බවුන්සර් තඹේකට මායිම් නොකරන දෙන්නෙක් කතා කරයි

13176

2019 අළුබඳුන ක්‍රිකට් තරගාවලිය නිසා ‘බවුන්සර් පන්දු’ ගැන යළි කතාබහක් ඇති විය. මේවාට කෙටි පන්දු යැයි හැඳින්විය නොහැක්කේ පිතිකරුගේ උරහිස් වලට උඩින් පැමිණ ඔවුන්ගේ නිකට, නාසය හෝ හිස මත ගැටීමට මේ පන්දු වලට හැකි බැවිනි. බවුන්සර් පන්දු පිළිබඳව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ශ්‍රේෂ්ඨ පිතිකරු විවියන් රිචර්ඩ්ස් විසින් BCCI වෙත අදහස් දක්වා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ මානසික ශක්තිය ගැන මනා පණිවුඩයක් ලබා දෙමිනි.

මට දැනෙන විදිහට හැමවෙලේම බෝලේ වදියිද කියලා බලන් ඉන්නවට වඩා මුලින්ම බෝලේ වැදිලා ඒ වේදනාව ගැන තේරෙන එක හොඳයි. මම කැමතියි මුලින්ම රිදෙන්න වදිනවට. ඒකෙන් මාව උත්තේජනය වෙනවා ඒක ආයෙත් වෙන්න නොදෙන්න.” කෝලි, අභියෝගවලට ප්‍රිය කරන්නෙකි.

Video – ඉන්දියානු ලකුණු මැෂිම – Virat Kohli

විරාත් කෝලිගේ ජීවිත කතාව. ඇසිදිසි!

කෝලිගේ මානසිකත්වය ගැන අපි හොඳින්ම දනිමු. අභියෝගයකට අභියෝග කිරීම හැර දෙයක් කෝලි නොදනියි. එහෙත් වේගවත් පන්දු යවන්නෙකු තමන්ගේ රිද්මයට පැමිණ සිටින අවස්ථාවක සහ ඔහුට උපකාර වන තණතිල්ලක් මත දී කෝලි පවසන දෙය කිරීම පිතිකරුවන්ට එතරම් පහසු නැත. මීට හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ය.

talksport.com – 2019 අළු බඳුන තරගාවලියේදී ස්ටීවන් ස්මිත්ගේ හිසෙහි පන්දුව වැදුණු අවස්ථාව

අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ දී අතිසාර්ථක වූ ස්මිත් හට ජොෆ්රා ආචර් යන අභියෝගය හිමිවන්නේ දෙවැනි තරගයේ සිටයි. ස්මිත් හට පමණක් නොව අනෙකුත් සෑම ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුටම මුහුණු පොඩිවන, ශරීරය තැලෙන පන්දු යොමුකළ ආචර් නිසා බවුන්සර් පන්දුව යළි කරළියට ආවේය. ඉන් එක් අවස්ථාවක දී ස්මිත් හට කැරකිල්ල ඇතිවන මට්ටමේ පන්දුවක් ද ආචර්ගෙන් එල්ල විය. එහෙත් කෝලි පවසන්නේ එකට-එක කළ යුතු බවයි.

මේ ඇති. මේක ආයෙත් වෙන්නෙ නෑ කියලා ඇඟට රිදෙන ගානට බෝලේ වදින්න ඕන.” කෝලි ඒ ගැන දරන්නේ එවැනි මතයකි.

කෝලිට අනුව බවුන්සර් පන්දුවට නොබියව පහර එල්ල කළවුන් අතර ඉදිරියෙන් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි විවියන් රිචර්ඩ්ස් ය.

අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳම පිතිකරුවෙක් තමයි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්.” කෝලි එසේ පැවසුවේය. රිචර්ඩ්ස් ක්‍රීඩා කළ කාලය මීට හාත්පසින්ම වෙනස් කාලයකි. අවම ආරක්ෂක උපාංග සහ වේගවත් තණතීරු එකල පිතිකරුවන්ව කැඳවූවේ පිතිකරණයට නොව යුද්ධයකට ය. එහෙත් විවියන් රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨයන් ආරක්ෂා වීම පසෙකලා ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එසේ නොකළේ නම් ඇතැම් විට ඔවුන් අද ජීවතුන් අතර නොසිටින්නට ද ඉඩ තිබිණි. එකල සිටි අතිදක්ෂ මාරාන්තික වේග පන්දු යවන්නන් ගැන අපි අසා ඇත්තෙමු.

විවියන් රිචර්ඩ්ස් විසින් පැළඳුවේ කැප් තොප්පියක් පමණක්ම ය. හිස් ආවරණ හඳුන්වා දුන් කාලයේදීවත් ඔහු එවැන්නක් භාවිතා නොකළේය. ලොව අධිවේගී සහ තර්ජනාත්මකම වේගපන්දු යවන්නන් හමුවේ පවා ඔහු නොබියව සහ විශ්වාසයෙන් ක්‍රීඩා කළේය. ඔවුන්ට හතර අතේ පහර දුන්නේය. එවන් නිර්භීතයෙකු වූ රිචර්ඩ්ස්, බවුන්සර් පන්දු ගැන දරන්නේ මෙවන් මතයකි.

ඒක ක්‍රීඩාවේ කොටසක්. ඒක ඔබ කොතරම් හොඳින් ප්‍රති ප්‍රහාර දෙනවා ද කියන එක මත පදනම් වෙනවා. ඉස්සර අපේ ඉල ඇට කූඩුව රැකගන්න තිබුණේ පොඩි ආරක්ෂක උපාංගයක්. ඉතින් ඔබට පන්දුව වදින්න පුළුවන්. එතකොට තමයි ඔබට හිතෙන්නේ ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. ඒ ඔක්කොම ක්‍රීඩාවේ කොටසක්.” දැන්  ඔබට රිචර්ඩ්ස් ගැන මැනගත හැකිය.

Video – ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම එක්දින පිතිකරුවා – Vivian Richards

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ව ඔබට මතකද?

වර්තමානයේ ඔහුට සමානම පිතිකරුවා කෝලි බව රිචර්ඩ්ස් පවසයි.

මම හැමවෙලේම හිතුවා තරග කරන්න මම ගැළපෙනවා කියලා. මට ඕන වුන හොඳම විදිහට මම කවුද කියන එක පෙන්නන්න. මම එහි පොඩි සමානකමක් දකිනවා. ඒ දැඩි කැමැත්ත. සමහර විට කට්ටිය අපි දිහා බලලා වෙනස් දේවල් කියන්නත් පුළුවන් මොකද ඔච්චර තරහින්?’ වගේ.” රිචර්ඩ්ස්, තමන් සහ කෝලිගේ සමානකම් ගැන පැවසුවේ එසේයි.

කෝලිව දුටු මුල් කාලයේ බොහෝ ඉන්දියානු නොවන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඔහුට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔහුගේ ඉහත ගුණාංගය නිසයි. එහෙත් කල් යන විට ඔහු කෙතරම් හොඳ පුද්ගලයෙක් ද, එහෙත් ඔහු තරගයේ දී තරගකාරී වන්නේ එය අත්‍යාවශ්‍ය නිසයි යන්න ප්‍රේක්ෂකයන්ට වැටහුණි.

රිචර්ඩ්ස් ද එවැනිම ක්‍රීඩකයෙකි. බොහෝ විචාරකයන්ට අනුව ලොව හොඳම එක්දින පිතිකරුවා රිචර්ඩ්ස් ය. ඒ පිතිකරුවන්ට වැඩි වාසි තිබූ යුගයක නම් නොවේ. ඔහුගේ නිර්භය ඉරියව් සහ අනුකම්පා විරහිත ප්‍රහාරයන් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳගත්තේය.

Video- අධිවේගී ප්‍රාසාංගිකයා – Brett Lee

බ්‍රෙට් ලී නම් අධිවේගී පන්දුයවන්නා ගැන… #Asidisi #Cricket #BrettLee

කෙතරම් තර්ජනාත්මක වේගපන්දු යවන්නන් සිටි යුගයක දී වුවත් කැප් තොප්පිය පමණක් පැළඳුවේ ඇයි දැයි කෝලි ඔහුගෙන් ප්‍රශ්න කළේය.

මම විශ්වාස කළා මමයි මිනිහාකියන එක. ඒක ටිකක් ද්වේශ සහගතයි වගේ පේන්න පුළුවන්, නමුත් ඒත් මම හැමවෙලේම හිතුවා මම සෙල්ලම් කරන්නේ මම දන්න ක්‍රීඩාවක් කියන එක. මම හැමවිටම මාව විශ්වාස කළා. පන්දුව වැදුනත් ගානක් නැතිවෙන තරමට.” රිචර්ඩ්ස්ගේ පිළිතුර වූයේ එවැන්නකි.

මම දාලා බලපු හෙල්මට් එක කරදරයක් කියලා හිතුනා. මම මගේ මෙරූන් පාට කැප් එක (බටහිර ඉන්දීය කොදෙව් නිල ක්‍රිකට් කැප් තොප්පිය) ගැන ආඩම්බරයෙන් කල්පනා කළා. මගේ මනස කිව්වේ මම මෙතනට එන්න සුදුසු කෙනෙක්බවයි. මට රිදුණා නම් ඒක දෙවියන්ගේ කැමැත්ත. මම ඒකෙනුත් ගොඩ එනවා.” ඔහු වැඩිදුරටත් කීවේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<