17 හැවිරිදි සුන්දීප්ගේ වෑයම අපතේ යයි; අරාබියට ජය!

276

මීට සතියකට පමණ ඉහත දී නේපාල කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පියාසර කළේ එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් සඳහා එක්වීමටයි.

මේ වන විට එක්දින තරගාවලිය නිමා වී ඇති අතර එහි ජයග්‍රහණය 2-1ක් ලෙස සංචාරක නේපාල කණ්ඩායමට හිමි විය. කෙසේ වෙතත් ඊයේ (31) ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඔවුන් මෙම තරගය ජය ගත්තේ ලකුණු 21ක පරතරයකිනි.

ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දියාව මෙල්ල කරයි

නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නිරුත්තර වූ ඉන්දීය…..

කෙසේ වෙතත් දෙපිළේම ක්‍රීඩකයින් පන්දුවාර 20ම ක්‍රීඩා කිරීමට සමත් වූ අතර නේපාල හඹා යාම අතරතුරේ දී නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම ඔවුන්ගේ පසුබෑමට හේතු විය. කාසියේ වාසිය දිනා ගත් නේපාල නායක පාරස් කඩ්කා, ඩුබායි තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරකයින්ට ලබා දුන්නේ ලැබෙන ඉලක්කය සැලසුමක් සහිතව හඹා යාමේ අටියෙනි.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ අරාබි ක්‍රීඩකයින් ලකුණු 153කට සීමා කිරීමට ද ඔවුන්ට හැකි විය. ඒ වෙනුවෙන් වැඩිම දායකත්වයක් දැක්වූයේ කඩුලු 2 බැගින් බිඳ හෙලූ වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක බාසන්ත් රෙග්මි සහ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක සන්දීප් ලමිච්හානේයි.

මේ සියල්ල අතරේ දී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් ද තම ඉලක්කය කරා ක්‍රම ක්‍රමයෙන් ළං වූ අතර ඔවුන්ගේ වැඩි ලකුණු රැස් කළ පිතිකරුවන් සියලු දෙනාම හොඳ පහර දීමේ වේගයක් රඳවා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණි. ඒ වෙනුවෙන් මූලිකත්වය ගත් ශයිමන් අන්වර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 59ක් රැස්කර ගත්තේ තම විස්සයි විස්ස දිවියේ පස්වැනි අර්ධ ශතකය ලෙසයි.

පන්දු 38ක් පමණක් වැයවුණු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට කල්යල් බලා එල්ල කළ හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර දෙකක් ඇතුළත් විය. මීට අමතරව වමතින් පිත්ත හසුරුවන මොහොමඩ් උස්මාන් ලකුණු 30කින් එක්සත් අරාබි ලකුණු පුවරුව ඉහළ දැමීය. ඔහුගේ ක්ෂණික ප්‍රහාරයට එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. මීට අමතරව සී.  පී. රිස්වාන් සහ මොහොමඩ් බෝටා ද ලකුණු 20 සීමාවට ළඟා වෙමින් තම කණ්ඩායමේ මුළු ලකුණු එකතුව ඉහළ දැමූහ.

පාකිස්තානු පිළේ තරගාවලි ජයග්‍රහණ සිහිනය බොඳ වෙයි!

දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලියක් ජය ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (30)….

ඩුබායි තණතිල්ලේ හැසිරීම සැලකීමේ දී මෙය ලබා ගැනීමට නොහැකි ඉලක්කයක් නොවූවත් නේපාල පිතිකරුවන් අද දිනයේ පිත්තෙන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත්කම් නොදැක්විය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් නේපාල ලකුණු පුවරුවට එක් වෙද්දී නියමිත පන්දුවාර ගණන අවසන් වීමයි. නේපාලය වෙනුවෙන් එකම සාර්ථක පිතිකරු බවට පත්වූ සුන්දීප් ජෝරා ඉනිම නිමාවන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායමට ජයක් හිමිකර දීම වෙනුවෙන් සටන් කළ ද, අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට සහයක් හිමි වූයේ නැත. විශේෂත්වය වන්නේ තවමත් 17 වියේ පසුවන සුන්දීප්ගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේ දී ම ඔහු මේ ආකාරයෙන් පරිණත පිතිකරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීමයි.

පන්දු 46කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 53ක් රැස් කර ගත් සන්දීප්ගේ ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලාපොරොත්තු මුදුන්පත් කිරීමට උර දුන් දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන සහූර් කාන් සහ මොහොමඩ් නවීඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර වමතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක සුල්තාන් අහමඩ් ද කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා ප්‍රකට කළේය. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ඒ කිසිවෙකුටත් නොව තම පිතිකරණ හැකියාවෙන් තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙතට හැරවූ 39 හැවිරිදි ක්‍රීඩක ශයිමන් අන්වර්ටයි. තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ මීළඟ තරගය අද (01) ඩුබායි හිදීම ක්‍රියාත්මක වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 6ක් දැවී ලකුණු 153 (පන්දුවාර 20) : ශයිමන් අන්වර් 59, මොහොමඩ් උස්මාන් 30, සී.පී. රිස්වාන් 22, මොහොමඩ් බෝටා 20*, බාසන්ත් රෙග්මි 2/23, සන්දීප් ලමිච්හානේ 2/25, සොම්පල් කාමි 1/16.

නේපාලය – කඩුලු 7ක් දැවී ලකුණු 132 (පන්දුවාර 20)  : සුන්දීප් ජෝරා 53*, සොම්පල් කාමි 27, පාරස් කඩ්කා 25, සහූර් කාන් 2/17, මොහොමඩ් නවීඩ් 2/19, සුල්තාන් අහමඩ් 2/26, ආමීර් හයත් 1/34.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<