“සමගිය බලය වේ” – දකුණු අප්‍රිකාවෙන් උගනිමු

1254

භාෂා 4කින් සන්නිවේදනය කරන රග්බි කණ්ඩායමක්, දරිද්‍රතාවය-වත්පොහොසත්කම අතර දෝලනය වන රටක රග්බි කණ්ඩායමක්, කළු-සුදු වශයෙන් බෙදුණු රටක රග්බි කණ්ඩායමක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්නේ කෙසේ ද? 

ඔබ එය විමසිය යුත්තේ දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමෙනි. ඔවුන් 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට පැමිණියේ “එකට, ශක්තියෙන්” (Stronger Together) යන තේමාව පදනම් කරගෙනය. අද ඔවුන් විසින් එය ඔප්පු කර හමාරය. මේ, ඔවුන් තෙවැනි වරටත් ඒ විප්ලවය සිදු කළ ආකාරයයි.

අමූලික සහ ඓතිහාසික ද්වේශය

Apartheid – globalsportmatters.com – ක්‍රීඩාවේ වර්ණභේදය ගැන තිබුණු විරෝධතාවක්

කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර අළු යට ගිනි පුපුරු මෙන් සැඟවුණු අමූලික ද්වේශයක් වසර ගණනාවක් පුරාවට කරපින්නාගෙන ආ දකුණු අප්‍රිකාවට වෙනත් මඟක් හෙළිවන්නේ 1994 දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වීමෙන් පසුවය. 

සිය රටේ පළමු ස්වදේශික කළු ජනාධිපතිවරයා ලෙස ඔහුට හිමි වූයේ පහසු කටයුත්තක් නොවේ. “සුදු අධිරාජ්‍යවාදයෙන් පූර්ණ නිදහස ලැබීම” නමැති මායාව ඔහුට ද අත්විඳින්නට සිදු විය. සුදු අධිරාජ්‍යවාදීන් විසින් පාලනය වූ කිසිදු රටක ජනතාවට ඔවුන්ගෙන් සම්පූර්ණ නිදහස ලැබුණේ නැත. අදටත් එසේය. ඔබට මා අවිශ්වාස නම්, ඔබ නිදහසින් පසු වසර 71ක් පසුකරමින් සිටින ශ්‍රී ලංකාව දෙස දෙනෙත් පිසදා බැලිය යුතුය.

මැන්ඩෙලා හට ද එම අභියෝගය එසේම තිබුණි. ලොව දකුණු මුහුදු මාර්ගයේ වැදගත් කොටසක හිමිකරුවන් වන දකුණු අප්‍රිකාවේ ව්‍යාපාර බලය, දේශපාලනික බලය මෙන්ම මුදල් බලය ද ස්වදේශිකයන්ට හිමි වුනේ නැත. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සුපුරුදු පරිදි රට තුළ ජනයාට අන්ත දෙකක් නිර්මාණය කොට, ඔවුන්ට එකිනෙකා හා පොරබදන්නට දී, ඊට ඉහළින් පාලක පිරිසක් පත්කොට ඔවුන්ව පෝෂණය කරමින් එරට පාලනය කරමින් තිබුණි. මහජනයා කළු-සුදු භේදය මත එකිනෙකා හා පොරබදාගත් අතර පාලකයන් ඊට ඉහළින් සිට ජනතාව කුපිත කරමින් බලය තහවුරු කරගෙන තමන්ට පක්ෂ විපක්ෂ ඕනෑම කෙනෙකු සමඟ වාසි පතා ගනුදෙනු කළේය.

මැන්ඩෙලා දෙවියෙකු නොවීය. එහෙත් මැන්ඩෙලා තමන්ට දෑත් විහිදන්නට තිබූ ඉඩකඩ තුළ දෑත් විහිදුවේය. තම තනතුර රැකගැනීම වෙනුවෙන් ඔහු ද කටයුතු කළ නමුත්, එය මතම බියගුල්ලෙකු සේ හැසිරෙන්නට ඔහු සූදානම් නොවීය. ඇතැම් විට 1967 වසරේ සිට වසර 27ක් සිරගතව සිටීම නිසා, සිරකුටියක සිට වුවද නිදහස උපයෝගී කරගන්නා ක්‍රමය ඔහු දැන සිටින්නට ඇත.

