“දේශීය තරගවලට වේගවත් තණතිලි ලබා දෙන්න” – වාස්ගෙන් ඉල්ලීමක්

2174

2016/17 වර්ෂ පදනම් කර ගනිමින් පැවැත්වුණු ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් 15 දෙනා අතරින් 14ක්ම දඟපන්දු යවන්නන් බවට පත්විය. ඒ අතරිනුත් පසුගිය දේශීය තරගවල දී වැඩිම කඩුලු ලාභීන් දෙදෙනා බවට පත්වූ මාලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන් අද (12) පල්ලෙකැලේ දී ආරම්භ වූ ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවන් දෙදෙනා බවට පත්ව සිටිති.

“පන්දු යවන්නන් අද සාර්ථකව පන්දු යැව්වා. විශේෂයෙන්ම අපේ දඟපන්දු යවන්නන්. පළවෙනි දවසේ ඔවුන්ව ලකුණු 320කට තියා ගන්න අපිට පුළුවන් වුනා. මට අපේ දඟපන්දු යවන්නන් ගැන හුඟක් සතුටුයි. ඒ වගේම, අවසන් කොටසේ දී විශ්ව ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ පන්දු යැවීමේ වාර දෙකත් ඉතාම හොඳයි.” පළමු දිනය සඳහා තරගය නතර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් කියා සිටියේය.

ධවාන්ගේ ගිනිකෙළි මැද මාලින්දගෙන් සුබ පෙරනිමිති!

ඉන්දීය කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ ජය හිමිවීමෙන් අනතුරුව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ…

පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය (SLSCA) නවතම නීතියක් හඳුන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ වයස අවුරුදු 15න් පහළ සිට 19න් පහළ දක්වා තරගවල මුල් පන්දුවාර 10 අනිවාර්යයෙන්ම වේගපන්දු යවන්නන් විසින් යැවිය යුතු බවයි. මෑතක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස අවුරුදු 23න් පහළ තරග සඳහා ද මෙම නීතිය ක්‍රියාවට නැංවූ නමුත් දේශීය ක්‍රිකට් තරගවල දී කණ්ඩායම් ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත.

“පළමු පෙළ ක්‍රිකට් තරගවල තත්ත්වය පිළිබඳව අපට සෑහීමකට පත් වීමට නොහැකියි. වේගපන්දු යවන්නන්ටත් ප්‍රතිඵලදායක ලෙස පළමු පෙළ තරග පැවැත්වීමට අපට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. අපි පළමු පෙළ තරගවල ඇති දුර්වලතා ගැන නිරන්තරයෙන්ම කතා කළත්, ප්‍රශ්නය තවමත් එතැනමයි. අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමට නම්, ඒ වගේම වේගපන්දු යවන්නන් ගණන ඉහළ දමා ගැනීමට නම්, වේගපන්දු යවන්නන්ටත් උචිත අයුරින් සාධාරණ තණතිලි නිර්මාණය කිරීමට සිදු වෙනවා. ඒ දේ අපිට ක්‍රියාත්මක කිරීමට හැකි වුනොත් මා විශ්වාස කරනවා අපේ පන්දු යවන්නන් මීට වඩා සෑහෙන දියුණුවක් පෙන්නුම් කරයි කියලා.” වාස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

අද දිනයේ තරගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ක්‍රීඩාංගණය භාරකරුවන් විසින් කප්පාදු කිරීමට පෙර තණතිල්ල මත සැලකිය යුතු තරම් ප්‍රමාණයක් තණකොළ ඉතිරි වී පැවතුණි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙසින් හැඳින්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද අද දිවා විවේකයෙන් අනතුරුව දඟ කැවෙනු දැක ගන්නට ලැබුණි. “තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍යයි. අපි දුටුවා පළමු පැය කිහිපයේ දී තණතිල්ල හැසිරුණු අයුරු, ඒ වගේම පිතිකරුවන් ලකුණු ලබාගත් ආකාරයත්, මේ දර්ශීය පල්ලෙකැලේ විකට්ටුවයි.” වාස් පැවසුවේය.

“මෑත කාලයේ දී වේග පන්දු යවන්නන් තරග අතරතුර දී දැඩි ලෙස ආබාධ වලට ලක්වුනා. එය ශ්‍රී ලංකා පිළේ තරග සැලසුම්වලටත් විශාල බාධාවක්. එය ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රශ්නයක් ද? කැපවීමේ අඩුපාඩුවක් ද?” වසර 15කට වැඩි කාලයක් ක්‍රීඩාවේ නිරත වෙමින් ජාත්‍යන්තර කඩුලු 750කට වඩා බිඳ හෙලා ඇති, එදා මෙදාතුර ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොඳම වමත් වේගපන්දු යවන්නාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේය.

“හොඳයි, ඒක ශාරීරික තත්ත්වය සමඟ සම්බන්ධ දෙයක්. මා සාර්ථකත්වය කරා ආ අයුරු, මා පුහුණුවීම්වල යෙදුණු අයුරු, තරග අතරතුර දී පන්දු යැවූ අයුරු සහ අද කාලයේ සිටින සමහර තරුණ වේගපන්දු යවන්නන්ගෙන් ක්‍රියා කලාපය අතර වෙනසක් දැකිය හැකියි. අපිට ඔවුන්ගේ ශරීරය පිළිබඳව අවබෝධ කර ගෙන ඊට ගැළපෙන විවිධ ආකාරවලින් ප්‍රතිකාර ලබා දිය යුතු වෙනවා. ඔවුන්ව අනාගතයට ගෙන යාමට එය ඉතාමත්ම වැදගත් වේවි.” වාස් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියේය.

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නන් දෙදෙනෙකු වන නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අතරතුර දී ආබාධවලට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුරප්පාඩු පිරවීම සඳහා අත්දැකීම් අතින් අඩු යොවුන් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ලහිරු කුමාර (8 වැනි ටෙස්ට් තරගය) සහ විශ්ව ප්‍රනාන්දු (2 වැනි ටෙස්ට් තරගය) කැඳවීමට සිදු විය.

චමීර, ගමගේ 3 වන ටෙස්ට් තරගයට

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ 3 වන හා අවසාන ටෙස්ට් තරගය හෙට (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත…

ඔවුන් දෙදෙනාම අද පළමු හෝරාව අතරතුර දී බලාපොරොත්තු වූ තරම් ඉහළ මට්ටමකින් පන්දු නොයැවීමේ ප්‍රතිඵලයක් ලෙස ශිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් අතරේ දැවැන්ත සබඳතාවයක් ද දළුලා වර්ධනය විය. කෙසේ වෙතත් අද දිනය නිමා වීමට ආසන්නව තිබිය දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නව ජවයකින් යුතුව පන්දු යවමින් පන්දුවාර 34ක දී ලකුණු 135ක් පමණක් ලබා දෙමින් කඩුලු කිහිපයක් ද දවා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් වේගපන්දු යවන්නන් අතුරින් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වූයේ විශ්ව ප්‍රනාන්දු පමණකි.

“මං හිතන්නේ, ඔවුන්ට තවත් තරග ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ඔබ පළමු පෙළ තරග සැලකුවොත් ඔවුන්ට හොඳ අත්දැකීමක් ලබා ගැනීමට කාලයක් හිමිවන්නේ නෑ. ඔබ ඕනෑම රටක වේගපන්දු යවන්නෙකු ගත්තොත් ඔහු සාර්ථකව පන්දු යැවීම ආරම්භ කරන්නේ ටෙස්ට් තරග 20-25ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. ඒ නිසා අපිට විශ්වගෙන් හෝ ලහිරුගෙන් ක්ෂණික විප්ලවයක් බලාපොරොත්තු වීමට නොහැකියි. නමුත් ඔවුන්ට තවදුරටත් ඉහළට යාමට අවශ්‍ය ලෙස මානසිකත්වය රඳවා ගත යුතු වෙනවා. නිරන්තර පුහුණුවත්, වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමත් අතිශයින්ම වැදගත්. ඔවුන්ට තවදුරටත් ගොඩනැගීමට වැඩි තරග ගණනක අත්දැකීම් මනා පිටුවහලක් වේවි.” වාස් කියා සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට