ජනතාව පැතූ මැතිව්ස් ආයෙත් පිටියට?

87

ඒ 2009 වසරයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගයක් සඳහා ක්‍රීඩා කරමින් සිටියේය. පන්දුවට පහර දෙමින් සිටියේ රම්නරේශ් සර්වාන් ය. පන්දුව අතැතිව සිටියේ අජන්ත මෙන්ඩිස්ය. සර්වාන් එල්ල කළ පහර හයේ සීමාව දෙසට ඇදී ගියේය. 

එහි පන්දු ‍රකිමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස්ය. තම හිසට ඉහළින් ඇදී ආ පන්දුව සාර්ථකව රැකගැනීමට ඔහු සමත් විය. නමුත් ඔහුගේ සමබරතාව ගිලිහී ගොස් හයේ සීමාව දෙසට ඇදී ගියේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මැතිව්ස් පන්දුව නැවත පිටිය දෙසට විසිකළේය. නමුත් පන්දුව නැවතත් හයේ සීමාවට එපිටින් තිබුණි. විශ්මයකි! සියල්ලන් මවිත කරවන පිම්මක් සමඟින් ඇන්ජලෝ මැතිව්ස් පන්දුව නැවත පිටියට යොමු කලේ නියත ලකුණු 6ක් බේරාගනිමිනි. 

කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!

අවිශ්ක – කුසල් ඇතුළු පිතිකරුවන් පෙන්නුම් කළ විශිෂ්ට ….

සිදු වූ දෙය අදහාගත නොහැකිවූ විනිසුරුවන් පුනරූපන කීපයකින් අනතුරුව එය ලකුණු 6ක් නොවන බව තහවුරු කළේය. 

ඒ ඇන්ජලෝ මැතිව්ස්ය. සැබැවින්ම ඇන්ජලෝ මැතිව්ස්ය. 

2009 වසරේ දී එවැනි පන්දු ‍රැකීමක් බොහෝ දෙනෙකු දැක නැත. එය ක්‍රිකට් ක්‍රීඩාවට අලුත්ම විශේෂාංගයක් විය. පුනරූපන කීපයක් භාවිතා කිරීමට විනිසුරුවන්ට ද සිදු විය. බොහෝ දෙනා එම රැකගැනීම පිළිබඳව කතාබහට ලක්කළේය. තරගයෙන් අනතුරුව ද එය විශාල අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබුණි. 

එම කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් නැරඹූ කෙනෙකු වේ නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂතා අමතක වීමට කිසිදු හැකියාවක් නැත. ඔව්! ඒ ඇන්ජලෝ මැතිව්ස්ය. 

පන්දු යැවීම ආරම්භ කිරීමට යමෙකු අවශ්‍ය ද? ප්‍රශ්නයක් නැත. මැතිව්ස් එයට සූදානම්‍ ය. ඉනිමේ අවසන් ඕවර කිහිපයක් යැවීමට කෙනෙකු අවශ්‍ය ද? මැතිව්ස්. පන්දුවාර කීපයක් යැවිය හැකිය. විශාල ලකුණු සංඛ්‍යාවක් පසුපස හඹා යනවා ද? කඩුලු කීපයක් බිඳ වැටී ඇත්ද? මැතිව්ස් කඩුල්ලේ රැඳී සිටිනු ඇත. යාර 30 සීමාවේ හෝ හතරේ සීමාව ආසන්නයේ ඕනෑම ස්ථානයක පන්දු ‍රැකීමට ඔහුට හැකිය. 

මේ 2020 වසරයි. ඊයේ (27) පැවති කොදෙව් තරගයේ දී සූරියවැව මහින්ද ‍රාජපක්ෂ ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතුව පිරී තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 345ක් ලකුණු පුවරුවට එක් කළේය. 

කොදෙව් කණ්ඩායම තම හඹා යාමට ප්‍රබල ආරම්භයක් ලබා ගත්තේය. ශායි හෝප් හා සුනිල් ඇම්බ්‍රෝස් කඩුල්ලේ රැඳී සිටියහ. ඉසුරු උදාන එවූ පන්දුවකට ශායි හෝප් ලෙග් කලාපයෙන් පහරක් එල්ල කළේය. ඔහු සිතුවේ පන්දුව එහි සිටි ඇන්ජලෝ මැතිව්ස් පසුකර යනු ඇති බවයි. හෝප් එක් ලකුණක් සඳහා ඇම්බ්‍රිස්ට ආරාධනා කළේය. 

නමුත් ශායි හෝප් නව ඇන්ජලෝ මැතිව්ස් දැක තිබුණේ නැත. වේගවත් පිම්මක් සමඟින් පන්දුව රැක ගත් මැතිව්ස් එය ඉසුරු උදානට යොමු කළේය. කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල එසේ බිඳවැටිනි. 

ඇම්බ්‍රිස් දවා ගැනීම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ විශාල පිම්මක් විය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම අභියෝගය වී තිබුණේ ශායි හෝප් ය. ඔහුගේ ශතක 9න් 6ක්ම වාර්තා වී තිබුණේ ආසියානු කලාපයේ දී ය. මෙම කලාපයේ ඔහුගේ ලකුණු සාමාන්‍ය ලකුණු 100කට වැඩිය. 

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා …

ලකුණු 345ක් හඹා යාම එතරම් පහසු නැත. නමුත් එය කිරීමට නම් කොදෙව් කණ්ඩායමට ශායි හෝප් අත්‍යවශ්‍ය වී තිබිණි. 

පන්දු ‍යැවීමට ඇන්ජලෝ මැතිව්ස් පැමිණියේය. මැතිව්ස් ලෝක කුසලානයේ දී කොදෙව් කණ්ඩායමට අමිහිරි මතකයක් එක් කිරීමට සමත් විය. පිට ඉන්නට පිටතින් යැවූ පන්දුවට ලෙග් කලාපයෙන් පහරක් එල්ල කිරීමට හෝප් උත්සාහ කළේය. ඔහු එල්ල කළේ වැරදි පහරකි. පන්දුව සාර්ථකව රැකගැනීමට දිමුත් කරුණාරත්න සමත් විය. 

මැතිව්ස්ගේ පන්දුව එතරම් සුවිශේෂී පන්දුවක් වූයේ නැත. නමුත් එය පිතිකරුවා සම්පූර්ණයෙන් අසරණ කිරීමට සමත් විය. වැරදි පහරකට යොමුකිරීමට සමත් විය. ඔව් ඒ මැතිව්ස්ය. ඇන්ජලෝ මැතිව්ස්ය!

හෝප්ගේ දැවී යාමෙන් අනතුරුව නිකොලස් පූරාන් පිටියේ ස්ථාවර වීමට පටන්ගත්තේය. ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු 118ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 339ක අභියෝගය ආසන්නයට කණ්ඩායම ගෙන ඒමට පූරාන් සමත් විය. 

පූරාන්ගේ උඩපන්දුවද රැකගැනීමට මැතිව්ස් සමත්වූයේ අතිදක්ෂ පන්දු ‍රැකීමක් සමඟිනි. Square Leg හි පන්දු ‍රකිමින් සිටි මැතිව්ස් අඩි කීපයක් දිව යාමෙන් අනතුරුව දක්ෂ පිම්මක් සමඟින් පූරාන්ගේ උඩපන්දුව රැකගත්තේ කොදෙව් බලාපොරොත්තු සුන්කරමිනි. 

තරගය තුල එක් කඩුල්ලකට, එක් දුවද්දී දවා ගැනීමකට හා එක් උඩපන්දුවකට හිමිකම් කීමට මැතිව්ස් සමත් විය. 

මීට වසර එක හමාරකට පමණ පෙර පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන් ඉවත් වීමට සිදු විය. ඉන් අනතුරුව මැතිව්ස්ගේ නායකත්වය හා දක්ෂතා පිළිබඳව විවේචන රැසක් එල්ල වූ අතර ඔහු නායකත්වයෙන් ඉවත් විය යුතු බවට බොහෝ දෙනා පැවසීය. මැතිව්ස් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහුට කණ්ඩායමේ ස්ථානය ද අහිමි විය. 

එවකට පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ මහතා මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අදහස් දැක්වූ අතර එය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එහි දී හතුරුසිංහ මහතා පවසා සිටියේ කණ්ඩායමේම යෝග්‍යතාව තරමක ගැටලු සහගත බවත් එය මැතිව්ස්ට පමණක් අදාල නොවන බවත් ය. 

අපිට අවශ්‍ය ඔහු තවත් ශක්තිමත් වෙන්න. ඔහුගේ වාර්තා දිහා බැලුවම ඔහු දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වෙලා තියනවා. එහි දී 49 වතාවක්ම අනෙක් ක්‍රීඩකයා තමයි දැවී ගිහින් තියෙන්නේ. ඒක ලෝක වාර්තාවක්. ” හතුරුසිංහ කියා සිටියේය. 

මෙම ප්‍රකාශයෙන් කණ්ඩායමේ කළමනාකාරීත්වය හා පුහුණුකරුවන් මැතිව්ස් පිළිබඳව දැක්වූ ආකල්පය පැහැදිලි විය. පන්දු ‍රැකීමේ දී ඔහු එතරම් විශ්වාස කළ නොහැකි බවත්, අනෙක් පිතිකරුවන් අවදානමකට ලක් කරන බවත් එයින් පැහැදිලි විය. 

ඉන් අනතුරුව මැතිව්ස් පන්දු ‍යැවුවේ නැත. ඔහු ස්ලිප් ස්ථානයේ පන්දු රැකීමට යොමු විය. ආබාධ රැසක් සමඟින් ක්‍රීඩා කළ මැතිව්ස්ට ඒ නිසා අවස්ථා කීපයකදීම කණ්ඩායමෙන් ඉවත් වීමට ද සිදු විය. ඔහු වේගයෙන් දිවගියහොත් ප්‍රේක්ෂකයන් සියල්ලන්ම යම් බියකින් ඒ දෙස බලන තත්වයකට පත්ව තිබිණි. 

මැතිව්ස්ගේ පිතිකරනය එතරම් ගැටළු සහගත වූයේ නැත. ඔහු තවමත් ක්‍රීඩා රටා සියල්ලේම හොඳම ක්‍රීඩකයා වේ. ඔහු පන්දු ‍යැවීමෙන් ඉවත්ව සිටිය ද ඔහු වෙනුවට ආදේශයක් සොයාගැනීම අපහසු කරුණක් ව ඇත. 

31 හැවිරිදි වන මැතිව්ස්ට තවත් වසර කීපයක් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත. නමුත් ඔහු තෝරාගත්තේ වෙනත් මාර්ගයකි. පසුගිය දා මාධ්‍ය හමුවේ ඔහු පවසා සිටියේ 2023 ලෝක කුසලානය ඔහුගේ අවසන් තරගාවලිය වනු ඇති බවයි.

ෂොට් 10යි පිතිකරුවන් 10යි. කවුද හොඳම?

ක්‍රිකට් ක්‍රීඩාව මූලික වශයෙන් ඉරියව් තුනක එකතුවකි…..

මෙම ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනා විවේචන එල්ල කල අතර එයට හේතුවී තිබුණේ පසුගිය වසර කිපය තුල ආබාධයන් නිසා වරින් වර කණ්ඩායමෙන් ඉවත්ව සිටි මැතිව්ස් තවත් වසර 4ක් ක්‍රිඩා කිරීම තරමක අභියෝගාත්මක වන නිසාවෙනි. 

නමුත් ඉන් අනතුරුව මැතිව්ස් තම සමාජ මාධ්‍ය ඔස්සේ පුහුණුවීම් වල වීඩියෝ දර්ශන කීපයක් ප්‍රසිද්ධ කර තිබූ අතර එයට ඔහුගේ ව්‍යායාම, බර ඉසිලීම්, උඩුකය ඡායාරූප ඇතුළත් විය. මැතිව්ස් තම බර අඩුකරගැනීම හොඳින් පෙනෙන්නට තිබිණි. 

පසුගිය ඉන්දීය තරගාවලියේ දී ආරම්භක පන්දු යවන්නා වූ මැතිව්ස් තම නැවත ආගමනය සටහන් කලේ සිම්බාබ්වේ තරගාවලියේ දී ලබා ගත් ද්විත්ව ශතකයත් සමඟිනි. ඉන් අනතුරුව ඊයේ පැවති තරගයේ දී ඔහුගේ තවත් දක්ෂතා දැකගත හැකි විය. 

2017 වසරේ ජූලි මාසයෙන් අනතුරුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැත. නමුත් ඉන් දිස්වූයේ 2012 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව කිසිඳු තරගයක් පවත්වා නොමැති ආකාරයකි. 

සශ්‍රීක කොළ පැහැති පිට්ටනියේ මැතිව්ස් දෙස බලාසිටීම, short extra cover කලාපයේ සිට long on දක්වා පන්දුව ලුහුබැඳීම, අති දක්ෂ පිම්මක් සමඟින් උඩපන්දු ‍රැකගැනීම, විදුලි වේගයෙන් ලබාගත් දුවද්දී දැවී යාම්, සැබවින්ම අපි සියල්ලන්ම එක් රාත්‍රියක් සඳහා අතීතයට ගියා වැනිය.

Vintage Angelo Mathews…. Welcome back! By Estelle Vasudevan ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<