උතුර දකුණ සහෝදරත්වයේ ශූරතාව ආනන්දයට

446

කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර වී. ටී. එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති, උතුර දකුණ සහෝදරත්ව වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට සංචාරක ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (15දා) සමත් වූහ. මෙම තරගය යාපනය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

අන්තර් පළාත් කුසලානයට 15න් පහළ ක්‍රීඩකයින් සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ බීජාංකුර නැතහොත් ජාතික සිහිනය ජය ගැනීමට වෙර දරණ යොවුන් ක්‍රීඩකයින්ගේ තිඹිරිගෙය වන “ප්‍රීමා කුසලාන…

වී. ටී. එස්. සිවගුරුනාදන් යාපනය හින්දු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම ඔහු 1916 වසරේ සිට 1942 වසර දක්වා ආනන්දයේ සේවය කළ ආනන්දනීය ගුරුවරයෙකි. ශිෂ්‍යයෙක් ලෙසත් ගුරුවරයෙක් ලෙසත් විද්‍යාල දෙකේම නාමයන් කීර්තියෙන් බැබළවූ මේ වියතාණනන් සිහි කිරීම පිණිස 2012 වසරේ ආනන්ද විද්‍යාලයීය 125 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම තරගාවලිය “Wielding the Willow” නමින් ආරම්භ කෙරුණි.

ආරම්භක වසරේ දී ම මෙම තරගයේ ජයග්‍රහණය ආනන්ද විද්‍යාලය ලැබූ අතර එතෙක් මෙතෙක් පැවති තරග අතරින් 2013 වසරේ දී පමණක් හින්දු විද්‍යාලය මෙම තරගය ජයග්‍රහණය කර ඇත. ආරම්භක වසර කිහිපයේ මෙම තරගය දින දෙකක ඉනිම් තරග ලෙස පැවති අතර මේ වන විට තරගය එක්දින සීමිත පන්දුවාර තරගයක් සේ පැවැත්වේ. අද නිමා වූයේ මෙම තරගමාලාවේ 6 වැනි තරගයයි.  

කාසියේ වාසිය දිනූ සත්කාරක හින්දු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම ඉනිම ලකුණු 130කින් නිමා කළේ පන්දුවාර 45කට පමණක් මුහුණ දෙමිනි. ප්‍රතිවාදී ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 27ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් දැවි සපුරා ගත්හ.

තරගයේ කැපී පෙනෙන ම දක්ෂතාවක් දැක්වූයේ හින්දු විද්‍යාලයේ හර්ෂාන්ත් කජිනාත් ය. ඔහු ලකුණු 52ක් ලබා ගත්තේ ය. එම ඉනිමට පන්දු 64ක් වැය වූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් කෙරුණි. ඊට අමතරව පිත්තෙන් දක්ෂතා දැක්වීමට එස්. ශාන්තාස් (20) සහ වී. සිවලක්ෂ්මන් (16) සමත් විය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ හසිඳු ශාමික ලකුණු 3කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව නදීෂ ප්‍රනාන්දු සහ කවිඳු ගිම්හාන් කඩුලු 2 බැගින් දවා ගත් හ.

ප්‍රතිවාදී ඉනිමේ දී ලහිරු අතුකෝරල ලකුණු 34ක් ලබා ගනිමින් ආනන්ද ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඊට අමතරව දුශාන් හෙට්ටිගේ (21) සහ කවිශ්ක රන්තිලක (26) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

මෙම ජයග්‍රහණයත් සමඟ පැවති තරග 6න් තරග 5ක ජයග්‍රහණය කොළඹ ආනන්ද විද්‍යාලය විසින් වාර්තා කිරීමට සමත් වූ අතර යාපනය හින්දු විද්‍යාලයට මෙතෙක් ජය ගත හැකිව ඇත්තේ එක් තරගයක් පමණි. ආනන්ද විද්‍යාලය 2014 වසරේ සිට ම වී. ටී. එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය තමන් සන්තක කර ගෙන සිටී.

ලකුණු සාරාංශය

හින්දු විද්‍යාලය; සියලුම දෙනා දැවී 130 (45.0) හර්ෂාන්ත් කජිනාත් 52, එස්. ශාන්තාස් 20, වී. සිවලක්ෂ්මන් 16, හසිඳු ශාමික 3/03, නදීෂ ප්‍රනාන්දු 2/28, කවිඳු ගිම්හාන් 2/36

ආනන්ද විද්‍යාලය; කඩුලු 5ක් දැවී 131 (27.0) ලහිරු අත්තනායක 34, දුශාන් හෙට්ටිගේ 21, කවිශ්ක රන්තිලක 26, කවිඳු ගිම්හාන් 18

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට