ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන අතරතුර “පොකට් රේඩියෝව” (2000න් පෙර දරුවන් දනියි) කනට කිට්ටුවෙන් තබාගෙන විස්තර විචාරයන්ට සවන් දුන් ඔවුන්, රාජකාරි නිමාවී නිවසට ගියේද තරගය ප්‍රචාරය වන රූපවාහිනී වෙළඳාම් ආයතනයක් ඉදිරියේ නැවතී කඩල ගොටු හිස්කරමින් ඔල්වරසන් නගමිනි. මහන්සිය හෝ රෑබෝවීම අදාළම නැත. එහෙත් අද එවන් උග්‍ර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැකගත හැක්කේ පාසල් මහා ක්‍රිකට් තරග අතරතුරදී පමණි.

cricketmonthly.com
cricketmonthly.com

ජංගම දුරකථන තාක්ෂණය සහ අන්තර්ජාල පහසුකම් නිසා බොහෝ දේ වෙනස්වී ඇතැයි ඇතැමෙකු තර්ක කරාවි. එහෙත් ප්‍රේක්ෂකයන් ක්‍රිකට්වලින් ඈත්වුණේ ඔවුන්ව සතුටු කරමින් ඔවුන්ව ලෝකයට ගෙනගිය එකම ක්‍රීඩාව, එහි භාරකරුවන්ගේ ආදරයට පාත්‍ර නොවීම නිසයි. මේ ලිපිය, තාක්ෂණයෙන් සැපිරිය නොහැකි අවාසනාවන්තකම් නිසා ශ්‍රී ලාංකික ක්‍රිකට් පිස්සන්ටසිදුවූ අසාධාරණකම් ගැන යි.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 4, 5 අතර රැඳීමට ලැබීම ක්‍රිකට් කණ්ඩායමක් සැබවින්ම ලබන වාසනාවකි. තරගකාරී කණ්ඩායම් සමඟින් වඩා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී මූල්‍යමය ස්ථාවරත්වය සහ දක්ෂතාවය වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබීම ඊට හේතුවයි. ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියේ රැඳෙන රටවල්වල ප්‍රේක්ෂකයන් ඉන් ලබන සතුට වන්නේ ගෞරවනීය ජාතියක් ලෙස අනෙකුත් ජාතීන් අතර හිස ඔසවා සිටීම යි.

80 දශකයේදී එහි පහතින් සිට උත්සාහයෙන් ඉහළට නැග, 90 දශකයේදී ලොව දිනූ ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අපහසුතාව නම් බංගලාදේශය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායම්වල ශීඝ්‍ර ඉහළ නැග්මයි. 90 දශකයෙන් පසු නිතරම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයට ඉහළින් සිටිමින් දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔල්වරසන් දුන් ක්‍රිකට් පිස්සන්සේ හැඳින්වුණු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඉන් පසුව අත්විඳින අවාසනාවන්තම කාල පරාසය මෙයයි. ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ බංගලාදේශයත්, 8 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවත්, 9 වැනි ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, 10 වැනි ස්ථානයේ ඇෆ්ගනිස්තානයත්, 11 වැන්නේ සිම්බාබ්වේත් මේ වන විට රැඳී සිටියි.

පසුගියදා පැවති සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී 3-2ක් ලෙස පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකාවේ දුර්වලතා තවත් පැහැදිලිව ලොව හමුවේ ප්‍රදර්ශනය වී තිබේ. මීළඟ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නම් ශ්‍රේණිගත කිරීමේ අවසන් රටවල් කිහිපය සමඟින් සුදුසුකම් ලැබීමේ වටයේදී සටන්වැදීමට ශ්‍රී ලංකාවට දැන් සිදුවී ඇත්තේ ලැජ්ජා සහගත ලෙසයි.

ප්‍රබලයෙන් සේ හැඳින්වුණු ශ්‍රී ලංකාව පහළට රූටායෑමටත්, දුබලයන් සේ හැඳින්වුණු රටවල් ඉහළට නැගීමටත් හේතුකාරණා මොනවාද? ශ්‍රේණිගත කිරීමේ 7 වැන්නේ සිටි බංගලාදේශයේ ක්‍රිකට් පද්ධතිය සහ එහි වෙනස්කම් ඔවුන්ගේ ක්‍රිකට්වලට බලපෑ ආකාරයත්, ශ්‍රී ලංකාවේ නොසැලකිල්ල අපගේ ප්‍රේක්ෂකාකර්ෂණයේ මළගමට හේතු වූ ආකාරයත් ගැන කෙටි හැදෑරීමකට කාලයයි මේ.

අන්තිමයාගේ නැගිටීම

courtesy - thedailystar.net
courtesy – thedailystar.net

බංගලාදේශය තරගකාරී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ 1979 ICC කුසලානයට සහභාගී වෙමිනි. 1997 වර්ෂයේදී පැවති ICC කුසලානය ජයගෙන 1999 එංගලන්තයේදී පැවති ලෝක කුසලානය සඳහා සහභාගී වීමේ වරම හිමිකරගත්තත් ක්‍රිකට් ලොවේ නමක් දිනාගන්නට ඔවුන්ට කලක් ගතවිය.

ප්‍රථමයෙන් තමාගේ ක්‍රිකට් පද්ධතිය කෙසේ නිර්මාණය කළ යුතුද යන ගැටලුවට පිළියම් සෙවූ ඔවුන්, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ විශ්ලේෂකයෙකු වන කාල්ටන් බර්නැන්ඩස් මහතා වැනි උගතුන්, බුද්ධිමතුන් යොදාගෙන සඵලදායී අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් නිර්මාණය කරගත්තේය. අද මේ අප දකින්නේ එහි සාර්ථකත්වයයි.

මීළඟට ඔවුන් අවධානය යොමුකළේ තමන්ට වඩාත් ගැළපෙන පුහුණුකරුවන් සහ කාර්යමණ්ඩලයක් තෝරාගැනීමටයි. යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් වර්ධනය කරන්නෙකු ලෙස ලෝකයේම නමක් දිනාගත් ඩේව් වට්මෝර්ව ඔවුන් විසින් පුහුණුකරු ලෙස තෝරාගැනෙන්නේ ඉන් පසුවය. ඔහු වටා දක්ෂ කාර්යමණ්ඩලයක්ද එකතු කොට 2005දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට ඔවුන් සමත් විය. නමුත් එකදිගට ජයග්‍රහණ ලැබීම එතරම් පහසු වූයේ නැත.

පසුව ඔවුන් තම වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීම වැදගත් බව හඳුනාගනිමින් ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායකව කෙටිකලකට එහි කැඳවාගෙන අංකුර වේගපන්දු යවන්නන් හඳුනාගත්තේය. අද ඔවුනට ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහ්මාන් වැනි කඩුලු ලබාගන්නා වේගපන්දු යවන්නන් නිර්මාණය වී තිබේ.

courtesy - imgci.com
courtesy – imgci.com

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සැලකිය යුතු කොටසක අයිතිය තමන් සතුකරගනිමින් ඉන්දියාව, ඉන්දියානු ප්‍රීමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය (IPL) ඇරඹීමෙන් පසුව ලොව පුරා විස්සයි – විස්ස ලීග් තරගාවලි ඇරඹිණි. ඉන් මූල්‍ය ශක්‍යතාවයත්, ක්‍රීඩකයන්ට විදෙස් ක්‍රීඩකයන් හා පුහුණු අත්දැකීමුත් ලබාගත හැකි බව හඳුනාගනිමින් බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය (BPL), කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය (CPL), ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය (SLPL) ද ඇරඹිණි. අනෙක් සියලු ප්‍රීමියර් ලීග් තරගාවලීන් එලෙසම ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය කොහේ ගියේ දැයි අපි තවමත් සොයනෙමු. ත්‍රස්තවාදය ඇඟේ ගාගත් පාකිස්තානයටද අද ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් ඇති අතර යුධ ගැටුම් හේතුවෙන් සුන්නද්ධූලි වී ගිය ඇෆ්ගනිස්තානයටද එවැන්නක් ඇත. අපට ඉතිරි වූයේ SLPL සමාරම්භක උත්සවය තුළ ගායනා වූ ගීත සහ කළ නර්තයන් පමණි.

අන්තිමයන්ගේ කතාව මෙසේ ගලායද්දී බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ 2014 වසරේදී යි.

Hathuraශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් සැලකිල්ලට නොගත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංගලාදේශ ප්‍රධාන පුහුණුකාරීත්වයට කැඳවීම, ශ්‍රී ලංකාවේ අවාසනාවත්, බංගලාදේශයේ වාසනාවත් මැනවින් කියාපෑවේය. ශ්‍රී ලංකාව විදෙස් පුහුණුකරුවන් පසුපස බඩගාද්දී බංගලාදේශයට පිටත්ව යන හතුරුසිංහ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හමුවූ පළමු අවස්ථාවේදීම ඔවුන්ට තදින් කියාසිටින්නේ “කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන කිසිවෙකු තමන්ගේ කණ්ඩායමට ඇතුළත් නොවනු ඇති බව”යි. තම තමාගේ බඩවියත රැකගැනීම වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි කිහිපදෙනෙකුම බංගලාදේශ කණ්ඩායමෙන් නෙරපා දමන්නේ ඒ අනුව ය.

චන්දිකත් සමඟ ශ්‍රී ලංකාවේ පන්දුරැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ, අභ්‍යාසක මාරියෝ වෙල්ලවරායන් යන අයද ශ්‍රී ලංකාව හැරයන්නේ ඔවුන්ට “නවතින්නැ”යි කියූ එකම පිරිස, සුළු ප්‍රේක්ෂකයන් පිරිසක් පමණක් වූ බැවිනි. අප දුටුවේ කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකුට ඔවුන්ව නවතා ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

courtesy - imgci.com and courtesy - dhakatribune.com
courtesy – imgci.com and courtesy – dhakatribune.com

ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රහිතව පළමු තරගාවලි දෙකම පරාජය වූ හතුරුසිංහගේ කණ්ඩායමට ලබාදිය යුතු දෑ හතුරුසිංහ විසින් හඳුනාගන්නේ අත්දැකීමෙනි. ඔවුන්ගේ දස්කම්වල අඩුවක් නොදකින ඔහු ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමට පියවර ගන්නේ එබැවින් ය. පසුව ටෙස්ට් තරග 3ක් සහ එක්දින තරග 5ක් සඳහා සියරට වෙත ආ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශය හමුවේ 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලියත්, 5-0ක් ලෙස එක්දින තරගාවලියත් පරාජය වන්නේ “සුදුහුණු ගෑමක්” අත්විඳිමිනි. “සිම්බාබ්වේත් මහ කජ්ජක්ද?”යි විමසන කිහිප දෙනා වෙත සිනහවකින් සංග්‍රහයක් කරමු. ඔව්, සිම්බාබ්වේ මහ කජ්ජක් බව අප විසින් ඔප්පු කර හමාර ය.

එම තරගාවලියෙන් අනතුරුව ෂකීබ් අල් හසන්, සෑම ක්‍රිකට් රටාවකදීම ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්විය.

courtesy - thedailystar.net
courtesy – thedailystar.net

පසුව 2015 ලෝක කුසලානයට සහභාගී වන ඔවුන් එහිදී තම ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹායාම වාර්තා කළේ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 318ක් හඹායමිනි. “ස්කොට්ලන්තය දුබල කණ්ඩායමක්” යැයි කියන කිහිප දෙනාටද සිනහවකින් සංග්‍රහයක්. 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙර පුහුණු තරගයකදී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය හමුවේ පරාජය වූයේ කඩුලු 7කිනි.

පසුව බංගලාදේශයට යන පාකිස්තානයද 3-0ක් ලෙස බංගලාදේශයේදී පරාජය වන්නේ හතුරුසිංහගේ සැලසුම් සහ ක්‍රීඩකයන්ගේ කැපවීම් එකලෙස සම වීම නිසයි. බංගලාදේශයට අහිමි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගැන කනගාටු වනු වෙනුවට ඔවුන් කණ්ඩායමට නව්‍ය ජවය යොදවාගත්තේය. ඒ නවක ක්‍රීඩකයන්ට විශ්වාසය ලබාදීම සිදුකරන ලද්දේ දිගින් දිගටම ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම මඟිනි. අපහසු තත්වයන් යටතේ ක්‍රීඩකයන් අසාර්ථක වූ විට බංගලාදේශය කලබල වන්නේ නැත. පහසු අවස්ථාවල නොසැලකිලිමත් වන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් නෙරපාදමන්නට ඔවුන් පසුබාන්නේද නැත. එයයි හරි මඟ. මහමුද් උල්ලා දෙස අවධානය යොමුකරමු.

දක්ෂතාවයෙන් සපිරුණද එය කොතැනදී හරිහැටි යෙදිය යුතුදැයි මහමුද් උල්ලා දැන සිටියේ නැත. බංගලාදේශ පුහුණුකරුවන් ඔහුව කණ්ඩායමේ තබාගත්තේ නැත. එහෙත් බංගලාදේශ පුහුණුකරුවන් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කොට ඔහුව මියැදෙන්නට නොහැරියේය. ඔහුගේ මනස කාර්යක්ෂම කළේය. අවසානයේදී ඔහුට කළහැකි දේ 2017 ශූරයන්ගේ කුසලානයේදී අපට දැකගත හැකිවිය. කණ්ඩායමත් උල්ලාත් රැකිණි. ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, ලහිරු ගමගේ වැනි දක්ෂතාවයෙන් පරිපූර්ණ තරුණ ක්‍රීඩකයන් රැසක් මෙහිදී සිහිවී කණගාටුවක් ඇතිවේ. ඔවුන්ටද උපන්නට තිබුණේ බංගලාදේශයේ යැයි අද්භූත අදහසක් දැන් ජනිත වේ.

courtesy – zimbio.com
courtesy – zimbio.com

කෙසේ වෙතත් අනිසි ඇඟිලි ගැසීම්වලින් තොර බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළිනි. ශ්‍රී ලංකාව වැටී සිටින වලෙන් ගොඩ එන්නට කුමක් කළ යුතුද? ක්‍රීඩකයන්ගේ දස්කම් වල අඩුවක් ඇත්ද? නැත. කොහිද අඩුව?

ප්‍රබලයාගේ නිදා වැටීම

ශ්‍රී ලංකාව 1975 සිට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අතර 1996 ලෝක කුසලානයද, 2007 ලෝක අනුශූරතාවයද, 2011 ලෝක අනුශූරතාවයද දිනා ඇත. ආසියානු ක්‍රිකට් පිටිය තුළ ඉන්දියාවට අභියෝගයක් වූ ප්‍රබලතම එක්දින කණ්ඩායම ශ්‍රී ලංකාව බැව් සනාථ වන්නේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ආසියානු ශූරතාව පස්වරක් බැගින් දිනා ඇති බැවිනි. ලොව ප්‍රමුඛ පෙලේ ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් රැසක්ද පන්දුයවන්නන් රැසක්ද ලොවට දායාද කර ඇති ශ්‍රී ලංකාව, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් සෑම දකුණු ආසියානු රටකටම වඩා කුඩා දිවයිනකි.

ගාමිණී දිසානායක මැතිතුමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිට ශ්‍රී ලංකා ක්‍රිකට් භාරව කටයුතු කරද්දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණි. ඒ 1982 වසරේදීයි. ඉන් වසර 14ක් පමණක් ඉක්මයන 1996 වසර වන විට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර වන්නේ අන් කිසිවක් නොව, එවකට ක්‍රිකට් බලධාරීන් සිදුකළ අවංක සේවයත්, අමාත්‍යවරයාගේ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික හැකියාවනුත්, ශ්‍රේෂ්ඨ නායක අර්ජුන රණතුංග වැනි කෙලින් වැඩකරන නායකයෙකුගේ ශක්තියයි. ඔහු වටා සිටි තරුණ කණ්ඩායම එකක් හැටියට පවත්වාගනිමින් ’96දී ඔහු දැක්වූ වික්‍රමය සැබවින්ම උත්කෘෂ්ට ය.

cricketmonthly.com
cricketmonthly.com

නාහෙට නාහන තරුණයන්ගේ මූණටම කළ යුතු දෑ පහදන අර්ජුන වැන්නෙකුගේ අඩුව අපට දැඩිව දැනේ. සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර ධර්මසේන, රොමේෂ් කළුවිතාරණ වැනි ලෝක ප්‍රකට ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් නිපදවෙන්නේ අර්ජුනගේ දක්ෂ පාලනය නිසයි. ඊට අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම වැන්නන්ගේ දස්කම් එකතුවී “එකම කණ්ඩායමක් ලෙස තරග කිරීම” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරුද්ද බවට පත්විය.     

අර්ජුන වැන්නෙකුට සහය දක්වන්නට එකල ආනා පුංචිහේවා, දුලිප් මෙන්ඩිස් වැනි ප්‍රවීණයන් එකල ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ සිටියේය. එහෙත් ’96න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඇදී ආ දැවැන්ත මුදල් සම්භාරය නිසා විවිධ දේශපාලකයන් සහ මුදලට කෑදරයන් ඊට අතපෙවීමට නොයෙකුත් උත්සාහයන් දැරීය.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ශ්‍රේෂ්ඨ පිතිකරුවන්ද අර්ජුන යටතේ හැදීවැඩීම මුළුමහත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාවම ලත් භාග්‍යයකි. එතැනින් ගොඩනැගුණු මහේල සහ සංගා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙනගියේය. එහෙත් ඔවුනටද දේශපාලන අතපෙවීම් දරාගත නොහැකි වූ බව නොයෙක් අවස්ථාවන්වලදී අසන්නට ලැබිණි. තිලකරත්න ඩිල්ෂාන් වැනි “ජයග්‍රහණය වෙනුවෙන්ම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්” විසින් තනිව තරග ඇදගෙන යෑම නිසා තරග ජයගත්තද කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අවස්ථාවන් ගණන කෙමෙන් අඩුවන්නට විය.

courtesy - ndtvimg.com
courtesy – ndtvimg.com

අවසානයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ද මහේල, සංගා, ඩිල්ෂාන් සහ මාලිංග යන උන්මාදය තුළ සිරවූයේ “කණ්ඩායම් ක්‍රිකට්” අමතක කරමිනි. දැන් මේ අප විඳවන්නේ එහි අඳුරු ප්‍රතිඵල යි. මහේල, සංගා සහ ඩිල්ෂාන් විශ්‍රාම ගොස් වසරින් වසර ගෙවීගියත් අප තවමත් ඔවුන් ගැනම කතාකරමින් කල්මරමින් සිටියි. ඕස්ට්‍රේලියාව උදාහරණයකට ගනිමු. ලොව ශ්‍රේෂ්ඨතම පිතිකරුවන් ඔවුන්ගේ කණ්ඩායමෙන් සමුගනිද්දී ඔවුන් අතීතකාමය හැරදමා නවක දක්ෂයන් වෙත අවධානය යොමුකරමින් නවකයන්ව රැකබලාගනියි. කළ යුත්තේ එය නොවේද?

විසඳාගතයුතු ගැටළු

පාසල් ක්‍රිකට්

පාසල් ක්‍රිකට් තුළින් අරඹමු. දින දෙකේ පාසල් මහා ක්‍රිකට් තරග ශ්‍රී ලංකාවට දක්ෂ ක්‍රීඩකයන් බිහිකර ඇතුවා සේම අද ශ්‍රී ලංකාවේ දක්ෂයන් මරාදමන ඉසව්වක් වී ඇත. රැකියාවක් ලෙස පමණක් කණ්ඩායම් හසුරුවන ඇතැම් පුහුණුකරුවන් විසින් තම රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරගනු වස් ක්‍රීඩකයන්ට උගන්වන දෙය නම් පරාජය නොවන ලෙසයි. ඇතැම්විට තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයෙකුට එසේ නිර්භීතව ක්‍රීඩා කරන්නට නොදී ඔහුගේ කකුලෙන් අදින්නට පුහුණුකරුවාම ඉදිරිපත් වීම ඛේදජනක ය. පරාජය වීමට බියනම් ඔබට ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි ය. ජයග්‍රහණය රැඳීතිබෙන්නේ අවදානම තුළයි. බියෙන් ක්‍රීඩාකොට හැදීවැඩෙන යෞවනයන් ජාත්‍යන්තරයට සුදුසු වන්නේ කෙසේද? මේ සරල ගැටලුවකි. තවත් බොහෝ ගැටලු ඇතත් මෙවැන්නක් ඉක්මනින් විසඳාගැනීම කළ යුතුය. සුනිල් මෙන්ඩිස්, මැල්කම් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ තරග දිනවන්නන් මෙරටට බිහිකළ බැවිනි.

යොවුන් ක්‍රීඩකයන්ට අරවින්ද ද සිල්වා, මහේන්ද්‍ර සිං දෝනි, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් පූර්වාදර්ශ සැපයිය යුතුය. දකුණු අප්‍රිකානු, ඕස්ට්‍රේලියානු, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් මීට පැහැදිලි උදාහරණ යි.

