කෝලි ප්‍රමුඛ පිරිවරට ඩොලර් මිලියනයක්

214
Getty Images

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පිරිනමන ටෙස්ට් ශූරතාවලි සෙන්කෝලය (Championship Mace) යළිත් වරක් තමන් සතුකර ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

මෙම ටෙස්ට් ශූරතාවලි සෙන්කෝලයත් සමඟ ඉන්දීය කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

ඒරන් ෆින්ච් මුල් 10 අතරට, ඕස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීම් කලඹයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම …..

ඉන්දීය කණ්ඩායම පසුගිය 2018 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා සිට මෙම වර්ෂයේ අප්‍රේල් පළමු වැනිදායින් අවසන් වන වර්ෂයක කාලය තුළ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ හිමිකර ගැනීමට සමත් වීම හේතුවෙන් මෙම සෙන්කෝලය පිරිනමා ඇත.

විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ හිමිකරගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 116කට හිමිකම් කියමිනි.

අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම විසින් මෙම ටෙස්ට් ශූරතාවලි සෙන්කෝලය දිනා ගත් තුන්වැනි අවස්ථාව මෙයයි. පසුගිය වසරක කාලය තුල දී ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේ දී ඇෆ්ගනිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරගයත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියත් 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 4-1ක් ලෙස පරාජය වුවද ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ ඉතිහාසය ද අලුත් කරමිනි. ඉන්දීය කණ්ඩායම වාර්තා අතරට එක්වූයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එරට දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි.

“මම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා” – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් ……

ටෙස්ට් ශූරතාවලි සෙංකෝලය යළිත් වරක් සිය කණ්ඩායමට හිමි වීම පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි සඳහන් කර සිටියේ මෙම ජයග්‍රහණය පිළිබඳ තමන් ආඩම්බර වන බවය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම සිය කණ්ඩායම දන්නා බවත්, සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම ජයග්‍රහණයට හවුල් වූ බවත් කෝලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රේණිගත කිරීම් හී දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ඒ අනුව නවසීලන්තයට ඩොලර් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇති දකුණු අප්‍රිකාවට ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක මුදලක් ද, සිව්වැනි ස්ථානය හිමිකර ගත් ඕස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ද හිමිවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලි සෙන්කෝලය ඉන්දීය නායක විරාත් කෝලිට පිරිනමන දිනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<