“වයිපර්” ගුණරත්න යුධ හමුදාව බාර ගනියි

651

ශ්‍රී ලංකාවේ පරිණත රග්බි පුහුණුකරුවෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සාමාජිකයෙකු ද වූ නිහාල් “වයිපර්” ගුණරත්න මහතා යුධ හමුදා රග්බි ක්‍රීඩා සමාජයේ පුහුණුකාරීත්වයට පත්ව ඇත. එළඹෙන අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් මෙම පත් කරගැනීම සිදු කර ඇති අතර තරගාවලිය ලබන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> පාසල් පිටියේ තවත් තුරුම්පු දෙකක් CR&FC ඩැහැගනියි

රග්බි පිටියට ආගන්තුකයෙක් නොවූ වයිපර් මහතා මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ද දීප්තිමත් ආදී රග්බි ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ සිටින අතලොස්සක් වූ ලෝක පුහුණුකරු තුන්වන ශ්‍රේණියේ සිටින්නන් අතරට ද වයිපර් මහතා අයත් වීම විශේෂත්වයක්. තවත් සති 14ක කාලයක් ඉතිරිව තිබීය දී පුහුණුවීම් අරඹා ඇති වයිපර් මහතා ThePapare.com සමගින් අදහස් දක්වමින් පවසා සිටියේ,

“අභියෝගය සතුටින් බාර ගන්නවා, තරගාවලියේ දැනට ශක්තිමත්ම කණ්ඩායම යුධ  හමුදා කණ්ඩායම යැයි මා සිතනවා,තරගාවලිය වෙනුවෙන් සූදානම් වෙන්නට මෙය හොඳම කාලයයි.”

“දැනට ක්‍රීඩකයින් 150ක් විතර පුහුණුවීම් කටයුතු කරගෙන යනවා, එතනින් 50කුත් පසුව 40ක් තෝරාගෙන සංචිතයක් පත් කරන්නට බලාපොරොත්තු වෙනවා.”

යුධ හමුදා කණ්ඩායම මේ වන විට ත්‍රිකුණාමල කඳවුරේ දී පුහුණුවීම් කටයුතු අරඹා ඇත. පසුගිය වසරේ දී නිලුෆර් ඊබ්‍රහිම්ගේ පුහුණුකාරීත්වය යටතේ පළමු වටයේ දී CR&FC හා CH&FC ආදී ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කළ අතර දෙවන වටයේ දී ඔවුන්ට 7 වන ස්ථානය තෙක් පසු බසින්නට සිදු විය. අශෝක් ජයලාල් , සුගත් නානායක්කාර, මනෝජ් සිල්වා වැනි ක්‍රීඩකයන් යුධ හමුදා ක්‍රීඩා සමාජයෙහි ප්‍රබල ක්‍රීඩකයින් වන අතර අද වන විට දී දක්ෂ යොවුන් ක්‍රීඩක මඬුල්ලක් ද ඔවුන් සතුව පවතියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<