අන්තර් සමාජ මට්ටම

අන්තර් සමාජ කණ්ඩායම් ගණන සීමා කොට තරගකාරී ලීග් තරගාවලියක් ඇතිකළ යුතුය යන්න කලක් පුරාවට ක්‍රිකට් ප්‍රවීණයන් විසින් ගෙන ආ යෝජනාවකි. වත්මන් ශ්‍රී ලංකා දේශීය තරග කරළියේ කණ්ඩායම් 23ක් පමණ සිටියි. එය 8කට වත් අඩුකරගැනීමෙන් තරගකාරීත්වය වර්ධනය කළ හැකිය. එමෙන්ම ක්‍රීඩා කරන තණතිලි සහ ක්‍රීඩාංගණවල සම්මුති මට්ටම ගැන මීට වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයන් සූදානම් කරන තොටිල්ල අන්තර් සමාජ තරග පද්ධතිය වීම නිසයි. මුළු තරග පද්ධතියේම වෙනසක් අවශ්‍ය ය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශීය තරගය ඉනිමක් තුළ වේගපන්දු යවන්නන් පන්දු ඕවරයක් හෝ නොයවන අවස්ථාද ඇත. ඉදින් ජාත්‍යන්තර මට්ටමේදී එකදිගට පන්දු ඕවර 5ක් යැවූ සැණින් වේගපන්දු යවන්නන් හතිලමින් ආබාධවලට ලක්වීම අරුමයක් නොවේ.

ජාතික මට්ටම

ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ දිනෙන් දින ක්‍රීඩකයන් මාරු වේ. එක් නවකයෙකුට ස්ථාවර වන්නට ලැබෙන කාලය ඉතාමත් සීමිතය. අවසන් තරගාවලි කිහිපයේදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් 40කට අධික ප්‍රමාණයක් එකතු වී යළි හැලී තිබේ. අනෙකුත් වරද නම් තමන්ට සුපුරුදු රාජකාරිය නවකයින්ට නොලැබීමයි. පාසල් කාලයේදී මැදපෙළ ක්‍රීඩා කළ පිතිකරුවන්ට අන්තර් සමාජ මට්ටමේදී ආරම්භක පිතිකරුවන් වන්නට සිදුවේ. ඔහු ජාතික කණ්ඩායමට එක්වන විට ඔහුට පූර්ණ පන්දු යවන්නෙකුගේ කාර්යභාරය හිමිවේ. මෙය සැබවින්ම විහිළුවකි. අතරින්පතර ක්‍රීඩකයෙකු මෙම ක්‍රමයට සාර්ථකව අනුගත වීම සිදුවියහැකි වූවත් මෙය නවක දක්ෂයෙකුට කරන අසාධාරණයකි. මෙම පරස්පර පිළිවෙත නිසා ශ්‍රී ලංකාවට නවකයන් බොහෝ දෙනෙකුගේ දස්කම් සදහටම අහිමි වූ බව සිහිවේ.

මීළඟ ගැටලුව පුහුණුකරුවන් මෙරට නොරැඳීමයි, ඊට යම් හේතුවක් තිබිය යුතුය, නැතිනම් වසර 7ක් පුරාවට පුහුණුකරුවන් 8 දෙනෙකුගේ සේවය ලබාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවන්නේ නැත. එක්කෝ යමෙකු ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දෙන්නේ නැත. නොඑසේනම් ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණුකාරීත්වය කුමක්දැයි ශ්‍රී ලංකා බලධාරීන් දන්නේ නැත.

පාලකයන් හෝ බලධාරීන් ඕනෑවට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගැසීම අප සතුටුවන කාරණයක් නොවේ. පරිපාලකයන් නිසිපරිදි තමන්ගේ රාජකාරිය ඉටුකළ යුතුය. තේරීම් කමිටුව විවෘතව කණ්ඩායම තෝරාගත යුතුය. ක්‍රීඩකයන් කැපවීමෙන් ක්‍රීඩා කළ යුතුය. වැටුණු තැනින් ගොඩ ඒමට ඉන් එහා මඟක් නැත.

අප බංගලාදේශයෙන් උගත යුතුය. අවසානයේදී ’96 ලෝක ශූර ශ්‍රී ලංකාවට, 2014 විස්සයි – විස්ස ශූර ශ්‍රී ලංකාවට, 2007, 2011 ලෝක අනුශූර ශ්‍රී ලංකාවට, 5 වරක් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් ඉගෙනගන්නට සිදුවී ඇත. ශ්‍රේණිගත කිරීමේ 12 වැනි ස්ථානයට නොවැටී අප තවමත් එල්ලී සිටින්නේ 8 වැනි ස්ථානයේ බව සිහිතබාගනිමින් එය වහවහා කළ යුතුවන්නේ බිමටම වැටුණු කල වැටෙන්නට තවත් තැනක් නොමැතිවන බැවිනි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<