Nelson Mandela – NPR – මැන්ඩෙලා, තමන් රඳවා සිටිනු ලැබූ සිර කඳවුර තුළට නැවත ගිය අවස්ථාවක්

1994 දී මැන්ඩෙලා ජනාධිපති වුවත්, රටෙන් 75%කට වඩා වූ කළු ජාතිකයින්ගේ විශ්වාසය ඔහු සතු වුවත්, ඉතිරි 25% වූ සුදු, මිශ්‍ර, ආසියානු සහ මුස්ලිම් ප්‍රජාවේ විශ්වාසය ඔහු සතුව තිබුණේ නැත. 

මැන්ඩෙලා සිය බලය රැකගැනීම උදෙසා බහුතර 75% කුපිත කරමින් ඉතිරි 25% තලා පෙලා දැමුවේ නැත. රට තුළ බිය ඇති කළේ නැත. ඔහු උත්සාහ කළේ ඒ ඉතිරි ජනයාගේ විශ්වාසයත් දිනා ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමටයි. 1995 දී සිය රටේ සුදු ජාතිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යාවශ්‍ය බව වටහා ගත් මැන්ඩෙලාගේ මනසට රග්බි ක්‍රීඩාව කෙසේ ඇතුල් වුනේ දැයි මම නොදනිමි. එහෙත් එය දකුණු අප්‍රිකාවේ වාසනාවක් බව නම් අද කිව හැකිය.

සැලසුම්කරණය 

1948 වසරේ සිට 1990 තරම් වන කාලය දක්වාම සුදු-කළු ජාතිකයන් දකුණු අප්‍රිකාව තුළ ජීවත් වූයේ වෙන්වෙන්ව ය. එහෙයින් ලොව කිසිදු ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක් හෝ කණ්ඩායමක් හෝ එරටට ගොඩබැස්සේ නැත. වැරදීමකින් හෝ එරටට තරග සංචාරයක් සිදු වූයේ නම් ඒ අදාළ ක්‍රීඩාව සම්බන්ධ බලධාරීන් විසින් ඒ සංචාරය කළ ක්‍රීඩකයන්ට ජීවිතාන්තය තෙක් ක්‍රීඩා තහනම් පැනවීය. 

මැන්ඩෙලා අත තිබුනේ ඒ ඉතිහාසය වෙනස් කිරීමේ අවස්ථාවය. 1995 රග්බි ලෝක කුසලාන තරගාවලිය දීර්ඝ කලකට පසුව දකුණු අප්‍රිකාවට එන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය විය. කොන් වූ දකුණු අප්‍රිකාව ලෝකය ඉදිරියට ගෙන යෑමේ මහඟු අවස්ථාවක් ලෙස මැන්ඩෙලා එය දුටුවේය. .

මැන්ඩෙලා එම තරගාවලිය ඔහුගේ රටට පැමිණි වග කියමින් පාරම් බෑවේ නැත. දැන්වීම් පුවරු වල එල්ලී නළුවෙකු වූයේ නැත. පාරවල් සහ ක්‍රීඩා ගම්මාන ඉදිකිරීමෙන් පමණක් සෑහීමකට පත්වූයේ නැත. 

තමන්ගේ බලය වඩාගන්නා පහසු ක්‍රම පසෙක තැබූ ඔහු තෝරාගත්තේ බලය තහවුරු කරගන්නා අපහසු ක්‍රමයයි. එනම් තරගාවලියේ දී තම රටේ රග්බි කණ්ඩායම සමඟින් වෙනසක් සිදු කිරීමයි. 1995 දී විශ්වාසවන්ත සහ බුද්ධිමත් සුදු ජාතික රග්බි නායකයෙකු තෝරාගන්නා රග්බි නොදත් මැන්ඩෙලා, තෝරාගත් නායකයාට නිදහස දෙමින්, උපකාර කරමින් ප්‍රබල රග්බි කණ්ඩායමක් නිර්මාණය කිරීමට මඟ සැලසුවේය. 

තමන් කළු ජාතිකයෙකු නිසා සහ මහජනයාගෙන් බහුතරය කළු ජනයා වූ නිසා රග්බි කණ්ඩායම කළු ජාතිකයන් විය යුතු යැයි මුග්ධ අදහසක් ඔහුට තිබුණේ නැත. රග්බි එරට පොහොසතුන්ගේ, එනම් සුද්දන්ගේ ක්‍රීඩාවකි. එහි දක්ෂයන් සිටියේ සුද්දන් අතරය. මැන්ඩෙලා ඔවුන් හා නොගැටී ඔවුන්ගෙන් වැඩ ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළේය.

ඉලක්කය සාර්ථක කරගැනීම

ෆ්රන්ෂුවා පීනා නම් වූ ඒ විශිෂ්ට සුදු ජාතික රග්බි නායකයා සමඟ එකම එක කළු ජාතික ක්‍රීඩකයෙකු පමණක් ඇතුළත් වූ රග්බි කණ්ඩායමක් 1995 ලෝක කුසලානය දිනාගත්තේය. ඒ දකුණු අප්‍රිකාවයි. අද ඉන් වසර 24ක් ඉක්ම ගොසින් ය. එහෙත් අපි අදත් මැන්ඩෙලා ගැන සිහිකරන්නෙමු. වැරදි ඇතත් නැතත්, ඔහුගේ දැක්ම අගය කරන්නෙමු.

1995 world cup winners – rugbyrelics.com – 1995 ලෝක ශූර දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම

එම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟින් සිය රටේ සුදු ජාතිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමත්, කළු ජාතිකයින් අතර රග්බි ආලයක් ජනිත කිරීමත්, කළු-සුදු ජාතීන්ට එක්ව කටයුතු කළ හැකි බවට ජනයා අතර විශ්වාසය ජනිත කිරීමත් මැන්ඩෙලා විසින් ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයන් ය. 

එවැනි පසුබිමක ඔහුගේ බලය තහවුරු වන බව නිශ්චිතය. ඊට මිනී මැරිය යුතු නැත. බොරු කිවයුතු නැත. බලය තහවුරු කරගන්නට නම් දේශපාලකයෙකු නරකයෙහි එල්ලී සිටිය යුතු නැති බවට හොඳම උදාහරණය මෙයයි. සිත ඇත්නම් හොඳ ක්‍රම ඕනෑ තරම් ඇත.

අතර මැද නැවතුම්

එතැන් සිට ක්‍රීඩාව රටේ ජාතික සමගියේ වැදගත් අංගයක් ලෙස සැලකූ දකුණු අප්‍රිකානුවන් ඉදිරියට පැමිණියේය. දකුණු අප්‍රිකාව යනු දෙව් විමනක් නොවන බව මම නැවත නැවතත් කියමි. අප්‍රිකානු මහාද්වීපයේ කාන්තා දූෂණ අතින් සහ ඒඩ්ස් පැතිරීම අතින් ඔවුන් ඉදිරියෙන් සිටියි. ජාති භේද ඇති රටවල් අතුරින් ද ඔවුන් ඉදිරියෙන් සිටියි. එහෙත් මේ කිසිවක් එරට ක්‍රීඩාවට හානිදායක වන තරමට ප්‍රබල නොවීය.

ක්‍රිකට්, රග්බි, හොකී ආදී කණ්ඩායම් ක්‍රීඩාවලින් දකුණු අප්‍රිකානුවන් ඉදිරියෙන් සිටියි. එහෙත් බහුජාතීන් වෙසෙන රටක කණ්ඩායම් ක්‍රීඩාවක් දියුණු කිරීම මෙරට දී මෙන්ම එරට දී ද අපහසු ය. 

එනිසා ඔවුන්ට ජාතිය අනුව කණ්ඩායම් වල කොටසක් හිමිවන මට්ටමට ක්‍රීඩා නීති පවා ගෙන එන්නට සිදු විය (Racial quota system). ඔවුන් ජාති භේද අතින් ඉදිරියෙන් සිටින බව මා කියන්නේ ඒක ය. ඊට හේතුවන්නට ඇත්තේ ද බල තණ්හාවෙන් යුත් දේශපාලකයන් යැයි නිසැකවම කිව හැකිය. 

south african parliament – yimg.com – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී සටනක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී මෙය හොඳින්ම දැකගැනීමට හැකිය. එරට සිටින දක්ෂ සුදු ජාතික ක්‍රීඩකයින්ට බොහෝ අවස්ථාවලදී කණ්ඩායමේ ඉඩ අහිමි වේ. ඒ ජාතීන් අනුව ස්ථාන බෙදී යාම හේතුවෙනි. ඇතැම් විට දක්ෂ මුස්ලිම් ක්‍රීඩකයෙකුට, කළු ජාතිකයෙකුට වුව ඒ අසාධාරණය සිදු විය හැකිය. රග්බි ක්‍රීඩාවේ දී පවා එසේය. 

ඇතැම් විට ඔවුන්ට ජයගත හැකි බොහෝ අවස්ථාවල ඔවුන් පරාජය වන්නේ ඒ ඒ ක්‍රීඩා කණ්ඩායම් ජාතීන් අනුව සමබර කරන්නට ගොස් ය. කෙවින් පීටර්සන් ඊට උදාහරණයකි. එහෙත් ඔහු එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්නට තරම් වාසනාවන්ත විය. එසේ නොවුණි නම්?

දකුණු අප්‍රිකාවේ රග්බි ක්‍රීඩාව බොහෝ සෙයින් ජනප්‍රියව ඇත්තේ ඇෆ්රිකානර්ස් නැතහොත් නැගෙනහිර යුරෝපයෙන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ සුදු ජාතිකයින් අතර ය. පුරාතන නාවික යුධ සෙබළුන්ගෙන් පැවත එන ඔවුන්ගේ ශක්තිමත් දේහ ස්වරූපයත්, ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවත්, දරා ගැනීමේ හැකියාවත් නිසා එය ඔවුන් අතට පත්වීම වැළැක්විය නොහැකිය.

ඊටත් වඩා 1995 වසරේ ලෝක ශූරයන් වන තෙක්ම දකුණු අප්‍රිකානු කළු ජාතිකයින් රග්බි ක්‍රීඩාවට වඩා ප්‍රිය කළේ පාපන්දු ක්‍රීඩාවට ය. “පාපන්දු දුප්පතා වෙනුවෙනි. රග්බි පොහොසතා වෙනුවෙනි”. එහි පැතිර තිබූ මතය එයයි. එහි සැඟව තිබුණේ ද සුදු-කළු භේදයයි. 

එය වෙනස් කිරීම පිළිබඳව අප නෙල්සන් මැන්ඩෙලා සහ ෆ්රන්ෂුවා පීනා ඇතුළු 1995 ලෝක ශූර රග්බි කණ්ඩායමට ගෞරව දැක්විය යුත්තේ එබැවිනි. ජයග්‍රහණයෙන් පසුව පීනාට අත්වූ ඉරණම ගැන සතුටු විය නොහැකිය. ඔහුට රටින් පිටවී එංගලන්තය තුළ ක්‍රීඩා කරන්නට සිදු වූයේ වෘත්තීය රග්බි ක්‍රීඩකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ගොස් ය. එහෙත් දේශපාලන අතපෙවීම් ඇති ඕනෑම තැනක තත්වය එලෙස අශෝභන ය.

2007 ලෝක කුසලාන තරගාවලිය

1999 දී රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවලට ජාතීන් අනුව ස්ථාන හිමි වීම බල පැවැත්විය. ජාතීන්ට අනුව රග්බි කණ්ඩායමේ ස්ථාන වෙන්වීමේ දී සුදු ඇෆ්රිකානර්වරුන් හට ප්‍රමුඛතාවය හිමිවේ. 

එහෙත් 2007 දී එම ක්‍රමය අත් හිටවූ අතර එවර ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා කළු ජාතිකයින් දෙදෙනෙකු සහ මිශ්‍ර ජාතිකයෙකු ඇතුළත් විය. එම තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළේ ඒ අධිවේගී මිශ්‍ර ජාතිකයා, බ්‍රයන් හබානා ය. ලෝක කුසලානය හිමි වූයේ දකුණු අප්‍රිකාවට ය.

2007 rugby world champions – rugbypass.com – 2007 ලෝක ශූර දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම

2007 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට තම නිවසේ රූපවාහිනියක්වත් නොතිබූ සියා කොලීසි තැබෑරුමකට ගොස් තරගය නැරඹුවේය. ඔහුට ආහාර නොලැබුණු දිනයන් පවා තිබුණි. ඔහුට පාසල් යන්නට සපත්තු යුගලයක් වත් නොවීය. එහෙත් අපේ කතාවට ඔහු වැදගත් වන්නේ ඇයි?

ප්‍රථමයා සහ අන්තිමයා

දකුණු අප්‍රිකානු රග්බි ඉතිහාසයේ පළමු කළු ජාතික ජාත්‍යන්තර නායකයා සියා කොලීසි ය. යොවුන් අවධියේ දී දරිද්‍රතාවයෙන් පෙළුණු ඔහු පුහුණුවීම් වලින් අනතුරුව කුසට අහරක් නොමැතිව නිදා ගත් අවස්ථාවන් ගණන බොහෝ විය. තම සම වයසේ අනෙක් මිතුරන් අලුත් ඇඳුම් පැළඳුම්, සපත්තු ගැන සිහින මවන විට ඔහු සිහින මැව්වේ මීළඟ ආහාර වේල ලබා ගැනීමට ය.

Russie Erasmus Siya Kolisi – newshub.co.nz – විශ්වාසය ජයග්‍රහණ ගෙන එයි. – “රසී” එරාස්මස් (වමේ) සහ සියා කොලීසි (දකුණේ)

ඔහුගේ වාසනාවට 1999 රග්බි ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ප්‍රබල ෆ්ලෑන්කර් ක්‍රීඩක යොහාන් “රසී” එරාස්මස් 2017 වසර වන විට දකුණු අප්‍රිකානු රග්බි අධ්‍යක්ෂක ලෙස තනතුර භාරගත්තේය. ඔහු කෙළින් මිනිසෙකි. ජාතිවාදියෙකු නොවේ. 2018 දී දකුණු අප්‍රිකානු රග්බි පුහුණුකාරීත්වයත් ඔහුට ලැබුණි. 

ඒත් සමඟින් 20න් පහළ, නැගී එන සහ දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර කණ්ඩායම් සියල්ලේම බලය ඔහු වෙතට පැවරුණි. ඔහුට ලැබුණු අභියෝගය වූයේ 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීමයි.

ජාතීන් අනුව කණ්ඩායමේ ස්ථාන පිරිනැමීම ගණනකටවත් නොගත් “රසී”, තමන්ගේ පුහුණුකාරීත්වයෙන් ක්‍රීඩා කෙරුණු පළමු තරගයේ දී ම නවක ක්‍රීඩකයන් 13 දෙනෙකුට ටෙස්ට් රග්බි වරම් ගෙන දුන්නේය. ඔහුට සැලසුමක් තිබුණි. 

ඊට ගැළපෙන අයුරින් කණ්ඩායම සකස් කරගැනීමට අවශ්‍ය වූ නිසා උණ පුරුකේ වලිගය දමාවත් ඇද අරින්නට නොහැකි අයවලුන් ඔහු ඔහුගේ කණ්ඩායමට වද්දාගත්තේ නැත. ඔහුගේ සැලසුමට නම්‍යශීලී ක්‍රීඩකයින් ඔහු විසින් හඳුනාගෙන තිබිණි. කළු ජාතිකයෙකු වීම නොසලකා කොලීසි ගැන විශ්වාසය තැබූ “රසී” ඔහුට නායකත්ව තනතුර ලබා දුන්නේය.

දකුණු අප්‍රිකාවට ජාතීන් අතර විවිධත්වය ගැන දේශපාලනික ගැටලු බොහොමයක් ඇත. එහෙත් ඒවා මැද පවා ඔවුන් ඉදිරියට යන මාවත එළිපෙහෙළි කරගන්නා ආකාරය පුදුමාකාර ය. ඒ ඔවුනට “රසී” එරාස්මස් වැනි ශක්තිමත් ක්‍රීඩා පෞර්ෂයන් ඇති බැවිනි. 

එවැන්නන් සිටී නම් දේශපාලනඥයින්ගේ අමන තීරණ ගැන තැකිය යුතුම නැත. “රසී” එක් කණ්ඩායමක් නිර්මාණය කළේය. භාෂා 4ක් කතා කරන, පාට දෙකක මිනිසුන් ඇති, ජාතීන් කිහිපයකට අයත් ක්‍රීඩකයින් එක්කොට ඔහු එක් කණ්ඩායමක් නිර්මාණය කළේය.

Rassie Erasmus – newshub.co.nz – ශක්තිමත් පෞර්ෂයක්! “රසී” එරාස්මස්.

එම කණ්ඩායම 2018 රග්බි චැම්පියන්ෂිප් තරගාවලියේ දී ඕල් බ්ලැක්ස් කණ්ඩායම පරාජය කළ අතර ඕල් බ්ලැක්ස් සමඟ තවත් තරගයක් පරාජය වුනේ ලකුණු දෙකකිනි. ඔවුන් හරි මාවතට පැමිණ තිබුණි. ඔවුන්ගේ සැලසුම් නව්‍යකරණය වී තිබුණි. දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් පත්වූ අන්තිම පුහුණුකරු සහ පළමුවැනි කළු නායකයාගේ සුසංයෝගය අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් අප තුළ තැබුවේය.

මැන්ඩෙලාගේ සිට “රසී” දක්වා…

ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙන විට සුපුරුදු පරිදි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වූයේ නවසීලන්තය එය ජය ගනු ඇති බව ය. දකුණු අප්‍රිකානු සංචිතය තුළ ටෙස්ට් තරග 50කට වැඩිව ක්‍රීඩා කොට තිබුණේ ක්‍රීඩකයින් පස්දෙනෙකු පමණි. එහෙත් ආරක්ෂණයේ දී සහ තරගය පාලනය කිරීමේ දී දකුණු අප්‍රිකානුවන් තරගාවලියේ මුල සිටම දැඩි විය. 

පළමු වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වූ ඔවුන් ඉන්පසුව අපරාජිත විය. මුල් වටයේ තරගයක් පරාජය වී ලෝක කුසලානයක් ජය ගත් පළමු රග්බි කණ්ඩායම බවට ඔවුන් පත්වුණේ අවසන් මහා තරගයේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 32-12ක් වශයෙන් පරාජය කරමිනි.

2019 rugby world champions – standard.co.uk – වර්ණ රැසක එකතුවක් වූ “දේදුනු දේශයේ” ලෝක ශූරයෝ

එම ජයග්‍රාහී සංචිතයේ ක්‍රීඩකයින් 31දෙනා අතුරින් 20 දෙනෙක් සුදු ජාතිකයින් සහ සුදු ඇෆ්රිකානර්වරුන් විය. ඉතිහාසයේ වැඩිම කළු ජාතිකයන් ප්‍රතිශතයක් දකුණු අප්‍රිකානු රග්බි සංචිතය නියෝජනය කළේ “රසී”ගේ පුහුණුකාරීත්වය යටතේය. 

සංචිතයේ 31දෙනා අතුරින් නායකයා ඇතුළුව 10 දෙනෙකු කළු ජාතිකයින් විය. එමෙන්ම මිශ්‍ර ජාතිකයෙකු වූ චෙස්ලින් කොල්බි මෙම කණ්ඩායමට අන්තර්ගත විය. මාධ්‍ය සාකච්ඡාවල දී පවා ඔවුන්ගෙන් විමසන ලද පැනයක් වූයේ විවිධ ජාතීන් සහ විවිධ සංස්කෘතීන් නියෝජනය කරන ක්‍රීඩකයින් එකට තබා ගන්නේ කෙලෙස ද යන්නයි. එහෙත් “රසී”ගේ කළු ජාතික සහාය පුහුණුකරු ඇතුළු අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් ඔවුන් පවසා සිටියේ එකට සිටීමේ දී ඔවුන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

රසී”ගේ සිට ශ්‍රී ලංකාව දක්වා…

දකුණු අප්‍රිකාවේ 2019 රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය විශේෂ වන්නේ එබැවිනි. මෙය අපවන් බහුවාර්ගික, බහුවිධ භාෂා කතා කරන රටකට මහඟු ආදර්ශයකි. මේ අද අප දකින්නේ නෙල්සන් මැන්ඩෙලා එක් කළු ජාතිකයෙකු සහිත රග්බි කණ්ඩායමකින් ඇති කළ විප්ලවයේ දිගුවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<