එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ‘ඇතර්ස්’

153
©Getty Images

1995 වසරේ දෙසැම්බර් හතර වැනිදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ පස්වැනි දිනය ඇරඹුණේ සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට වඩාත් වාසි සහගත අයුරිනි.

යාන්තම් කඩුලු හයක් අතැතිව දිනය පුරාවටම පන්දුවට පහර දීමේ වගකීම එංගලන්තයට පැවරී තිබුණි. ඇලන් ඩොනල්ඩ්, ෂෝන් පොලොක් ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු බළඇණිය එංගලන්තයට එල්ල කළ තර්ජනය සුළුපටු නොවීය.

විශිෂ්ටතමයින් බිහිවන්නේ නොසිතන තැන්වලින් බව නැවත වතාවක් පසක් කරමින් එංගලන්ත නායකයා දිනය පුරාවටම නොදැවී පන්දුවට පහර දෙමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත්තේය. 

පන්දු 492ක් සහ විනාඩි 643ක් පුරා විහිදී ගිය එංගලන්ත නායකයාගේ ලකුණු 185ක ඉනිම ටෙස්ට් ඉතිහාසයේ අග්‍රගණ්‍ය ඉනිම් කිහිපයෙන් එකක් ලෙස සැලකේ.

එම සුවිශේෂී ඉනිමට වසර විසි හතරක් ගෙවෙන තැන එදා ඒ වීර වික්‍රමය කළ එංගලන්ත නායකයාගේ ක්‍රිකට් ජීවිතයේ නැසූ පැතිකඩ කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැකුම්කළු සලකුණ මාක් වෝ

අනූව දශකයේ මුල දිනයක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් ……..

එක්තරා දිනක ක්‍රීඩා පිටියේ සිට නිවස බලා පැමිණි ඇලන් ඇතර්ටන් නම් එංගලන්ත ලීග් තරගවලට සහභාගි වෙමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයාට සිය දාහතර හැවිරිදි පුත්‍රයාට කියන්නට පණිවිඩයක් තිබුණි. 

“සුබපැතුම්. ඔබව ජ්‍යේෂ්ඨ කණ්ඩායමට තෝරාගෙන”

ඒ වන විටත් ඇලන්ගේ පුත්‍රයා කනිෂ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙකි.

“මා තෝරාගෙන ඇත්තේ කා වෙනුවෙන් ද?”

පුත්‍රයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පියා තරමක අසීරුතාවයකට පත්විය.

“ඔබව තෝරාගෙන ඇත්තේ මගේ ස්ථානය වෙනුවෙන්” 

ඇලන් අපහසුවෙන් ප්‍රකාශ කළේය.

එලෙස තම ජ්‍යේෂ්ඨ ක්‍රිකට් දිවිය ආරම්භ කළ මයිකල් ඇන්ඩෲ ඇතර්ටන් නම් තරුණයා පසුකලෙක එංගලන්ත ජාතික කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යය පවා උදා කරගත්තේය.

“මගේ පියා තරමක ක්‍රිකට් හැකියාවක් තිබුණ ක්‍රීඩකයෙක්. ඔහු දන්නා සියලුම දේ ඔහු මට කියා දුන්නා.

මා වෙනුවෙන් ඔහුට කණ්ඩායමෙන් ඉවතට යෑමට සිදුවීම ඔහුට එතරම් දුකක් වුනේ නැහැ. නමුත් වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ සිත තරමක් රිදෙන්නට ඇති බව මට වැටහුණා.”

මයිකල් ඇතර්ටන්ගේ පියා ඇලන් එක්තරා කාලයක මැන්චෙස්ටර් යුනයිටඩ් තරුණ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් කටයුතු කළේය. 1958 මියුනිච් ගුවන් අනතුරෙන් පසුව මැන්චෙස්ටර් යුනයිටඩ් තරුණ ක්‍රීඩකයින් ගැන සෙවිල්ලෙන් සිටි අතර තරුණ ඇලන් ඇතර්ටන් ද ඒ අතර සිටි අයෙකු විය.

ඇලන් ඇතර්ටන් මැන්චෙස්ටර් යුනයිටඩ් තරුණ කණ්ඩායම නියෝජනය කරමින් ©Colorsports.co.uk

ඇලන් පමණක් නොව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් ද විවිධ ක්‍රීඩාවලට නැඹුරුවක් දැක්වූ අතර කුඩා මයිකල්ට ද ක්‍රීඩාව ජානවලින්ම උරුම වූ දෙයක් විය.

මයිකල් ඇතර්ටන්ගේ මුල් සමය ගැන විමසා බලන විට ශ්‍රී ලාංකික සම්බන්ධතාවයක් ද දැක ගත හැකි විය.

“මා ඉතා කුඩා සමයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෝනි ඕපාත ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එංගලන්තයට පැමිණියා. ඔහුට තිබුණේ තරමක වෙනස් පන්දු යැවීමේ ඉරියව්වක්.

ඒ වගේම සිදත් වෙත්තමුණිත් එලෙස ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණි අයෙක්. මං හිතන්නේ ඒ වෙද්දි සිදත්ට වයස අවුරුදු විස්සක් විතර ඇති. මුලින් දුටු වහාම වැටහී ගියා අප සාමාන්‍ය ක්‍රීඩකයින්ට වඩා ඔහුගේ තිබුණු වෙනස. හරියටම විස්තර කරනවා නම් වෙනත් ලෝකයකින් ආ කෙනෙක් වගේ. 

ඔහු ඉතාම නිවැරදි, අලංකාර ආකාරයෙන් පන්දුවට පහර දුන්නා. ඔහු එල්ල කළ සියලුම පහරවල් පොතේ පහරවල්. සිදත්ගේ මනරම් පහරවල් දුටු වහාම මම තීරණය කළා නැවත වතාවක් මගේ තාක්ෂණය සහ පිතිකරණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට.”

ළාබාල ඇතර්ටන්ට සිය පියාගෙන් ලැබුණේ ප්‍රායෝගික උපදෙස් පමණක් නොවේ. ඔහු සිය පුත්‍රයාට ක්‍රීඩාවේ සියලුම ගුණාත්මක දේ දැක බලා ගැනීමට ඉඩ ලබා දුන්නේය.

“දිනක් ඔහු මා රැගෙන ගියා පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයක් නැරඹීමට. පිතිකරණයේ යෙදෙමින් සිටි දුඹුරු පැහැ අක්බඹරු හිසකෙස් ඇති තරුණයෙක් ඔහු මට විශේෂයෙන්ම පෙන්නුවා. 

බලන්න පන්දුවට පහර දෙන විට ඔහුගේ හිස කෙතරම් සමබරද කියා පියා මට පෙන්නුවා. මම ඩේවිඩ් ගවර් නම් අතිශය අලංකාර එංගලන්ත පිතිකරුවා දැක ගත් පළමු දිනය එයයි.”

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත……..

ඇතර්ටන් ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද ඉතා සමත්කම් පෑ දරුවෙක් විය. එමෙන්ම ඉතාම කුඩා අවදියේ සිටම ඇතර්ටන්ගෙන් නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කෙරුණි.

හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. ඇතර්ටන් කණිෂ්ඨ කණ්ඩායමක නායකත්වය දරමින්.
©Opening up

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දැක්වූ සුවිශේෂී දස්කම් මත එංගලන්ත දහනමයෙන් පහළ කණ්ඩායමට සුදුසුකම් ලබන්නට ඇතර්ටන් සමත් විය. ඇතර්ටන් එවකට පිතිකරුවෙකු මෙන්ම පා දඟපන්දු යවන්නෙකු ලෙසත් කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් විය.

වයස දහඅට සම්පූර්ණ වන විට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත් වූ ඇතර්ටන් සිය මුල්ම පළමු පෙළ තරගයේ දී ලැන්කෂයර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 73ක් රැස් කර ගැනීමට සමත් විය.

දිගින් දිගටම එංගලන්ත ප්‍රාන්ත තරගවල දස්කම් අතර සිටි තරුණ ඇතර්ටන්ගේ මීළඟ නවාතැන වූයේ එංගලන්ත ජාතික කණ්ඩායමයි.

“1989 අළුබඳුන තරගාවලියේ පස්වැනි තරගය පැවැත්වුණේ ට්‍රෙන්ට්බ්‍රිජ් හීදී. එවකට නායකයාව සිටියේ ඩේවිඩ් ගවර්. ඔහු මා වෙත පැමිණ ප්ලාස්ටික් බෑගයක් විසි කළා. 

මා එය විවෘත කර බැලුවාම එහි එංගලන්ත කැප් තොප්පියක් එකක් සහ ස්වෙටර්ස් කිහිපයක් තිබුණා.

සමහර විට ඕවා උඹට උවමනා කරාවි ගවර් කීවා. 

මා එවලේ දැනගත්තා මට ටෙස්ට් වරම් හිමි වීමට යන බව. මේ කාලයේ වගේ කිසිම පිළිගැනීමේ කතා කිසිවක් නොමැතිව මට ටෙස්ට් වරම් හිමිවුණා.”

සිය පළමු ටෙස්ට් ඉනිමේ පන්දු දෙකකට පමණක් මුහුණ දුන් ඇතර්ටන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබාම දැවී ගියේය. නමුත් වඩාත් වගකීම් සහගත සහ ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් දෙවන ඉනිමේ ලකුණු 47ක් රැස් කරන්නට ඇතර්ටන් සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ බොහෝ නම් දැරූ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාවේ තහනම් සංචාරයකට එක්වූ බැවින් ඇතර්ටන්ට ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් වෙන්වන ලකුණු පෙන්නුම් කෙරුණි.

තමන් ක්‍රීඩා කළ තුන්වැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 151ක් රැස් කර ගත් ඇතර්ටන්, රිචර්ඩ් හැඩ්ලි වැනි සුවිශේෂී නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ පිත්ත හැසිර වූ ආකාරය ඉතාම ප්‍රශංසනීය විය.

1993 එංගලන්තයේ පැවති අළුබඳුන තරගාවලිය සත්කාරක එංගලන්ත කණ්ඩායමට එතරම් හිතකර වූයේ නැත. ලීඩ්ස්හිදී පැවති සිව්වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව එංගලන්ත නායක ග්‍රැහැම් ගූච් නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දීය.

ඒ අනුව විසිපස් හැවිරිදි මයිකල් ඇතර්ටන් එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණි. 

ඇතර්ටන්ගේ නායකත්වයෙන් එජ්බැස්ටන්’හී පැවති පස්වැනි ටෙස්ට් තරගය කඩුලු අටකින් එංගලන්තය පරාජය වුවද ඕවල් ක්‍රීඩාංගණයේ දී නැවත අළු ගසා දමා ජයග්‍රහණය කරා යන්නට එංගලන්තයට හැකියාව ලැබුණි.

එතැන් පටන් ටෙස්ට් තරග 54කට එංගලන්ත කණ්ඩායම මෙහෙය වූ ඇතර්ටන් සැලකෙන්නේ ඉතාම තද ගති ගුණ ඇති පිතිකරුවෙකු ලෙසිනි.

මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත………..

ඉතාම විශිෂ්ට මහත්මා ගති ඇති ක්‍රීඩකයෙකු වුවද ඇතර්ටන්ගේ නාමය ඉදිරියේ ඉතිරි වූ ඇතැම් කළු පැල්ලම ද නැත්තේ නොවේ.

1994 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ලෝඩ්ස්’හි පැවති  තරගයේ දී එංගන්ත නායකයා ඇතර්ටන් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වීම ඉන් එකකි. ඇතර්ටන් තම සාක්කුව තුල වැලි සඟවා ගනිමින්‍ පන්දුව පළුදු  කරන ආකාරය රූපවාහිනී දර්ශන මගින් සියල්ලන්ට දැකගත හැකි විය. තමාට එල්ල වූ චෝදනාවට නිදහසට කරුණු ලෙස ඇතර්ටන් දක්වා තිබුනේ තම දැත් වියළිව තබා ගැනීමට වැලි සාක්කුවේ දමා ගෙන  සිටි බවයි. 

පන්දුව පළුදු කරන එංගලන්ත නායකයා 
©Pinterest

1996 විල්ස් ලෝක කුසලානය අතරතුර පාකිස්තානු මාධ්‍යවේදියෙකුට කළ අපහාසයක් හේතුවෙන් ඇතර්ටන්ට විරුද්ධව නීති මගට පිවිසෙන්නට අෂ්ගර් අලී නම් එම පාකිස්තානු මාධ්‍යවේදියා කටයුතු කළේය. 

2000 වසරේ නැවත වතාවක් එංගලන්තය පාකිස්තානු දේශයේ සංචාරය කරන විට ඇතර්ටන් නීතිය හමුවට ගෙන එන්නට අලී සියලු කටයුතු සූදානම් කර තිබුණේය.

ටෙස්ට් තරගය 115කටත්, එක්දින ජාත්‍යන්තර තරග 54කටත් එංගලන්තය නියෝජනය කළ ඇතර්ටන් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු ලෙසින් තම ගමන ආරම්භ කළේය.

කෘතහස්ත මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම ඉතා පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩාව කියවන්නෙකු ලෙස ඇතර්ටන්ට ඇති පිළිගැනීම අ ති විශාලය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<