අවසන් පන්දුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පිලට ජය

523
Sri Lanka Development cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් එක්දින තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් පන්දුව දක්වා දිවුණු විශිෂ්ට හඹා යාමකින් පසු දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිනුයි.

පසුගිය ලිපි: සංවර්ධන කණ්ඩායමට තවත් පරාජයක්

ප්‍රිටෝරියා හීදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල කණ්ඩායමේ නායකයා තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි.

අනුක් ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු පුවරුවට එක්වී තිබුනේ ලකුණු 10ක් පමණයි.

දෙවන කඩුල්ලට අගනා ලකුණු 123ක සබඳතාවක් ගොඩනගන්නට ජෙනමන් මාලන් සහ විහාන් ලූබේ සමත් විය.

ලූබේ ලකුණු 95ක් රැස් කළේ හතරේ පහර 7ක් සමගිනුයි. මාලන් ලකුණු 69ක් ලබා ගන්නා ලදී. ඔවුන් දෙදෙනා දැමූ අඩිතාලමෙන් උපරිම ප්‍රයෝජන ගත්  මැදපෙළ පිතිකරුවන් කණ්ඩායම ලකුණු 300 සීමාව අසලටම ගෙන යන්නට සමත් විය.

ඩෙලානෝ පොට්ගීටර් වේගවත් 40ක් ලබා ගනිද්දී, තෝමස් කාබර් නොදැවී ලකුණු 44ක් රැස් කරන ලදී. මේ අනුව දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299කි.

දකුණු අප්‍රිකානුවන්ට පන්දුවෙන් ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට හැකිවුණේ සංජය චතුරංගට පමණයි. ඔහු තම පන්දුවාර 10 තුල ලකුණු 47කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා සංවර්ධන කාණ්ඩයේ ක්‍රීඩකයන් පළමු පන්දු වාරයේ සිටම ධනාත්මක මනසකින් ලකුණු රැස් කරන බවක් දක්නට ලැබුණි.

ලබා ගත යුතු දල ලකුණු වේගය සැම විටම පාලනය කරගත හැකි මට්ටමේ රඳවා ගැනීමට මුල් පෙළ පිතිකරුවන් සියලු දෙනාම පාහේ දායකත්වය ලබා දීම කැපී පෙනුණු කරුණක් විය.

සඳුන් වීරක්කොඩි පන්දු 38කින් ලකුණු 48ක් ලබා ගනිද්දී අනෙක් ආරම්භක පිතිකරු හෂාන් දුමිඳු අර්ධ ශතකයකින් තම දායකත්වය සපයන්නට සමත් විය.

සධීර සමරවික්‍රම ලකුණු 24යි. සිවුවන කඩුල්ලට පිටියේ එක්වූ ලහිරු මිලන්ත සහ නායක රුමේෂ් බුද්ධික ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරන්නට සමත් විය.

මලින්ත හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුලත්ව ලකුණු 70ක් ලබා ගනිද්දී අනෙක් අන්තය ආරක්ෂා කරගත් බුද්ධික රැස් කළ ලකුණු සංඛ්‍යාව 22කි.

ඊයේ දිනයේ අසාර්ථකවූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුනේ ඇන්ජලෝ ජයසිංහයි. ඔහු රැස් කළේ ලකුණු 2ක් පමණි.

පන්දුවෙන්ද දස්කම් දැක්වූ සංජය චතුරංග ඉනිමේ අවසන් භාගයේදී තම පිත්තේ සවියත් ප්‍රදර්ශනය කලේ පන්දු 28ක් තුල හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමග වේගවත් ලකුණු 38ක් රැස් කරමිනි.

අවසන් පන්දු වාර 2 තුළ ලකුණු 21ක් ලබා ගැනීමේ ඉලක්කය වෙත යන්නට මග සකස් කළ චතුරංග ජය පෙනී පෙනී දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට නැවත බලාපොරොත්තු ලබා දෙමිනි.

කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවට හතරේ පහරක් එලල කරමින්, තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම දරූ උත්සාහය අපතේ නොයන බවට තහවුරු කලේ කසුන් මධුශංකයි.

කලකට පසු මුළු කණ්ඩායමේම ක්‍රීඩකයන්ගෙන් ලද සමාන දායකත්වයක් තුලින් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබ පෙර ලකුණක් වනු නොඅනුමානය.


ලකුණු පුවරුව.

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – 299/6 (50) –  විහාන් ලූබේ – 95, ජෙනමන් මාලන් – 69, තෝමස් කාබර් – 44*, ඩෙලානෝ පොට්ගීටර් – 40, සංජය චතුරංග – 3/47, කේෂාන් විජේරත්න – 1/38

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 303/7 (50) – ලහිරු මිලන්ත – 70*, හෂාන් දුමිඳු – 52, සඳුන් වීරක්කොඩි – 48, සංජය චතුරංග – 38, සධීර සමරවික්‍රම – 24, ලිසාඩ් විලියම්ස් – 2/64

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අවසන් පන්දුවේදී කඩුලු 3ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට