කතාවේ පදනම පැහැදිලි කළේ එලෙසින්. සාර්ථක පිතිකරුවන් මැනිය යුත්තේ එකල සිටින පන්දු යවන්නන්ගේ දක්ෂතා වලට සාපේක්ෂවයි.

කෝලිගේ පිතිකරණයේ ආක්‍රමණශීලී ස්වභාවය ගැනද සිහිකරන්නට යූසෆ් අමතක කළේ නැහැ.

“ඉන්දියාවට හැමකාලෙකම ඒ වගේ ආක්‍රමණශීලී පිතිකරුවන් සිටියා. සව්රව් ගංගුලි ඒ වගේ කෙනෙක්. ක්‍රීඩා කරද්දී අපි කරට කර තියාගෙන සෙල්ලම් කළාට අපි හොඳ දස්කම් හැමවිටම අගය කළා. මොකද, ක්‍රිකට්වල ගුණාත්මකභාවය තිබුණේ උසස් තැනක.”

“නීති-රීති පවා පිතිකරුවන්ගේ වාසියට වෙනස් කරලා තියෙනවා. ඒ වගේම තණතිලි වුණත් ඔවුන්ට වඩාත් පහසුයි. මං ක්‍රීඩා කළ කාලෙදි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්ව, දකුණු අප්‍රිකාව වගේ රටවල්වලදී අපට වෙනස් ආකාරයේ තණතිලි ලැබුණා. දැන් ඉතින් බොහෝ වේලාවට ඒ හැම තණතිල්ලක්ම එක වගේ.”

ඔහු තවදුරටත් තම අදහස් පළකළා.

“වසීම් අක්‍රම්, වකාර් යුනස්, ෂොයිබ් අක්තාර්, සක්ලේන් මුෂ්ටාක් වගේ පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු ගන්නවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. මං හිතන්නේ ටෙන්ඩුල්කාර් සහ ද්‍රාවිඩ් කියන්නේ ටිකෙන් ටික කාලය වැය කරමින් දියුණු වෙලා පූර්ණත්වයට ළඟා වෙච්ච පිතිකරුවන්.”

ඔහු එසේ කියන විට අරවින්ද, සනත් වැනි පිතිකරුවන්ගේ ශක්තිය නැවතත් අපේ මනසට නැගෙන්නේ නිරායාසයෙන්ම යි.

90 දශකය නැවතත් සිහිකරවමින් කිසිදු කලබලයකින් තොරව මොහොමඩ් යූසෆ් සිදු කළ මේ ප්‍රකාශයන් ස්වයං වර්ණනාවේ යෙදෙන ඉන්දියානු මාධ්‍යයට නම් වේදනාත්මක වනු ඇති බවයි අපගේ නම් අදහස.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<